පාස්පෝට් පෝලිමේ සිටි ගැබිනි මවට ලැබුණු දරුවා මරණයට පත්වෙයි

264

ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂීය මැදිහත්වීම මත ඊයේ (07 දා) කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය ලබාගැනීමට පෝලිමක රැඳී සිටි ගර්භණී මාවාතවකට ලැබුණු දරුවා ඊයේ දහවල් මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා හැටන් ප්‍රදේශයේ සිට පෙරේදා (06 දා) සිය සැමියා සමග ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ ඇති මෙම 26 හැවිරිදි ගර්භණී මාතාවට ඊයේ (07 දා) උදෑසන 8.30ට පමණ දරු ප්‍රසූතිය ආසන්න අවස්ථාව උදාවී තිබිණි.

එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරි වෙනුවෙන් යොදවා සිටි ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිසක් ක්‍ෂණිකව මැදිහත්වී අදාළ ගර්භණී මාතාව සිය දරු ප්‍රසූතිය සඳහා කාසල් වීදියේ කාන්තා රෝහලට ඇතුළත් කිරීමට වහා පියවර ගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ‘දිවයින’ට අදහස් දැක්වූ යුද හමුදා කර්නල් චන්ද්‍ර ක්‍රිෂ්ණ මහතා:

මේ ගර්භණී මාතාව සහ ඇගේ සැමියා පෙරේදා රාත්‍රියේ තමයි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ. ඊයේ (07 දා) උදෑසන 8.30ට ඇය කිසියම් කටයුත්තක් සඳහා වොෂ් රූම් එකට ගිහින් තිබුණා. ඒ එක්කම කිසියම් වේදනාත්මක කෑගැසීමක් අපේ සෙබළුන්ට ඇසී තිබෙනවා. පසුව අපේ ඔෆිසර් කෙනෙක් ඒ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව තත්ත්වය වටහා ගත් නිසා කාන්තා සෙබළියන් ද යොදවා ගනිමින් ඉතාමත් ඉක්මනින් ඇයව රෝහල්ගත කිරීමට පියවර ගත්තා. අපේ හමුදා රථයක් යොදා ගනිමින් තමයි මේ මෙහෙයුම ක්‍ෂණිකවම ක්‍රියාත්මක කළේ. කියන්න සතුටුයි ඇය රෝහල්ගත කර විනාඩි 05ක පමණ කාලයක් අතරතුර ඇය දරු ප්‍රසූතිය සිදුකළ බවත් අපට දැනගන්නට ලැබුණා.

මේ අතර රෝහල්ගත කළ අදාළ ගර්භණී මවගේ දරු ප්‍රසූතිය සති 22ක කාලයක් ඇතුළත සිදුවී තිබීම නිසා ඇය බිහිකළ ගැහැනු දරුවා නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර විශේෂිත ප්‍රතිකාර ලබාදීම සිදු කරන බව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා ‘දිවයින’ට සඳහන් කළේය. එම දරුවා පසුව ඊයේ දහවල් මරණයට පත්වී තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment