පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීම: පෙත්සම් 12 ක් විභාගයෙන් විනිසුරුවරු 2 ක් ඉවත් වෙති

161

පාස්කු ප‍්‍රහාර මාලාව වළක්වා නොගැනීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සම්බන්ධයෙන් විභාගය ලබන වසරේ මාර්තු 14 වැනිදා ආරම්භ කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (16දා) තීරණය කළේය.

සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පාර්ශව 12 ක් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප‍්‍රනාන්දු, එල්. ටී. වී. දෙහිදෙණිය, එස්. තුරෙයිරාජා හා ගාමිණී අමරසේකර යන විනිසුරු මඩුල්ල හමුවේදී ඊයේ (16 දා) කැඳවිණි.

පෞද්ගලික හේතූන් මත තමන් එකී පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන හා විනිසුරු ගාමිණි අමරසේකර යන මහත්වරු පෙන්වා දුන්හ.

මුස්ලිම් අන්තවාදීන් හෝ වෙනත් අන්තවාදීන් පිරිසක් ප‍්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එකී ප‍්‍රහාර වළක්වා ගැනීමට නිසි පියවර නොගත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇතුළු රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට හා එවකට පාලන බලය හෙබවූ හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ට හා එවකට පැවැති කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිස්පතිවරයාට නියෝගයක් කරන්නැයි එකී පෙත්සම් මගින් ඉල්ලා තිබිණි.

එකී ප‍්‍රහාර වළක්වා ගැනීමට පියවර නොගැනීමෙන් තමන් ඇතුළු රට වැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් කරන්නැයි ද පෙත්සම්කරුවන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment