පාස්කු ප‍්‍රහාරයෙන් විපතට පත් ජනතාවට අනිවාර්යෙන්ම යුතුකම් ඉටු කරනවා… විපතට පත් පවුල් 19කට ලක්‍ෂ 40 ක් වටිනා නව නිවාස

92

පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටුකළ යුතු යුතුකම් අපි අනිවාර්යෙන්ම ඉටු කරනවා යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොටහේන සාන්ත ලූසියා ආසන දෙව්මැඳුරේ දී පෙරේදා (28 දා) පස්වරුවේ පැවසීය.

2019 අපේ‍්‍රල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමේ පළමු අදියරට එක්වෙමින් අග‍්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

අග‍්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණවලින් ප‍්‍රතිලාභී පවුල් 19 කට මෙසේ නව නිවාස ප‍්‍රදානය කෙරිණි.

කුලී පදනම හා අඩු ආදායම්ලාභී පදනම මත තෝරාගත් ප‍්‍රතිලාභී පවුල් 33 කට මෙසේ නව නිවාස ප‍්‍රදානය කිරීමට නියමිත අතර එම එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 4 ඉක්මවයි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘එදා කොච්චිකඬේ බෝම්බ ප‍්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජයක් වශයෙන් කළ යුතු යුතුකම අපි අනිවාර්යයෙන් ඉටුකරනවා. අපි අතින් ප‍්‍රමාදයන් ඇතිවෙන්න ඇති, එහෙත් අනිවාර්යෙන්ම ඔවුන් වෙනුවෙන් අපේ කැපවීම කරන්න සූදානම්.

මොකද අපි දන්නවා ත‍්‍රස්තවාදයෙන් බැටකාපු පිරිස ඒ පවුල් මොනතරම් තත්ත්වයක ඉන්නවාද කියන එක. මේ වාගේම ඉදිරියේ දී එවැනි තත්ත්වයක් ඇති නොවන්න වගබලා ගන්න මේ රජය පියවර ගන්නවයි කියන එක මතක් කළ යුතුව තිබෙනවා. ජනතාවට නිදහසේ ජීවත්වෙන්න ගමන් බිමන් යන්න. තමන්ගෙ ආගම ඇදහීම සඳහා පන්සලට පල්ලියට කෝවිලට යන්න අයිතිය තිබිය යුතුයි.

විශේෂයෙන්ම අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා හමුවුණ හැම අවස්ථාවකදීම මතක් කරන එක කාර්යයක් තමයි එදා පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වුණ ජනතාව වෙනුවෙන් රජයක් විසින් ඉටු කළ යුතු යුතුකම් ඉටු කරන්න කියන එක. අපි බොහොම පැහැදිලිව කියන්න ඕන අපෙන් විය යුතු යුතුකම අපි අනිවාර්යයෙන් ඉටු කරනවා.

ඒ වගේම තමයි එවැනි තත්ත්වයක් අනාගතයේ දී ඇති නොවන්න වගබලා ගැනීම

අපේ වගකීමක්. ඒ සඳහා අපි කටයුතු කරනවා. රජයක් වගකීම භාරගත්තම නිවාස නොමැති අය වෙනුවෙන් නිවාස ලබා දීමත් අපේ වගකීමක්. ඒ නිසා ඒ නිවාසලාභීන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළත් අපි ක‍්‍රියාත්මක කරන බව මතක් කළ යුතුයි.

මේ රටේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමන්න අපි කටයුතු කළා. ඒ අවස්ථාවේ අවුරුදු 27 කට 30 කට ආසන්න කාලයක් මේ රටේ තිබුණ ත‍්‍රස්තවාදය නිසා ජනතාව මොන තරම් නම් බැටකෑවද කියන එක අපි දන්නවා. ඒ නිසාම බලයට ඇවිල්ලා අවුරුදු තුනක් යන්න ඉස්සරවෙලා ඒ ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන්න අපට පුළුවන් වුණා කියන එක අපි සංතෝෂයෙන් කියන්න ඕන.

ඒ නිසා ඉදිරියටත් කිසිවිටෙකත් ත‍්‍රස්තවාදයට ඉඩ නොදෙමින් රටේ ජනතාවට නිදහසේ නිවහල්ව තමන්ගෙ ආගම ඇදහීමට ජීවත්වීමට පියවර ගැනීම අපි කරනවා කියලා මතක් කරන්න ඕනි. අපිට යුතුකමක් තියෙනවා ඒ යුතුකම තමයි පීඩා විඳි අය වෙනුවෙන් දිය යුතු වන්දි, ඒ වගේම අනෙකුත් දිය යුතු දේවල් නොපිරිහෙලා ඉටු කරන්න. ඒ නිසා ඔවුන් වෙනුවෙන් එය නොපිරිහෙලා ඉටු කරනවාය කියන එකත් සිහිපත් කරනවා.

අද අපි උතුර ද නැගෙනහිර ද දකුණද බටහිර ද කියලා බැලූවෙ නැතිව අපේ සංවර්ධන වැඩපිළිවෙල රට පුරාම එක හා සමානව ඉටු කරමින් යන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ සංවර්ධනය එක්ක රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අපි පියවර ගන්නවා. අපෙන් විය යුතු යුතුකම් ඉටුකරන්න අපි හැමවෙලාවෙම සූදානම් කියන එක මතක් කරමින් ඔබ සියලූ දෙනාට සුබ අනාගතයක් ප‍්‍රාර්ථනා කරනවා යැයි අග‍්‍රාමාත්‍යතුමා පැවසීය.

අති උතුම් ජේ. ඞී. ඇන්තනී සහ අතිඋතුම් ඇන්ටන් රන්ජිත් රදගුරුතුමන්ලා ඇතුළු පියතුමන්ලා සහ ප‍්‍රතිලාභී පවුල්වල සාමාජිකයෝ මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර මහත්වරු ඇතුළු පිරිසක් ද උත්සව අවස්ථාවට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment