පාස්කු සිද්ධිය : මෛත්‍රි ගැන අභියාචනාධිකරණය දුන්නු තීන්දුව

187

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සැකකරුවකු ලෙස නම් කරමින් ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් මෙම මස 14 වැනි දින සිට ඉදිරි සති 10 ක කාලය ඇතුළත කිසිදු පියවරක් ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය 14 වැනිදා පෙරවරුවේ කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

තමා ඔක්තෝබර් 14 වැනිදා අධිකරණයට කැඳවමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති නොතීසි නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනු කර ඇති රිට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් විවාදය දෙසැම්බර් 06 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ලබන 10 වැනිදා ගොනු කරනා ලෙසත් ප්‍රති විරෝධතා නොවැම්බර් 17 වැනිදා ගොනු කරනා ලෙසත් විනිසුරු මඬුල්ල නියෝග කළේය. 2019.4.21 වැනිදා සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා පාදයක් ඉවත් කරනු ලැබූ වින්දිතයකු හා සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ

ගමගේ මහතා පසුගිය සැප්තැම්බර් 16 වැනිදා එම නොතිසි නියෝගය නිකුත් කර තිබිණි. එම නොතිසි නියෝගය අභියෝගයට ලක් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 6 වැනිදා ගොනු කර තිබූ පෙත්සම දින කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව ඉල්ලා ඇති සහනය එනම් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නොතිසි නියෝගය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීම සඳහා ඊයේ 14 නඩුව කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර මෛත්‍රිපාල සිරිසේන මහතා ද පෞද්ගලිකව අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය. අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම නඩුව ලබන ජනවාරි 27 වැනිදා දක්වා කල්තැබීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment