පාස්කු ප‍්‍රහාරය විමර්ශනයට මිෂෙලි බැචලේට බලයක් තිබේද?

723

පාස්කු ප‍්‍රහාරය ඊශ‍්‍රායලයේ මොසාඩ් බුද්ධි සේවාවේ මෙහෙයුමක් බව පෙන්නුම් කිරීමට උත්සාහ කළේ මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම්ය. ඔහු සහරාන් මොසාට් චරපුරුෂයකු බවද කියා සිටියේය.

ඉන්පසු එනම් පාස්කු ප‍්‍රහාරයට වසර 3 ක් සමීප වීමට ආසන්නව තිබියදී කාදිනල් රංජිත් මැල්කම් හිමියන් ජිනීවා ගොස් පාස්කු ප‍්‍රහාරය දේශපාලන කුමන්ත‍්‍රණයක් යැයි පළ කළේය.

විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු දෙදෙනකු ද ඒ බව කලින් පවසා තිබුණි. මෑතකදී රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි ශානි අබේසේකර ද එම චෝදනාව එල්ල කළේය.

එසේ වුවත් රහස් පොලිසියේ අතීතය විමර්ශනය කරන විට විජය කුමාරතුංග ඝාතනය වසන් කිරීමට කි‍්‍රයාකළේ රහස් පොලිසියේ හිටපු ලොක්කන් බව අමතකද?

විජය ඝාතකයා රහස් පොලිසියේ හතරවැනි තට්ටුවෙන් අතුරුදන් විය. ඒ විජය ඝාතනය වසන් කිරීමට නොවේද?

මෙවන් පසුබිමක් මැද රුසියානු ආරක්‍ෂක හමුදාවේ ප‍්‍රධානියකු වූ කොකෝව් පාස්කු ප‍්‍රහාරය අයිසිස් කි‍්‍රයාවක් බව තහවුරු කළේය. එහෙත් ශානි අබේසේකර එය පිළිගත්තේ නැත. එසේ වුවත් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පාස්කු ප‍්‍රහාරකයන් තිදෙනකුට නඩු පවරනු ලැබීය. එම ප‍්‍රහාරය දේශපාලන කුමන්ත‍්‍රණයක් නම් ඇමරිකානු අධිකරණ බලධාරීන් නඩු පැවරුවේ වැරදීමකින්ද? පාස්කු ප‍්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට දේශපාලන බලවතුන් වූයේ මෛති‍්‍රපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහයි. හමුදා බුද්ධි අංශ ප‍්‍රධානි ධුරයෙන් මේජර් ජෙනරාල් සලේ ඉවත්කර තිබුණි.

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ආමි මොහිදින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ඔහු අපේ අයෙක් යැයි පවසා නිදහස් කරගනු ලැබුවේ ශානිගේ රහස් පොලිසියයි.

මේ සමයේ ගෝඨාභය රාජපක්‍ෂ සාමාන්‍ය පුද්ගලයෙකි. පාස්කු ප‍්‍රහාරය කොටි වැඩක් විය නොහැකි බව ගෝඨාභය පැවසුවත් රවි සෙනවිරත්න එය සටහන් කර ගත්තා මිස පරීක්‍ෂණ නොකළේ මන්ද?

මේ හැර විජයදාස රාජපක්‍ෂ මෙරට අයිසිස් ක‍්‍රියාකාරීන් ගැන හෙළි කළ විට රජය අයිසිස් ක‍්‍රියාකාරීන් නැතැයි කීවේය. මේ පසුබිම යටතේ අද සිදුවන්නේ පාස්කු ප‍්‍රහාරය කණපිට හැරවීමක්ද? මෙය දේශපාලන කුමන්ත‍්‍රණයක් නම් යහපාලන රජය යටතේ එවන් කුමන්ත‍්‍රණයක් දියත් කිරීමට ඉඩ ලැබෙනු ඇතැයි කිව හැකිද? ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් පාස්කු ප‍්‍රහාරයෙන් ඇඟ බේරාගත් අතර ඔවුන් මේ ප‍්‍රහාරයේ කුමන්ත‍්‍රණකරුවන්ද?

එසේම රහස් පොලිසිය නොමඟ යැවීම සඳහා හමුදා බුද්ධි සේවාව කටයුතු කළ බවට සැක මතුවී ඇතැයි ප‍්‍රහාරය සිදුවී වසර 3 ක් ගතවන අවස්ථාවේ ශානි අබේසේකර නැමැත්තා ප‍්‍රකාශ කර ඇත. එම ප‍්‍රකාශය කිරීමට ඔහු මෙතෙක් කල් සිටියේ මන්ද?

මේ තත්ත්වය මැද සහරාන් ප‍්‍රමුඛ අන්තවාදී කල්ලිය බෝම්බ පුපුරවනු ලැබුවේ බෞද්ධයකු ජනපති කිරීමටද?

අයිසිස් ත‍්‍රස්තයන් ලොව කිසිදු රටකදී අන්‍ය ආගමිකයන් වෙනුවෙන් දිවි නසාගත්තේ නැත.

එවන් විටක පාස්කු ප‍්‍රහාරය වෙනුවෙන් අත්අඩංගුවේ සිටින අන්තවාදීන් 300ක් තවමත් සිරගතව සිටින්නේ

ගෝඨාභය නිසාද? මේ අතර මෙම ප‍්‍රහාරය ගැන ඉන්දීය රෝ සංවිධානයටද චෝදනා එල්ල විය. මෙය රෝ වැඩක් බව හිටපු ගුවන් හමුදා භටයෙක් පවසා තිබුණි. එසේ නම් රෝ මෙහෙයුම දියත් වූයේ ගෝඨාභය බලයට ගෙන ඒමටද? පාස්කු ප‍්‍රහාරය ගැන ජිනීවා ගිය කාදිනල් හිමියන් මෙය දේශපාලන කුමන්ත‍්‍රණයක් යැයි පැවසුවේ සාක්කි ඇතිව ද යන බරපතළ ප‍්‍රශ්නය මතුවේ. කාදිනල් හිමිගේ දේශපාලන කුමන්ත‍්‍රණ කතාවට පදනම් වූයේ විපක්‍ෂයේ දේශපාලකයන් දෙදෙනකු පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශයයි. එවන් තත්ත්වයක් මැද පාස්කු ප‍්‍රහාරය ගැන රුසියාව, තුර්කිය, සිරියාව යන රටවල බුද්ධි අංශ වලින් තොරතුරු විමසීමට ශානිගේ රහස් පොලිසිය කි‍්‍රයානොකිරීම බරපතළය. අයිසිස් ක‍්‍රියාකාරීන් ගැන බුද්ධි තොරතුරු දන්නේ සිරියානු තුර්කි සහ රුසියානු එස් එස් බී බුද්ධි සේවාවයි.

මේ ප‍්‍රහාරය සිදුවීමත් සමඟම මෙරටට පැමිණියේ ඇමරිකානු එෆ් බී අයි, ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිය සහ බි‍්‍රතාන්‍ය පොලිසියයි. එහෙත් අයිසිස් ත‍්‍රස්තයන් ගැන දන්න වෙන කිසිදු පොලිසියක් මෙරටට පැමිණියේ නැත.

එසේ පාස්කු ප‍්‍රහාර ඔත්තුව ගැන අවධානය යොමු නොකළ පොලිස් නිලධාරීන් ගෝඨාභයගේ අනුගාමිකයන්ද? මේ තත්ත්වය මත පාස්කු ප‍්‍රහාරය ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පියවර ගත හැකිද?

එසේ නම් ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ මුම්බායි නගරයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර ගැන මානව හිමිකම් කවුන්සිලය පරීක්‍ෂණ නොකළේ මන්ද?

පාස්කු ප‍්‍රහාරය ගැන කටයුතු කිරීමට මානව හිමිකම් කොමසාරිස්වරියට මැන්ඬේට් බලයක් නැත. ඇයට මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන කටයුතු කිරීමට හැකි නමුත් ත‍්‍රස්ත ප‍්‍රහාර ගැන විමර්ශනය කිරීමට බලයක් ලබාදී නැත. එවැනි බලයක් ඇයට තිබුණේ නම් කොටි ප‍්‍රහාර ගැන ද ඇය විමර්ශනය කළ යුතුය.

මේ පසුබිම මැද රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි ශානි අබේසේකර පාස්කු ප‍්‍රහාරය ගැන හමුදා බුද්ධි අංශ සැක යැයි පැවසීමට දිගු කලක් ගත්තේ මන්ද යැයි විමසීමට කිසිවකු ඉදිරිපත් නොවූයේ මන්ද? එසේ රහස් පොලිසියේ බී වාර්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලබාදුන්නේ කවුද? මානව හිමිකම් කවුන්සිලයේ බලධාරීන් ඔවුන්ගේ වාර්තාවකින් ඒ බව දක්වා තිබුණි.

මේ හැර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසුවේ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් විටින් විට රහස් පොලිසියට පැමිණි බවයි.

එසේම රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ද සිය යතුරුපැදිය සහ පිස්තෝලය භාරදී ස්විට්සර්ලන්තයට පැනයෑම, හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර නොදැන සිටියේ යැයි සිතිය හැකිද? මේ සිද්ධිය වසන්වී ඇති අතර වත්මන් රහස් පොලිසියද ඒ ගැන පරීක්‍ෂණ අරඹා නැත. මෙම පසුබිම මැද කාදිනල් මැල්කම් රංජිත් හිමියන් ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා පවසා ඇත්තේ පාස්කු ප‍්‍රහාරය කුමන්ත‍්‍රණයක් බවත් ඒ පිටුපස ඇති සත්‍ය සෙවීමට ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

එය මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේගේ ශ‍්‍රී ලංකා විරෝධී මෙහෙයුමට තවත් අමුද්‍රව්‍ය සැපයීමකි. ඉස්ලාමීය අන්තවාදීන් කුමන්ත‍්‍රණ සිදුකර ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කර ඇති බවට එවන් ප‍්‍රහාර එල්ල වූ රටවලදී හෙළිවී නැත. මේ කුමන්ත‍්‍රණ කතාව අයිසිස් සහ ඉස්ලාමීය අන්තවාදීන්ට එල්ල වූ බරපතළ චෝදනාවෙන් ඔවුන්ව බේරාගැනීමක් බව පැහැදිලිය.

පාස්කු ප‍්‍රහාරය කුමන්ත‍්‍රණයක් බව පැවසුවත් ඊට සාක්‍ෂි අනාවරණය වී නැත. නීතිපතිව සිටි දප්පුල ද ලිවේරා විශ‍්‍රාම යෑමත් සමගම එය කුමන්ත‍්‍රණයක් බව කීවේය.

පිලිපීනයේ ක‍්‍රිස්තියානි පල්ලියකට ද අයිසිස් ප‍්‍රහාරයක් එල්ල වූ අතර එය කුමන්ත‍්‍රණයක් බව කිසිවකු පැවැසුවේ නැත. ලොව ත‍්‍රස්තවාදී කණ්ඩායම් එකවරම ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කරන අතර කුමන්ත‍්‍රණ සිදුකර ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කරන බවක් වාර්තා වී නොමැත.

කාදිනල්ගේ ප‍්‍රකාශයේ මෙලෙස දැක්වේ.

‘‘මුලින්ම පෙනෙන්නට තිබුණේ ප‍්‍රහාරය හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන්ගේ කි‍්‍රයාවක් බවයි. නමුත් පසුව සිදුකරන ලද ගවේෂණයෙන් පෙන්වාදුන්නේ එය විශාල දේශපාලන කුමන්ත‍්‍රණයක කොටසක් බවයි.

මෙහිදී නැගෙන ප‍්‍රශ්නය නම් මේ ගවේෂණය කළේ කවුද? රහස් පොලිසිය ද එසේත් නැත්නම් ජාත්‍යන්තර පොලිසියද? ආරංචි මාර්ග දක්වන්නේ මේ ගවේෂණය කර ඇත්තේ බොරු මරණ තර්ජන පෙන්නුම් කර ජර්මනියට සහ ඇමරිකාවට පැනගිය මාධ්‍ය පාර්ශ්ව දෙකක් බි‍්‍රතාන්‍යයේ සිට කි‍්‍රයාත්මක මඩ වෙබ් අඩවි දෙකක් විසිනි. එහෙත් කතෝලික සභාව මේ පිරිසගේ අතීතය සොයාබලා තිබේද? එම කුමන්ත‍්‍රණ චෝදනාවට ස්විට්සර්ලන්තයට පැනගිය හිටපු කැරලිකරුවකුද සම්බන්ධ වී ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින්ට ඔහුගේ පියා පාස්කු ප‍්‍රහාරය ගැන කල්තියා කළ අනතුරු ඇඟවීම යහපාලන බලධාරීන්ට දැන්වූයේ නම් එය වැළැක්වීමට ඉඩ නොතිබුණි ද එසේම ඔහුගේ පියාට ඒ බව දන්වා ඇත්තේ රහස් පොලිසියේ අයකු බව වාර්තා විය. එසේ නම් රහස් පොලිසිය මේ ප‍්‍රහාරය ගැන දැනසිටියේය. ඒ සමයේ රහස් පොලිස් ප‍්‍රධානියා වෙනින් කවුරුත් නොව ශානි අබේසේකරයි. මේ පසුබිම මත පාස්කු ප‍්‍රහාරයේ තෙවැනි වසර සපිරීමට ආසන්න අවස්ථාවේ ශානි අබේසේකරගේ ප‍්‍රකාශය පිළිගත හැකිද?

කාදිනල් රංජිත් මැල්කම් කළ ප‍්‍රකාශයේ තවදුරටත් මෙලෙස සඳහන් වී ඇත.

‘‘පසුගිය වසරේ මානව හිමිකම් කවුන්සිලය දියත් කරන ලද සාක්‍ෂි එක්රැස් කර ගැනීමේ කි‍්‍රයාවලිය දිගටම කරගෙන යෑමට සහ පාස්කු ඉරිදා සමූලඝාතනය පිටුපස ඇති සත්‍යය අනාවරණය කරගැනීම සහතික කෙරෙන ගවේෂණයක් සඳහා ක‍්‍රමවේදයක් සකස් කිරීමටත් දිගටම සහය වන ලෙස අපි ඉල්ලා සිටිමු. මෙහිදී මානව හිමිකම් කවුන්සිලය සාක්‍ෂි එක් රැස් කරගැනීමේ කි‍්‍රයාවලිය ආරම්භ කර ඇත්තේ ත‍්‍රස්තවාදය මර්දනය කළ යුද හමුදා ප‍්‍රධානින්ට එරෙහිව බව අමතක කළ යුතුද? එය මිෂලේ බැචලේ ප‍්‍රමුඛ බටහිර රටවල් සහ කොටි ඩයස්පෝරාවේ ව්‍යාපෘතියකි. මෙම පසුබිම මැද මෙරට අභ්‍යන්තර සිද්ධියක් වූ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව මැන්ඬේට් බලයක් ප‍්‍රකාශයට පත්කර ඒ ගැන විමර්ශනය කිරීමේ හැකියාවක් මානව හිමිකම් කොමසාරිස්වරියට නැත.

ඇය ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව සාක්‍ෂි එකතු කිරීමේ ක‍්‍රියාවලිය ද මුළුමනින්ම නීති විරෝධී වේ. එය ඇගේ බලය ඉක්මවා යෑමකි. මෙයට පෙර ඊශ‍්‍රායල් හමුදා යුද අපරාධ සිදුකළ බවට චෝදනා එල්ල වූ අවස්ථාවේ සාක්‍ෂි එකතු කිරීමේ යෝජනාවක් සම්මත කරගැනීමට මානව හිමිකම් කොමසාරිස්වරිය කටයුතු කළේ නැත. එහෙත් මිෂෙලි බැචලේ තම බලය ඉක්මවා කි‍්‍රයාකර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment