පාස්කු වන්දි නඩු අභියාචනයේ කරුණු තහවුරු කරන්න මෛත්‍රීගේ නීතීඥ ඇවිත් නෑ

136

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු පමණක් බහා තබා අනෙක් විත්තිකරුවන්ගේ නඩු පවත්වාගෙන යාමට මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා විසින් ලබාදුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය වෙත ගොනුකර තිබුණු අභියාචනයේ කරුණු තහවුරු කිරීම සඳහා ඊයේ දිනද තම ජනාධිපති නීතීඥවරයාට අධිකරණය වෙත පැමිණීම අපහසු බව සිරිසේන මහතාගේ නීතිඥයින් විසින් අධිකරණය වෙත දන්වා සිටින ලදී.

මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටීමට නියමිත ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා හට අධිකරණයේ පෙනී සිටීමට අපහසු බැවින් කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් පැමිණිලිකාර වග උත්තරකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා එම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන ලදී. ඒ මහතා විසින් අධිකරණය වෙත සැලකර සිටියේ මෙම නඩුව කරුණු තහවුරු කිරීම සඳහා මීට පෙර පෙබරවාරි මස 13 වන දින කැඳවූ අවස්ථාවේ සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ සුමිත් සේනානායක මහතා පෙනී සිටින බව දැනුම් දෙන ලද බවත්, කෙසේ වෙතත් එදින සේනානායක මහතා විදේශගතව සිටින බව දන්වමින් කරුණු තහවුරු කිරීමට අද දිනය ලබාගත් බවයි.

අද දින සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටින බව දන්වමින් එම නීතීඥ මහතාගේ පුද්ගලික හේතු මත දින අයැදීම කිසිසේත් ම අනුමත කළ නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙවැනි කටයුතු හේතුවෙන් සිදුවන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් හට සාධාරණය ඉටුවීම තවදුරටත් පමා වීම බවයි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ රවීන්ද්‍ර පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමට කිසිදු පදනමක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තම සැලකිරීම්වලදී ඉදිරිපත් කරන බවත්ය.

කෙසේ වෙතත්, සියලු‍ කරුණු සලකා බැලූ මීගමුව සිවිල් අභියාචනා විනිසුරුවරුන් වන නිශාන්ත හපුආරච්චි සහ රශ්මි සිංගප්පුලි යන මහත්වරුන් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 15 වන දින කැඳවීමට නියෝග කරන ලදී.

පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතීඥ පුලස්ති රූපසිංහ පෙනී සිටි අතර රනිල් වික්‍රමසිංහ මහතා සහ නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ රවීන්ද්‍ර පතිරණ මහතා පෙනී සිටින ලදී. පැමිණිලිකාර වගඋත්තරකාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර මහතා සමඟින් ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා පෙනී සිටින ලදී.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment