පාස්කු සිද්ධිය: මෛත‍්‍රීගේ ඉල්ලීම් උසාවියෙන් ඉවත දමයි

413

පාස්කු ප‍්‍රහාරවලින් මියගිය හා බරපතළ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල තමන්ට එරෙහිව පවතින චෝදනාවලින් තමා නිදොස්කොට නිදහස් කරන්නැයි හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා සිල්වා මහත්මිය විසින් ඊයේ (07) ප‍්‍රතික්ෂේප කරන ලදී.

එම නඩු විභාග කිරීමට කොළඹ දිසා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බැවින් එකී නඩු මුල් අවස්ථාවේදීම ප‍්‍රතික්ෂේප කරන්නැයි හිටපු ජනාධිපතිවරයා කළ නඩු ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ අතිරේක දිසා විනිසුරුවරිය එම නඩු සියල්ල ලබන මාර්තු 16 වැනිදා යළි කැඳවීමට නියෝග කළාය.

එම ප‍්‍රහාර එල්ලවන අවස්ථාවේදී රටේ විධායක ජනාධිපතිවරයා ලෙස ආරක්ෂක හමුදාවල ප‍්‍රධානියා එනම් සේනාධිනායකයා ලෙස කටයුතු කරනු ලැබුවේ පළමුවන වගඋත්තරකාර මෛත‍්‍රීපාල සිරිසේන මහතා වන බැවින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැවරී තිබූ වගකීම්වලින් නිදහස්වීමේ හැකියාවක් ඔහුට නොමැති බවට පෙත්සම්කාර පාර්ශ්වයේ ස්ථාවරය බැහැර කිරීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බවද අතිරේක දිසා විනිසුරුවරිය සිය නියෝගය මගින් පෙන්වා දුන්නාය.

රටේ විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ සිදුකළ හෝ නොකර හැරීම් සම්බන්ධයෙන් පෞද්ගලිකව වගඋත්තරකරුවකු ලෙස නම්කර නඩු පැවරිය නොහැකි බවට ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35(1) අනු ව්‍යවස්ථාව මගින් මුක්තියක් හිමි බව සැබෑ නමුත් එකී ව්‍යවස්ථාවේ 35(2) අනු ව්‍යස්ථාව මගින් රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අයකුට එරෙහිව නඩු පැවරීමේ නීතිමය අයිතිය පුරවැසියන්ට ලබා දී ඇතැයි ද අතිරේක දිසා විනිසුරුවරිය සිය නියෝගය මගින් වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු කොළඹ දිසා අධිකරණ බල ප‍්‍රදේශයේ පිහිටි ස්ථාන කිහිපයකදී 2019.04.21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප‍්‍රහාරවලින් මියගිය හා බරපතළ තුවාළ ලැබූ පිරිස වෙනුවෙන් වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් සහ මිත‍්‍රයන් (නේකස්ට් ෆ්‍රෙන්ඞ්) කොළඹ දිසා අධිකරණය හමුවේ වෙන් වෙන්ව නඩු 128 ක් ගොනු කර තිබිණි. හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ එම නඩු මෝසමක් මගින් විවෘත අධිකරණය හමුවේ කැඳවමින් මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා අධිකරණයෙන් එම ඉල්ලීම කර තිබිණි.

එම නඩුවල වගඋත්තරකරුවකු ලෙස සිය සේවාදායකයා නම්කර ඇත්තේ වැරදීමකින් (Per incuriam) බවට නිගමනය කරනා ලෙසත් ඔහුට එරෙහිව එම නඩු පවරණ අවස්ථාව වනවිට ඔහු ජනාධිපති ධුරයේ කටයුතු නොකිරීම නිසා හිටපු ජනාධිපතිවරයකු ලෙස කිසිදු තැනැත්තකුගේ ප‍්‍රතිපුරුෂ වගකීමකට යටත්ව හෝ බැඳීමකට යටත් නොවන බව නිගමනය කරන්නැයි හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබූ නමුත් එකී ඉල්ලීම විනිසුරුවරිය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.

සිය සේවාදායකයාට එරෙහිව නඩු නිමිත්තක් අනාවරණය වී නොමැති බවට නිගමනය කරනා ලෙසටද ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබිණි. එකී නඩුවල පළමුවන වගඋත්තරකරු ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතාව නම්කර ඇත්තේ එකී ප‍්‍රහාර එල්ලවූ සමයේ ඔහු රටේ ජනාධිපතිවරයා හා සේනාධි නායකයා ලෙස පැවරී තිබූ වගකීම් නිසි ලෙස ඉටුකිරීමට අපොහොසත්වීම පදනම්ව වන්නේ යැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා අධිකරණයට පවසා තිබිණි. නීතිඥ සඳුන් නාගහවත්ත මහතාගේ උපදෙස් පරිදි නීතිඥ අවින්ද සිල්වා කව්ශ‍්‍රියානි සෙල්වානායගම්, චරිත් ප‍්‍රනාන්දු හා නීතිඥ ප‍්‍රීමාල් රත්වත්තේ යන නීතිඥ මණ්ඩලය සමඟ ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment