පාස්කු ප‍්‍රහාරයට හිටපු ජනපති අගමැති ඇතුළු ඇමැතිවරු වගකිව යුතුයි – කොමිසම නිර්දේශ කර ඇතැයි ජනපති කියයි

416

* වගකිව යුතු අයගේ අයිතිවාසිකම් අවශ්‍යනම් අත්හිටුවිය හැකියි

* ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කල්‍යාණි රන් පිවිසුම ජනතා අයිතියට පත්කරමින් කියයි

පාස්කු ප‍්‍රහාරයට හිටපු ජනපති අගමැති ඇතුළු ඇමැතිවරු වගකිව යුතුයි - කොමිසම නිර්දේශ කර ඇතැයි ජනපති කියයි



පාස්කු දා සිදුවූ ප‍්‍රහාරයට එවකට ජනාධිපති, අගමැති ඇතුළු මුළු ඇමැති මණ්ඩලයම වගකිව යුතු බවට ඔවුන් විසින්ම පත්කළ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කර ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

වැරැුදිකරුවන්ට දඬුවම් දීම අධිකරණය මගින් සිදු කරනු ඇතැයි ද පැවසූ රාජපක්‍ෂ මහතා පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු අයගේ අයිතිවාසිකම් වුවද අත්හිටුවීම පනතක් මගින් සිදු කළ හැකි බව නොයෙක් දේවල් ඉල්ලා සිටින අයට මතක් කර දෙන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

පාස්කු ප‍්‍රහාරයට හිටපු ජනපති අගමැති ඇතුළු ඇමැතිවරු වගකිව යුතුයි - කොමිසම නිර්දේශ කර ඇතැයි ජනපති කියයි


ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (24 දා) සවස කල්‍යාණි රන් පිවිසුම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික නායකයන්ගේ ආශිර්වාද මැද ‘කල්‍යාණි රන් පිවිසුම’ ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය ආරම්භ වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, ශී‍්‍ර ලංකා ජපාන තානාපති ඉසයින් විෂෝකෝෂි සහ ජයිකා ආයතනයේ ප‍්‍රධාන නිලධාරි ෂවාමා මයිඩා යන මහත්වරු විසින් පාලම ජනතා අයිතියට පත් කෙරිණි.

ඉන් පසුව පැවති උත්සවය අමතා කතා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද පැවසීය.

මහින්ද රාජපක්‍ෂ, එවකට ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුවයි පාලම ඉදිකරන්න පදනම වැටුණේ. මේ ස්ථානයේ තිබූ නිවාස වෙනුවට තට්ටු නිවාස ලබා දෙන්න අපි කටයුතු කළා.

මේ රටේ තිබුණ යුද්ධය අවසන් කළාට පසු දැවැන්ත සංවර්ධනයක් ආරම්භ වුණා. අධිවේගී මාර්ග, මහා මාර්ග, පාලම්, නිවාස, වරාය, ගුවන්තොටුපළ ආදී අංශවල විශාල සංවර්ධනයක් ඇති කළා.

තිස් වසරක යුද්ධයෙන් පසු යෝධ සංවර්ධනයක් රට තුළ ඇති කළා. කටුනායක අධිවේගී මාර්ගය ඉදිකළ පසුව ඇතිවූ වාහන තදබදය නිසා තමයි කල්‍යාණි පිවිසුම් පාලම ඉදිකළේ.

ඉඟුරුකඬේ හන්දිය සිට වරාය නගරය දක්වා දීර්ඝ වෙමින් තිබෙනවා. වසරක් දෙකක් තුළ එයත් නිම කරනවා. මේ අධිවේගී මාර්ග පද්ධතිය මගින් දුෂ්කර ගම්මාන හා නගරය යා වෙනවා. මේ රටේ නගර ආශි‍්‍රතව විශාල තදබදයක් තිබෙනවා. එනිසා මෙරටට ගෙන එන ඉන්ධන වලින් සියයට පහක් අපතේ යනවා. මාර්ග තදබදය නිසා තෙල් පිළිබඳ අර්බුදයක් තියෙනවා. මේ රටේ බස්නාහිර පළාතෙන් ඔබබට තිබේන පළාත්වල සංවර්ධනයක් තිබුණේ නෑ, ඒ පළාත්වල සංවර්ධනය පිණිස තමයි මේ අධිවේගී මාර්ග පද්ධතිය ඇති කළේ. තෙල් අර්බුදයට පවා මෙමගින් විසඳුම් ලැබෙනවා. තෙල් ගෙන්වන්නට ඩොලර් මිලියන 350 ක් මාසෙකට අවශ්‍යයි. අපි අපනයනයෙන් මාසෙකට උපයන්නෙ ඩොලර් 1000 ක් පමණයි. අපිට ගල්අඟුරු, තෙල්, ගෑස් නෑ. නමුත් අපිට ජලය, සුළඟ හිරු එළිය තියෙනවා. 2030 වනවිට සියයට 70 ක් වත් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිපදවන්න බලාපොරොත්තුවෙන්නෙ ඒ නිසයි. මේ පාලම ඉදිකරපු සියලූදෙනාට මම ස්තුතිය පුද කරනවා. මම මෙතැනින් යන එන විට දැක්කා ඒ කම්කරුවො මොන තරම් වෙහෙසෙනවද කියලා. මේ පාලම ඉදිකරන්න කටයුතු කළ ඉංජිනේරුවො වගේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවොත් රට වෙනුවෙන් කැප වෙයි කියලා හිතනවා. මෙරටට ගෙන එන ඉන්ධනවලින් සියයට 71ක් ම භාවිතා කරන්නෙ වාහනවලට.

මම මේ රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නෙ. ගොවින්ට පොහොර නොමිලේ දුන්නා. සහතික මිලක් ලබා දුන්නා. ඒ වගේම අපි පොරොන්දු වුණා වස විස නැති ආහාර පාන ජනතාවට ලබා දෙනවා කියලා. මින් ඉදිරියේදී පුනර්ජනනීය බලශක්තිය හරහා තෙල් අර්බුදයටත් විසඳුම් දෙනවා.

විරුද්ධ පක්‍ෂය අපිව විවේචනය කරනවා. තාම අපි බලයට ඇවිත් වසර දෙකයි. විපක්‍ෂය අද කතා කරන්නෙ කිසිම කාලෙක මේ රට පාලනය නොකරපු අය වගේ. පාස්කු ප‍්‍රහාරය එල්ල වන විට කවුද රට පාලනය කළේ. අපි එදා ශක්තිමත් ආරක්‍ෂාවක් රට තුළ ඇති කරලා තිබුණා. නමුත් අද විපක්‍ෂයේ ඉන්න අය බලයට ඇවිත් රටේ ආරක්‍ෂාව නැති කළා. බුද්ධි අංශ දුර්වල කළා. පාස්කු ප‍්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් ඒ අය පත් කළා. හිටපු ජනාධිපති, අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය ඒ ප‍්‍රහාරයට වගකිවයුතු බව කියලා තියෙනවා. ඊට වගකිවයුතු අය පිළිබඳ සඳහන් කරලා තියෙනවා. අපි ඒ අයට නිසි දඬුවම් ලබා දෙන්න පියවර ගන්නවා. අධිකරණයේ ස්වාධීනත්වය අපි තහවුරු කළා. අධිකරණය නීතිය ක‍්‍රියාත්මක කරයි. ඒ වැරදි යළි නොවන්න අවශ්‍ය දේ කරන්න සූදානම්. අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඉල්ලන දේ ප‍්‍රවේශමෙන් ඉල්ලන්න. පාර්ලිමේන්තු බලය හරහා ගත යුතු පියවර අපට ගත හැකියි.

එදා කිව්වේ ගෝඨාභය රාජපක්‍ෂට දිනන්න බෑ කියලා. සුළු ජාතීන්ගේ ඡුන්දය ගන්න බෑ කියලා කිව්වා. අපි දිනුවේ නැද්ද. මාව විශාල ඡුන්ද සංඛ්‍යාවකින් ජයග‍්‍රහණය කළෙත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා දුන්නෙත් ඒ නිසයි.

මේ රට බාරගත් දවසේ සිටම කොවිඞ් වසංගතය ආවා. වසංගතය හමුවේ ගත යුතු පියවර පිළිබඳ කිසිවෙකුට අවබෝධයක් තිබුණේ නෑ. එන්නත් මේ රටේ නිෂ්පාදනය නොකළත් අපි ජනතාවට එන්නත ලබා දුන්නා. දැන් බූස්ටර් එන්නතත් ලබා දෙන්න පියවර අරගත්තා. වසර දෙකක කාලය තුළ වසංගතයට මුහුණ දීලා ජනතාවට එන්නත ලබා දීලා රට විවෘත කළා. සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවන්න කටයුතු කරනවා. ඒ සඳහා සැලසුම් සකස්කරලා ක‍්‍රියාත්මක කරනවා. මම බලයට ආවට පස්සෙ එතනෝල් ගෙන එන එක සම්පූර්ණයෙන් නතර කළා. උක් වගාකරුවන්ට හොඳ වෙළෙඳපොළක් ඇති කළා. වැසී ගොස් තිබූ කර්මාන්ත ලාබ ලබන තැනට පත් කළා. කහ, බුලත්, ගම්මිරිස්, කුරුඳු ගොවියා අද ලාබ ලබනවා. අපේ ප‍්‍රතිපත්තියේ සාර්ථකභාවය නිසයි ඒ ජයග‍්‍රහණ ලැබුණේ නමුත් විපක්‍ෂය ජනතාව පාරට ගේන්න උත්සාහ කරනවා. කොවිඞ් වසංගතය මැද කොළඹට ජනතාව ඒකරාශී කළා. මේකද වගකිවයුතු විපක්‍ෂයක කාර්යභාරය. ජනතාව මුළා කරමින් විපක්‍ෂය කටයුතු කරනවා. මේ රට වසා නොදමා ඉදිරි වසර තුන කරගෙන යන්න පුළුවන් වුණොත් අපි රට තුළ විශාල සංවර්ධනයක් ඇති කරනවා. පළපුරුදු, පරිණත දේශලානඥයින් ඉන්නවා. ඒ අයට ඇමැතිකම් නෑ. ඇමැතිවරු 25කට සීමා කරනවා කියලා, විපක්‍ෂයට පොරොන්දු විය හැකිද? අපි ඇමැති මණ්ඩලය අඩු කළා. කිසිවකු නොසිතපු ක්‍ෂේත‍්‍ර අපි දියුණු කරගෙන යනවා. ලෝකයෙම ආර්ථික අර්බුදය තිබෙන මොහොතක අපි ජනතාවගේ සුබසාධන කටයුතු කරගෙන යනවා. අපි ආරම්භ කර තිබෙන යටිතල පහසුකම් ශක්තිමත් කිරීම ඉදිරියටත් මේ ආකාරයට කරගෙන යනවා. අපිට මේ ව්‍යාපෘතියට මූල්‍ය ශක්තිය ලබා දුන් ජපන් රජයටත්, ජයිකා ආයතනයටත් ස්තුතිය පුදකර සිටිනවා.

මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා-

මේ පාලම කොවිඞ් වසංගතය පැවැති කාලයේ හදපු එකක්. ජීවිත පරිත්‍යාගයෙන් තමයි මේ නිලධාරීන් සේවකයන් මේ පාලම හැදුවේ. ඒ අයට අපි ජාතියේ ප‍්‍රණාමය පිරිනමනවා. කොවිඞ් ඉවර වනතුරු හිටියානම් මේක හදලා ඉවර කරන්න වෙන්නෙ නෑ. ජනාධිපතිතුමා තමයි අපිට කිව්වේ කිසිම සංවර්ධනයක් නතර කරන්න එපා කියලා. දින 56ක් වසංගතය නිසා ඉදිකිරීම් කටයුතු නතර වුණා. ඒ නිසා තමයි අපිට මේ පාලම මේ වෙලාවේ විවෘත කරන්න හැකිවුණේ.

විපක්‍ෂයේ අය කියනවා ඒ අය තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ කියලා. එදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තය තමයි අධිවේගී ව්‍යාපෘති ලංකාවට ගෙනාවේ. 2012 දී තමයි මේ කල්‍යාණි පාලම් ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යන කටයුතු කළේ.

මේ දිනය ඉතිහාස ගත වන දවසක්. සෞභාග්‍යයේ දැක්මේ ලබාදීලා තියෙන පොරොන්දු ඉෂ්ට කරනවා. විපක්‍ෂය කොවිඞ් වසංගතය එක්ක සෙල්ලම් කරනවා. නමුත් ජනාධිපතිතුමා නිවැරදිව කොවිඞ් එන්නත මෙරටට ගෙන්නලා ජනතාවට එන්නත ලබාදුන්නා. විපක්‍ෂය චෝදනා කළේ මේ රට පරීක්‍ෂණාගාරයක් කරන්න එපා කියලා. ඒ එන්නත්කරණයට එරෙහිව විපක්‍ෂය විවිධ බේගල් ඇද බෑවා.

කොවිඞ්වලින් ලංකාවේ ලක්‍ෂ විස්සක් මියයයි කියලා විපක්‍ෂය කිව්වා. මිනිස්සු මරලා හරි බලය ගන්න විපක්‍ෂය කටයුතු කරනවා. සියලූ ජනතාව එන්නත ගත්තට පස්සේ තමයි අරගන්නෙ කියලා කියපු අය මැදින් පැනලා එන්නත ගහගත්තා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රට ගොඩගන්නවා. ඒක විශ්වාසයි. ජනාධිපතිතුමා පිරිසිදු නායකයෙක්. ජනතාවට අපි කියන්නේ අවදියෙන් ඉන්න කියලයි. අපි ඡුන්ද කල් දාන්නේ නෑ. අපි ඕනෑම මැතිවරණයක් ජය ගන්නවා. අපිට නිවැරදි නායකයෙක් ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා අපේ පරිණත නායකයා. එතුමා අපට ශක්තියක්. අපි නවීන මාර්ග පද්ධතියක් සකසනවා. ලංකාවේ වැඩිම පාලම් හැදුවේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ පාලන කාලෙයි. එතුමා ගෙනා වැඩපිළිවෙළ ගෝඨාභය ජනාධිපතිතුමා ඉදිරියට කරගෙන යන්න සූදානම්.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment