පාස්කු ප්‍රහාරයේ දේශපාලන තුරුම්පු එළියට

676

ජෙනරාල් සලේ සහරාන් හෂීම් හමු වුණාද?

මේ ඇරඹෙන්නේ මිලේනියම් සිටි තෙවැනි අදියරද?

මේ වන විට සියල්ල සිදුවන අන්දම දෙස බැලූ විට පෙනෙන්නට තිබෙන්නේ පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය එළැඹෙන 2024 වසරේ අවසාන භාගයේ මතුවන මෙරට මීළඟ දේශපාලන සූදු පිටියේ කපෝතිය තීන්දු කරන තුරුම්පු ආසියා බවට පත්කරමින් තිබෙන බවකි.

මෙහිදී එසේ තුරුම්පු නිර්මාණය කිරීමේ කටයුත්තේ ප‍්‍රධාන කාර්යභාරයක් සිදුකරමින් සිටින්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වින්දිතයන් බවට පත් මෙරට කිතුණුවන් වෙනුවෙන් සාධාරණය ඉල්ලා හඬ නැගූ කතෝලික පල්ලිය විසින්ම වීමද විස්මිතය.

කෙසේ වෙතත් මේ අන්දමට මෙරට මජර දේශපාලනය වෙනුවෙන් කවුරුන් මොනදේ කළද අපට එය අදාළම නැත. මන්ද මේ රටේ දේශපාලනය ගැන කතා කරන්නට දෙයක් දැන් ඉතිරිව නැති නිසාය. එහෙත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගෙන මෙසේ දේශපාලන තුරුම්පු නිර්මාණය කෙරෙන අතරේ තවත් පැත්තකින් මේ රටේ ජාතික ආරක්‍ෂාව වළ දමා සූක්‍ෂම ලෙස ඒ මත යළි බෙදුම්වාදයේ සහ විජාතික අරමුණුවල පැළ රෝපණය කිරීමට කවුරුන් හෝ සැරසෙන්නේ නම් ඒ දෙස බලා නිහඬව සිටින්නට අපට නොහැකිය.

පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයේ මහ මොළකරුවන් ඉල්ලා හඬ නඟන අතරේ එය අනාගත දේශපාලන තුරුම්පුවක් කරමින් සිටින කතෝලික පල්ලිය තුළින් දැන හෝ නොදැන අද දවසේ එසේ බෙදුම්වාදය සහ ද්‍රෝහී විජාතික අරමුණු වෙනුවෙන් කඬේ යෑමක් සිදුවෙමින් නොතිබේද?

පාස්කු ප්‍රහාරයේ දේශපාලන තුරුම්පු එළියට

පැහැදිලිවම එවන් දෙයක් සිදු වෙමින් තිබෙන බව පෙන්වා දෙන්නට ඇති හොඳම සාධකය වන්නේ මේ වන විට සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප‍්‍රශ්නය ය. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් වූ මෙරට කිතුණු ජනතාව වෙනුවෙන් සාධාරණය ඉල්ලා හඬ නැගීම අරඹනු ලැබුවේ එකී ම්ලේච්ඡ ප‍්‍රහාරය සිදුවූ දා සිටය. සැබෑවටම කාදිනල් හිමියන්ගේ ඒ හඬ තුළ වූයේ අව්‍යාජ වූ අවංක හැඟීමක් බව අමුතුවෙන් සඳහන් කළ යුතුද නැත. සියල්ලෝ එය ගෞරවයෙන් අනුමත කළහ. එහෙත් දැන් දැන් එකී හඬ නැගීම අව්‍යාජත්වයෙන් සහ අවංකභාවයෙන් බැහැරට යමින් පීල්ල මාරු වී වෙනත් මාවතක ගමන් කරමින් නොතිබේද? අද දවසේ සිරිල් ගාමිණී පියතුමන් සම්බන්ධයෙන් කතාවක් නිර්මාණය වී තිබෙන්නේ එසේ පීල්ල මාරුවීම නිසා නොවේද?

අප ඒ ප‍්‍රශ්නය මෙහිදී විමසා සිටින්නේ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගෙන්ය. සිදුවූයේ එවැනි පීලි මාරුවීමක් නොවේ නම් පාස්කු ප‍්‍රහාරය පිළිබඳ කතා කරන්නට ගොස් එහි වගකීම වත්මන් රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඇතුළු සමස්ත බුද්ධි අංශ වෙත පැවරීමට සිරිල් ගාමිණී පියතුමන් කටයුතු කළේ කුමකටද?

සිරිල් ගාමිණී පියතුමන් මෙම චෝදනාව රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා ඇතුළු බුද්ධි අංශ වෙත කරනු ලැබුවේ වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවති සම්මන්ත‍්‍රණයකදීය. එහිදී එතුමන් කියන්නේ පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන ඝාතකයා වූ මොහොමඞ් කාසිම් මොහොමඞ් සහරාන්ට එවකට බි‍්‍රගේඩියර් නිලයේ සිටි වත්මන් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඇතුළු බුද්ධි අංශ විසින් මූල්‍යමය වශයෙන් සහ වෙනත් ආකාරවලින් සහාය දී තිබෙන බවය. සිරිල් ගාමිණී පියතුමන් සිදු කළ මෙම ප‍්‍රකාශයත් සමඟ එය මුළුමනින්ම අසත්‍ය ප‍්‍රකාශයක් බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඒ පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය. අදාළ ප‍්‍රකාශය හේතුවෙන් තමන් සහ තම පවුලේ අයගේ ජීවිතවලටද තර්ජනයක් එල්ල වන අතර සමස්ත බුද්ධි අංශ කඩා වැටෙමින් ජාතික ආරක්‍ෂාවටද තර්ජනයක් එල්ල වන බව එකී පැමිණිල්ල මඟින් කියා සිටි රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.

මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදු කළ එම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට සිරිල් ගාමිණී පියතුමන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම් දීමක් කරනු ලැබීය.

එසේ දැනුම් දීමත් සමඟ පාස්කු ප‍්‍රහාරයේ වගකීම කිසිදු වගවිභාගයක් නොමැතිව රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා ඇතුළු සමස්ත බුද්ධි අංශ වෙත පැවරූ සිරිල් ගාමිණී පියතුමන් කරනු ලැබුවේ කුමක්ද?

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යෑම මඟහැර සිටි එතුමන් කළේ තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බව සඳහන් කරමින් සිය මූලික අයිතිවාසිකම් කඩවී තිබෙන බව පවසා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමය. සිරිල් ගාමිණී පියතුමන් රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා ඇතුළු සමස්ත බුද්ධි අංශ වෙත චෝදනා කරමින් සිදු කළ ප‍්‍රකාශය පදනමක් සහිත සත්‍ය එකක් වූයේ නම් එකී සාක්‍ෂි සාධක ඉදිරිපත් කළ කල්හි ප‍්‍රකාශයක් ලබා දීමට යන එතුමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නොහැකිය. එසේම බුද්ධි අංශවලට එරෙහිව සිදු කළ ප‍්‍රකාශය සත්‍යවාදී එකක් වූයේ නම් තමන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව පවසා සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතුද නැත. මන්ද එතුමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති නිසාය. එසේ නම් සිරිල් ගාමිණී පියතුමන් අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබියදී තමන්ව අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව පවසා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේ කුමක් නිසාද?

එයින් පැහැදිලි වන්නේ එතුමන් රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා ඇතුළු බුද්ධි අංශවලට එල්ල කළ චෝදනාව කිසිදු පදනමක් නැති අසත්‍ය එකක් යැයි යන්න නොවේද?

ඇතැම්විට මෙහිදී සිරිල් ගාමිණී පියතුමන් කිසියම් දේශපාලන හස්තයක අතකොලූවක් වූවාද විය හැකිය. එහෙත් මේ රටේ කිතුණු ජනතාවට යහමඟ කියා දීමට සිටින පූජකවරයකු වන සිරිල් ගාමිණී පියතුමන් කුමන තත්ත්වයක් යටතේ හෝ මෙවැනි පදනම් විරහිත ප‍්‍රකාශයක් කිරීම මොනතරම් බරපතළද?

ඉන් නොමඟ යන්නේ මේ රටේ ජනතාවය. කඩා වැටෙන්නේ නින්දිත දේශපාලන කුමන්ත‍්‍රණ හමුවේ පාවා දීම් දෙකකට මැදිවී මේ වන විට යළි ස්ථාවර වී තිබේ සමස්ත බුද්ධි අංශවල ශක්තිය ය. ඒ තුළින් බිඳ වැටෙන්නේ ජාතික ආරක්‍ෂාවය.

ඒ පිළිබඳ කල්පනා කිරීමේදී මතුවන ප‍්‍රශ්නය වන්නේ පාස්කු ප‍්‍රහාරය දේශපාලන තුරුම්පුවක් බවට පත්කරමින් සිටින කතෝලික පල්ලිය ඒ තුළින් වෙනත් ආකාරයකට ‘මිලේනියම් සිටි’ මහා පාවා දීමේ තුන්වැනි අදියර ආරම්භ කර තිබේද යන්නය.

‘මිලේනියම් සිටි’ මහා පාවාදීම සිදුවූයේ ඉකුත් 2002 වසරේ ජනවාරියේදීය. එහි දෙවැනි අදියරය 2015 යහපාලනයත් සමඟ කි‍්‍රයාත්මකවිය. ඒ අනුව බලන කල සිරිල් ගාමිණී පියතුමන් මේ නොකියා කියමින් සිටින්නේ එළැඹෙන 2025 ජනවාරිය වන විට එහි තුන් වැනි අදියරයත් කි‍්‍රයාත්මක කරන බවද?

සිරිල් ගාමිණී පියතුමන් මෙසේ සීඅයිඞීයට නොගොස් ශ්‍රේෂ්ඨාධිකරණයට යද්දී සිදුවූ තවත් හාස්‍යජනකම සිදුවීමක් වූයේ එතුමන් වෙනුවෙන් කතා කරන්නට සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ති‍්‍ර සහ පසුගිය යහපාලන රජයේ හිටපු පොලිස් ඇමැති වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් වීමය. එසේ ඉදිරියට පැමිණි සිරිල් ගාමිණී පියතුමන් වෙනුවෙන් කඳුළු සලන්නට වූ හිටපු පොලිස් ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීවේ පූජකවරයෙක් අරබයා මෙසේ කටයුතු කිරීම සිදු නොකළ යුතු බවය.

සහරාන් හසීම් ඇතුළු ම්ලේච්ඡ කල්ලිය පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඉකුත් 2019 වසරේ අපේ‍්‍රල් 26 වැනිදාය. අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ එදා සිට එම ප‍්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවෝ සොයන්නාහ.

සහරාන් හෂීම් ඇතුළු කල්ලිය මේ ම්ලේච්ඡ ප‍්‍රහාරය එල්ල කරන්නට හරියටම මාස එකොළහකුත් දින හතකට පෙර එනම් ඉකුත් 2018 වසරේ මැයි 19 වැනිදා එවකට සිටි රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා යහපාලන පොලිස් ඇමැතිවරයාව සිටි රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් යවන්නේය.

එකී ලිපියේ සඳහන් වූයේ කුමක්ද? නිලන්ත ජයවර්ධන මහතා එදා රංජිත් මද්දුම බණ්ඩාර මහතා යැවූ එකී ලිපිය අරඹන්නේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් කාසිම් මොහොමඞ් සහරාන් නමැත්තකු විසින් පවත්වාගෙන යනු ලබන සමාජ ජාල ගිනුමක් හරහා 2018-05-16 දින ජිහාඞ් සම්බන්ධ වීඩියෝවක් නිකුත් කරමින් නබිතුමා ඉස්ලාමය ලොව පුරා ව්‍යාප්ත කිරීමට අන්‍යාගමිකයන්ට එරෙහිව යුද්ධයක් සිදු කළ බව සඳහන් කර ඇතැයි කියමින් එම ලිපිය අරඹන නිලන්ත යනුවෙන් සඳහන් කරමිනි.

ඒ අන්දමට පිටු දෙකකින් යුතු එකී ලිපිය හරහා සහරාන් හෂීම්ගේ පැටිකිරියම එවකට පොලිස් ඇමැතිවූ රංජීත් මද්දුම බණ්ඩාර මහතාට සාධක සහිතව පෙන්වා දෙන නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා එමඟින් අවසානයේ ඉල්ලා සිටින්නේ වහාම විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සහරාන් හෂීම් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට කටයුතු කරන ලෙසය.

සහරාන් හෂීම් ඇතුළු ම්ලේච්ඡ කල්ලිය ඉකුත් 2019 වසරේ අපේ‍්‍රල් මස 26 වැනිදා රටම කම්පනයට පත් කරමින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කරනු ලබන්නේ ඊට හරියටම මාස එකොළහකට පෙර රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා රංජිත් මද්දුම බණ්ඩාර මහතාට එසේ සහරාන් හෂීම්ගේ පැටිකිරිය පිළිබඳ දැනුම් දී වහාම ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබියදීය. ඒ අනුව දැන් අපට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් දෙස බලා ඉඟි කර කියන්නට සිදුවන්නේ උන්වහන්සේ සොයන අය දැන් සිටින්නේ පල්ලිය ඇතුළේම බව යන්න පමණි. එසේම පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම පත්වීමේ සිට එම කොමිසමේ පොලිස් ඒකකය භාරව සිටි නිලධාරියා ඉවත් කර ඒ සඳහා ඉස්ලාමය දැඩිව අදහන කාන්තාවක හා විවාහ වී සිටින පොලිස් නිලධාරියකු පත්වූ සැටි, පාස්කු ප‍්‍රහාරකයන්ගේ ජංගම දුරකථන විදේශයකට ගිය සැටි මෙන්ම ඒ පිළිබඳ විමර්ශන පවත්වමින් සිටියදී පොලිසියෙන් ඉවත් වී එක්තරා පොලිස් නිලධාරියකු මුස්ලිම් ඇමැතිවරයකු මගින් රාජ්‍ය ආයතනයක රැකියාවට ගිය සැටි ආදී වශයෙන් කරුණු සොයා බැලීමක් කළේ නම් දෙවසරක් පුරා සොයන මහ මොළ හඳුනා ගන්නට කාදිනල් හිමියන්ට පහසු වනු ඇතැයිද මෙහිදී සඳහන් කළ යුතුව තිබෙන්නකි.

මේ අන්දමට අද පාස්කු ප‍්‍රහාරය දේශපාලන තුරුම්පුවක් බවට පත්වෙද්දී සිරිල් ගාමිණී පියතුමන් වැනි අයගෙන් බුද්ධි අංශ වෙත ප‍්‍රහාරයන් එල්ල වෙමින් තිබෙන්නේද තවමත් ඉස්ලාම් අන්තවාදයේ සෙවනැලි රට තුළ හොල්මන් කරමින් තිබියදී වීම මෙහි ඇති බරපතළම කරුණකි. ඉකුත් 2020 වසර අවසානයේදී ඉන්දීය ආරක්‍ෂක අංශ මගින් එරට සිටි අයිඑස්අයිඑස් ත‍්‍රස්තයකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ එක් වැදගත් කරුණක් වූයේ ශී‍්‍ර ලංකාවේ පුද්ගලයන් 702 දෙනකු ඔහු හා සබඳතා පවත් ඇති බවය.

මේ සම්න්ධයෙන් ඉන්දීය රජට මගින් මෙරටට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය සහ බුද්ධි අංශ මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබූ අතර අදාළ දුරකථන සබඳතා විශ්ලේෂණය කිරීමේදී හෙළි වූයේ අදාළ පුද්ගලයන් 702 දෙනා අතරින් 50 දෙනකු එකී අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීයා සමඟ ඍජු සබඳතා පවත්වා ඇති බවකි.

ඉන් කිහිප දෙනකු ඒ වන විට මියගොස් තිබුණු අතර තවත් තිහිප දෙනකු පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අනුව ඉතිරි පිරිස සොයා විමර්ශන සිදු කළ පොලිසිය සහ බුද්ධි අංශ ඉන් 28 දෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබීය.

මෙකී පුද්ගලයන් පනස් දෙනා අතරින් තවත් පිරිසක් දැනට සිටින්නේ විදේශගතවය. ඔවුන් සියලූම දෙනා සමාජ මාධ්‍ය භාවිත කරමින් ඉස්ලාම් අන්තවාදී අදහස් පැතිරවීමට කි‍්‍රයා කර තිබෙන බවද මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඒ අනුව අන්තවාදය දෙසට යොමුවූවන් තව කොතෙක් සිටී දැයි යන්න මේ දක්වා හෙළිවී නැත.

ඉන් කියැවෙන්නේ ඉස්ලාම් අන්තවාදය අලූයට ගිනි සේ තවමත් මේ බිමේ පවතින බව නොවේද? ඒ අනුව සිරිල් ගාමිණි පියතුමන් පාස්කු ප‍්‍රහාරය ගෙන මේ අන්දමට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කැපවී සිටින බුද්ධි අංශ වෙත ප‍්‍රහාර එල්ල කිරීමේදී යම් ලෙසකින් තවත් අන්තවාදී ප‍්‍රහාරයකට මේ රට ගොදුරු වුවහොත් එහි වගකීම භාර ගන්නේ කවරෙක්ද?

එදාට මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ට හෝ සිරිල් ගාමිණී පියතුමාණන්ට සහ කතෝලික පල්ලියට එකී වගකීම භාරගත හැකිද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment