පාස්කු ප‍්‍රහාරය, මිලේනියම් සිටි වරද කාගෙද?

448

ජෙනරල් සලේ බුද්ධි අංශය භාරව සිටියා නම් පාස්කු ප‍්‍රහාරය එල්ල වෙන්නේ නැහැ – සරත් වීරසේකර

මිලේනියම් සිටි සම්පූර්ණ වරද ජෙනරල් බලගල්ලගෙ -රනිල් වික‍්‍රමසිංහ

පාස්කු කොමිසමේ වෙළුම් 23ක වාර්තාව රටට හෙළි කළේ නෑ – චම්පික රණවක

පාස්කු ප‍්‍රහාරය, මිලේනියම් සිටි වරද කාගෙද?

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා කළ ප‍්‍රකාශයක් හේතුවෙන්, පාස්කු ප‍්‍රහාරය ගැනත්, මිලේනියම් සිටි පාවාදීම මෙන්ම බුද්ධි අංශ පිළිබඳවත් කරුණු රැසක් පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) ප‍්‍රකාශ විය.

එහිදී සරත් වීරසේකර, රනිල් වික‍්‍රමසිංහ, පාඨලී චම්පික රණවක යන මහත්වරු අදහස් දැක්වූහ. පාස්කු ප‍්‍රහාරය වන විට ජනාධිපතිව සිටි මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද ඒ වනවිට සභා ගැබෙහි සිටි නමුදු ඔහු කිසිදු ප‍්‍රකාශයක් සිදු කළේ නැත.

මෙහිදී ඇති වූ සංක්‍ෂිප්ත සංවාදය මෙපරිදිය.

මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා –

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ හරින් ප‍්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරුන් අසත්‍ය ප‍්‍රකාශ කර තිබුණා. මේ සභාවේදී වරප‍්‍රසාදවලට මුවා වී, ඔවුන් දැන් අලූත්ම කතාවක් තමයි කියන්නේ. මිනීමරු සහරාන් හෂීම්ගේ බිරිඳ ප‍්‍රකාශ පහක් ලබා දී තිබෙනවා. ඒ ප‍්‍රහාරයට පෙර දෙකක් සහ පසු තුනක් ලෙස. බුද්ධි අංශ නිලධාරින් ප‍්‍රහාරයට පෙර සහරාන් හමුවුණා කියලා කියනවා. නමුත් එය සාවiයි.

සහරාන්ගේ බිරිඳගේ කටඋත්තරයෙන් ඒ බව තහවුරුයි. පිටු 362 ක ඒ වාර්තාවෙන් මේ බව පැහැදිලි වෙනවා. මේ වගේ කරුණු පුළුවන් නම් පාර්ලිමේන්තුවෙන් එළියේදී ගිහින් කියන්න කියා මා කියනවා. ඒ වගේම සහරාන් සහ බුද්ධ අංශ සමග කිසිදු සම්බන්ධයක් තිබුණු බවට තහවුරු වී නෑ. හරින් කියන්නේ බොරුවේ සංකේතයක්. අධිවේගී මාර්ගයේදී ලොරි රථයක් ගැන හරින් කිව්වා. එහි තිබී ඇත්තේ විසිතුරු මසුන් තොගයක් පමණයි. ඒ නිසා හරින් හා මනුෂ මේ පරීක්‍ෂණ ගැන ජනතාව නොමඟ යැවීමට ප‍්‍රකාශ කරනවා.

ඒ වගේම මා කිව යුතුයි 2015 දී ජනවාරි මස දී ලංකාවේ කිහිපදෙනෙකු තුර්කිය හරහා සිරියාවට ගොස් තිබෙනවා. ඒ ගැන විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළා. නමුත් හිටපු ආණ්ඩුව නිිසි පරීක්‍ෂණයක් මේ ගැන සිදු කළේ නෑ. අයිඑස් දැඩි මතධාරී නවුෆර් මවුලවි සහරන් මේ ප‍්‍රහාරය සඳහා අභිපේ‍්‍රරණය කළා. මේ ගැන බුද්ධි තොරතුරු දැන්වුවත් පසුගිය ආණ්ඩුව කිසිදෙයක් කළේ නෑ. සහරාන් ස්ථාන දහයකදී පුහුණු වැඩමුළු 17 ක් කර තිබෙනවා. ඒ ගැන බුද්ධි අංශ වාර්තා ලබා දුන්නත් කිසිම කි‍්‍රයාමාර්ගයක් ගෙන නෑ. 2017 සිට පාස්කු ප‍්‍රහාරය දක්වා සහරාන්ගේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 11 ක් සිදු වී තිබෙනවා. මේවා ගැන නිසි සොයාබැලීමක් කළා නම් පාස්කු ප‍්‍රහාරය නවත්වන්න තිබුණා.

මේ ප‍්‍රහාරය ගැන කිසිවක් නොකරපු හරින්ලා, මනුෂලා අද අසත්‍ය ප‍්‍රකාශ කරමින් බොරු වීරයන් ලෙස කටයුතු කරනවා. ජාතික ආරක්‍ෂාව සමඟ සෙල්ලම් කරන්න එපා කියලා මා කියනවා. මිලේනියම් සිටි පාවාදීම ගැනත් මා කිව යුතුයි. නිලධාරීන් 80 කට වඩා එහිදී ඝාතනය වුණා. ඒ වගේම මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගැන කිව යුතුයි. මා අවංකවම කියනවා සුරේෂ් සලේ කියන්නේ රටට ආදරය කරන දක්‍ෂ නිලධාරියෙක්. ඔහු එදා බුද්ධි අංශ භාරව සිටියා නම් මේ පාස්කු ප‍්‍රහාරය එල්ල වන්නේ නෑ. මම සිංහලයකු ලෙස කියනවා සලෙයි රට ජාතිය කිසිවිටෙක පාවා දෙන්නේ නෑ. ඔහු අදටත් ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් අමිල සේවයක් කරනවා.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා –

මහනුවර ගැටඹේ රජමහා විහාරයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගත්තා සහරාන්ට ආණ්ඩුවෙන් පඩි ගෙව්වා කියලා. කෙහෙළිය ඇමැතිතුමත් ඒ බව තහවුරු කළා.

රනිල් වික‍්‍රමසිංහ –

මිලේනියම් සිටි සිද්ධිය ගැන ප‍්‍රකාශ කළ යුතුයි. චන්‍ද්‍රිකා ජනාධිපතිනියත් කියලා තිබුණා නගරය ඇතුළත ආරක්‍ෂක නිවස්න තියාගන්න එපා කියලා. ඒක කඩ කරලා තමයි හිටපු හමුදාපති බලගල්ල මේක කළේ. එල්.ටී.ටී.ඊ. කාලෙත් බෝම්බයක් දාලා එයාව මරන්න හැදුවා. ඒක වුණේ නෑ. ඒ නිසා එදා ඒ සාකච්ඡුාවන් බිඳවැටුණා.

ඒ වගේම කරුණාගේ ප‍්‍රශ්නයේදීත් ඒක මැදට පැනලා කරුණාට 3000 ක හමුදාවක් තිබෙනවා කියලා බලගල්ලේ කිව්වා. අන්තිමේ බලනකොට කරුණාට හමුදාවක් තිබුණේ නෑ. අර ස්මොල් ගෲප් දාන්නේ කියලා එකක් පටන් ගත්තා. ඒකෙන් වුණේ කදීර්ගාමර් ඇමැතිතුමා ඝාතනය වීමයි. මේ ගැන ඕනෑ නම් විවාදයක් කරමු.

2015 දී මෙහේ කට්ටියක් ගියා අයි.එස්.අයි.එස්. එකට. ඒ අය නැවත ආවහම බුද්ධි අංශ ඒ අය පස්සේ ගියා. දිගන සිද්ධිය වෙලාවේ නිලත්න ජයවර්ධනට මම කිව්වා මේ අය ගැන බලන්න කියලා. නමුත් ඒ අය එක්කෙනෙක්වත් මේකට සම්බන්ධයක් තිබුණේ නෑ. අපි මේ ප‍්‍රහාරය ගැන පසුව කොමිසමක් පත්කළා. ප‍්‍රහාරය ගැන ඉන්දියාව කිව්වහම ඒකවත් මට කිව්වේ නෑ. අර කබීර් හෂීම් ඇමැතිතුමාගේ වෙඩි වැදුණු ලේකම් කියපු දේ විතරයි වාර්තා කරලා තිබුණේ. කඩාවැටීමක් තිබුණා. ඒ කඩාවැටීම අපි පිළිගන්නවා.

පාඨලී චම්පික රණවක මහතා –

මේ ජනාධිපති කොමිසමට අපි සාක්‍ෂි දුන්නා. ඒ ගැන කිසිම හෙළිදරව්වක් කළේ නෑ. කොමිසමේ වෙළුම් 23 ක වාර්තාවක් තිබුණා. ඒක රටට හෙළි කළේ නෑ. ඒ ගැන දැන ගන්න අපි කැමතියි. ඒ වගේම අවි පුහුණුව ලබපු පිරිසක් ගැන පාස්කු කොමිසමට ලැයිස්තුවක් දුන්නා. නමුත් ඒ ගැන කිසිදෙයක් වුණේ නෑ. මේවට වගකිවයුත්තකු සිටිනවා නම් ඒ අයට එරෙහිව නඩු පැවරීම රජය සතු කටයුත්තක්.

නිමල් ලංසා මහතා –

ජනාධිපති කොමිසම විසින් ලබා දී ඇති ඒ නිර්දේශ ක‍්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලනවා. විජයදාස රාජපක්‍ෂ මහතා එදා කළ හෙළිදරව්ව ගැන සෙවීමක් පසුගිය ආණ්ඩුව කළේ නෑ.

නිරෝෂන් පෙරේරා මහතා –

පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන් ගැන හොයනවට වඩා පුද්ගලයන් දඩයම් කිරීමට ආණ්ඩුව උත්සාහ කරනවා.

සරත් වීරසේකර මහතා –

ජනාධිපති කොමිෂන් වාර්තාව තිබෙන්නේ ජනාධිපති දැනුවත්වීමටයි. නමුත් ජනාධිපතිතුමා යම් කොටසක් හෙළිකර තිබෙනවා. සියල්ල හෙළි කිරීම පරීක්‍ෂණවලට බාධාවක්. මිලේනියම් සිටි පාවාදීම ඔබතුමා කළා. ඒ නිසා හොය හොය ගිහින් බුද්ධි නිලධාරීන් ඝාතනය කළේ එල්ටීටීඊය. ඒ නිසයි කිසිම දෙමළ පුරවැසියකු බුද්ධි තොරතුරු දෙන්න පැමිණියේ නැත්තේ

රනිල් වික‍්‍රමසිංහ මහතා –

ඔය ගැන කොමිසමක් දාලා සාක්‍ෂි දෙන්න අපි ලෑස්තියි. ඒ වගේම කියන්න ඕනෑ බුද්ධි අංශ තොරතුරු හරියට දුන්නේ නෑ. ඒකයි ප‍්‍රහාරය එල්ල වුණේ. පාස්කු ප‍්‍රහාරය ගැන ජනාධිපති කොමිසමේ වාර්තාව ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ සියල්ලම දාන්න. ඒක නොදී ඉන්න බෑ. ඒ වගේම මම නැවතත් කියනවා මිලේනියම් සිටි සිද්ධිය පිළිබඳව සම්පූර්ණ වරද හිටපු හමුදාපති ජෙනරල් බලගල්ලේ යි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment