පාස්පෝට්, අයි ඩී., ලයිසන් හොරට හදන ලංකාවේ ලොකුම කන්තෝරුව

952

සල්ලි, ලොතරැයි, හැඳුනුම්පත් පමණක් නොව ඕනම දෙයක් විනාඩි පහෙන් ඔබේ අතට…

රාගම පුද්ගලයෙක් නිවසේ සිට රට වටේටම ව්‍යාජ ලිපි ලේඛන හදලා…

අවන්ත පෙරේරා රාගම බටුවත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකි. ස්ථිර රැකියාවක් නොතිබුණු ඔහු ජීවත්වීම සඳහා නොයෙක් දෑ සිදු කළේය. එලෙසම ඔහුට පරිගණක තාක්ෂණය පිළිබඳ හසල දැනුමක් තිබුණේය. ඒ පාසල් යන වයසේ සිටම පරිගණකයට ඇළුම් කළ නිසාය. පරිගණකය භාවිතයෙන් ඔහුට කළ නොහැකි දෙයක් නොමැත. ඒ තරමටම ඔහු එහි අති දක්ෂයෙකි.

දිනක් ඔහු මිතුරෙකු නලින් සමඟ මෙලෙස කතාබස් කළහ.

‘‘දැන් ජීවත් වෙන්න ගොඩක් අමාරුයි නලීන්.”

‘‘ඒක නම් ඇත්ත. කරන්න වැඩකුත් නැහැ.”

‘‘කරන්න දේවල් නම් ගොඩක් තියෙනවා. ඒත් කරන්න බයයි.”

‘‘මොනවද අවන්ත ඒ.”

‘‘මට හොඳ කොම්පියුටර් නොලේජ් එකක් තියෙනවනේ.”

‘‘ඔව් ඒක මම දන්නවනේ.”

‘‘මං බැලූවේ ඒකෙන් වැඩක් ගන්න.”

‘‘ඇයි ජොබ් එකකටවත් යන්න ද?”

‘‘පිස්සුද ජොබ් කරලා කාටද හරි ගියේ.”

‘‘එහෙනම් මොකක්ද කරන්න හදන්නේ.”

‘‘මට හොර සල්ලි අච්චු ගහන වැඬේ ඉඳන් ඕනම දෙයක් කරන්න පුළුවන්. ලයිසන්, අයිඩින්ටි කාඞ් ඕනෑම දෙයක්.”

‘‘ඔය ඇත්තමද කියන්නෙ.”

‘‘ඇයි මම බොරු කියන්නෙ. ඇත්ත තමයි කිව්වේ.”

‘‘මරුනෙ අපි එහෙනම් පටන් ගමු ඒ වගේ වැඩක්. මමත් වැලේ වැල් නැතිව ඉන්නේ. මම හොයල දෙන්නම් ඔය වගේ බිස්නස් ඇතිතරම්.”

‘‘එහෙමද? උප්පැන්න, විවාහ, මරණ, ලයිෂන්, අයිඩින්ටි කාඞ් ඕනෑම දෙයක් මම හදලා දෙන්නම්.”

‘‘එච්චරයි. මම හොයලා දෙන්නම් ඇති තරම් ඔයවගේ වැඩ.”

කතාව එලෙසින් අවසන් විය. පසුදිනම අවන්ත ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීම සඳහා අවශ්‍ය සියලූම දෑ මිලට ගත්තේය. එතැන් පටන් ඔහු ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමට පටන් ගත්තේය.

මාස කිහිපයක් ගත විය. තැරැව්කරුවන් මාර්ගයෙන් නොයෙක් ව්‍යාජ ලිපි ලේඛන සැකසීම සඳහා ඔහුට ඇනවුම් ලැබුණි. ඉතා සූක්ෂම ලෙස ඒ සියලූම කටයුතු ඔහු සිදු කර දුන්නේය. එලෙසම ඔහු තම නිවසට කිසිම පිටස්තර පුද්ගලයෙකු ගෙන්වා ගත්තේ නැත. ව්‍යාජ ලිපි ලේඛන අවශ්‍ය පුද්ගලයන්ට ඒවා සාදා දුන්නේ තැරැව්කරුවන් මාර්ගයෙනි.

රාගම පොලිසියට නුදුරුව නිවස පිහිටා තිබුණත් කිසිදු පොලිස් නිලධාරියෙකුට මොහුගේ මෙම ව්‍යාජ මුද්‍රණාලය පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. ඒ අනුව කලක් ගත වෙද්දී ව්‍යාජ ලිපි ලේඛන සැකසීම සඳහා මොහුට විශාල ඉල්ලූමක් තිබුණි. ලංකාවේ නන් දෙසින් තැරැව්කරුවන් මොහුගේ සේවය ලබාගැනීම සඳහා පැමිණියේය.

ලොතරැයි ටිකට් පත්, විදේශීය මුදල්, දේශීය මුදල්, උප්පැන්න සහතික, විවාහ සහතික, මරණ සහතික, ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත‍්‍ර, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික, රක්ෂණ සහතික, ආදායම් බලපත‍්‍ර, අධ්‍යාපන සහතික ආදී නොයෙක් දෑ ඉල්ලූම අනුව මොහු රටපුරාම බෙදා හැරියේය.

දැනට මාස කිහිපයකට ඉහතදී තැරැව්කරැවකු මාර්ගයෙන් මෙරට සිටින නයිජීරියානුවන් පිරිසකටද මොහු ව්‍යජ ලිපි ලේඛන රාශියක් ඉතා විශාල මුදලකට සාදා දුන්නේය. කිසිදු බියක් සැකක් නොමැතිව තැරැව්කරැවන් සමග මෙම ජාවාරම මොහු ජයටම කරගෙන ගියේය. එමගින් ඉතා විශාල මුදලක්ද මොහු ඉපැයුවේය. කාලය එලෙස ගෙවෙමින් ගියේය.

රහස් පොලිසියේ පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දැනට මාස කිහිපයකට ඉහතදී නයිජීරියානුවන් පිරිසක් අත්අඩංගුවට ගත්තේය. එලෙස අත්අඩංගුවට ගත් අය පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ හැඳුනුම්පත් සහ ලිපි ලේඛන රැසක් සොයා ගැනීමට හැකිවිය. ඒ පිළිබඳව දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී ඒවා සැකසීමට උදව් කළ මෙරට තැරැව්කරුවෙකු පිළිබඳව ද තොරතුරු සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකි විය. පසුව එම නිලධාරීන් සැකකාර තැරැව්කරුවාද අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ දී එම ව්‍යාජ ලිපි ලේඛන සකසා දුන් රාගම බටුවත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ගැනද තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය. ඒ අනුව එම නිලධාරීන් තැරැව්කරුගේ මාර්ගයෙන් එම පුද්ගලයා ලවා ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් සකසා ගැනීමට කටයුතු කළේය. ඒ සඳහා රුපියල් 4,000 මුදලක් ද ඔහු ඉල්ලා සිටියේය.

නියමිත දින තැරැව්කරු සමග පොලිස් නිලධාරීන් පිරිසක් ද ගොස් එම පුද්ගලයා අත්අඩංගුවට ගත්හ. එලෙස ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම නිවස තුළ තිබී ව්‍යාජ ලිපි ලේඛන සැකසීම සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක, ෆොටෝ කොපි මැෂින්, පින්ට් අවුට් මැෂින්, ටයිප්රයිටර්, ලැමිනේටින් මැෂින්, ස්කෑන් මැෂින්, එස්. ඞී. කාඞ් ඇතුළු තවත් බොහෝ දේ සොයා ගැනීමට හැකිවිය. එයට අමතරව ඔහු ව්‍යාජ ලෙස සාදා තිබූ විවිධ ලොතරැයි ටිකට්පත් සහ තවත් ව්‍යාජ ලිපි ලේඛන රැසක් තිබුණි.

මොහු විසින් ව්‍යාජ ලෙස සකසා මුදලට විකුණු රියැදුරු බලපත‍්‍ර, ජාතික හැඳුනුම්පත්, විභාග, මරණ, කසාද සහතික, මුදල් නෝට්ටු, මෝටර් රථ ලියාපදිංචි බලපත‍්‍ර, රක්ෂණ ආවරණ සහ තවත් නොයෙක් දෑ රටපුරා සංසරණය වෙමින් පවතී. වසර කිහිපයක් තිස්සේ මෙම ජාවාරම්කරු එවැනි ව්‍යාජ ලිපි ලේඛන කොපමණ ප‍්‍රමාණයක් නිකුත් කර ඇත්දැයි තවමත් ගණනය කර ගැනීමට නොහැකිය. මෙම ලිපිය ලියන මොහොත වන විටත් පොලිස් නිලධාරීහු සැකකරුගෙන් ඒ පිළිබඳව ප‍්‍රශ්න කරමින් සිටිති. ඉදිරියේදී මෙම සැකකරුගෙන් එවැනි ව්‍යාජ ලිපි ලේඛන සාදාගත් පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කරයි.

මෙවැනි ව්‍යාජ ලිපි ලේඛන සාදන ජාවාරම්කරුවන් තවත් බොහෝ සිටිති. එමනිසා ඔබත් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින්න. තවද කිසි කෙනකු මෙවැනි අයගෙන් එවැනි දෑ සිදු නොකරගන්න. එසේ කළහොත් යම් කිසි දවසක ඔබට ද නීතිය ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment