පා ගමන ඇරැඹෙයි – සියවසක සටහන් – 50 වැනි කොටස

141

රතු හමුදාවේ සමුගැනීම

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා.

මේ ලිපියෙන් කියන්නේ මහා පා ගමන ඇරැඹුණු ආකාරය ගැනයි.

1933 සැප්තැම්බර් මාසයේ ඉඳලා අවුරුද්දකට වැඩි කාලයක් චියං-ශි සෝවියට් ප‍්‍රදේශයේ (මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයේ) රතු හමුදාව සටන් කළේ ඔටූ බ‍්‍රවුන් (ලී ත) කියපු විදිහට. කොමියුනිස්ට් ජාත්‍යන්තරයෙන් පත්කරපු හමුදා උපදේශකයෙක් හින්දා ඔහුට විශාල බලයක් තිබුණා. ඒ බලය ඉක්මවන්න පුළුවන්කමක් අනිත් අයට තිබුණේ නෑ. ඔටූ බ‍්‍රවුන් (ලී ත) ලබාදීපු උපදෙස් අනුව කරපු හැම සටනක්ම පැරැුදුණා. මේ අවුරුද්දට වැඩි කාලය තුළ රතු හමුදාවට විශාල අලාභයක් සිද්දවුණා. ඒත් වැරැුද්ද තමන්ගේ කියලා ඔටූ බ‍්‍රවුන් (ලී ත) හිතුවේ නෑ. ඔහුුගේ දඩබ්බර, වියරු සහගත හැසිරීමට විරුද්ධ වුණු හැම කෙනෙක්ට ම දඬුවම් ලැබුණා. රතු හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානියා විදිහට කටයුතු කරපු ලියු පෝ-ඡුං මහා සෙනෙවියා පවා මේ මර්දනයට ගොදුරුවුණා.

පා ගමන ඇරැඹෙයි - සියවසක සටහන් - 50 වැනි කොටස

රතු හමුදාව තුළ සිද්දවෙමින් තියෙන බිඳවැටීම හොඳින්ම දැක්කේ චියං කායි-ෂෙක්. ඉතින් චියං-ශි සෝවියට් ප‍්‍රදේශය විනාශකර දැමීමේ අවසාන ප‍්‍රහාරයට ඔහු සූදානම් වුණා. ඔහු ඒ වෙනුවෙන් අංගසම්පූර්ණ සැලසුමකුත් සම්පාදනය කළා. මේ රහසිගත සැලසුම ගැන දැනගෙන හිටියේ නන්-චිං පාලනයට සම්බන්ධ ඉතාමත් සීමිත පිරිසක් විතරයි. ඒ හැම කෙනෙක්ම වගේ චියං කායි-ෂෙක්ට හිතවත්, ඒ වගේම බොහොම ඉහළ තනතුරු දරපු අය. මෝ ශියුං කියන්නෙත් ඒ අතර හිටිය කෙනෙක්. (මේ ලිපි මාලාවේ 41 වැනි කොටසින් ඔහු ගැන කියලා තියෙනවා).

මෝ ශියුං කියන්නේ සුන් යත්-සෙන් එක්ක එකතුවෙලා විප්ලවවාදී වැඩ කරලා කු ඕ-මින්-තං පක්‍ෂයේ ඉහළ තනතුරකට පත්වෙච්ච කෙනෙක්. ඒත් කු ඕ-මින්-තං පාලනය යටතේ සිද්දවෙන දූෂණ වැඩ හින්දා ඒ පැත්තෙන් අයින්වෙන්න ඔහුට ඕනවුණා. ඒ වගේම, පොදු නිෂ්පාදන පක්‍ෂයට එකතුවෙන්නත් ඔහුට ඕනවුණා. රහසිගත විදිහට චෝ අන්-ලයි මුණගැහුණු ඔහු තමන්ගේ ඕනෑකම ගැන කිව්වා. ඒත් චෝ අන්-ලයි ඔහුට කිව්වේ තවදුරටත් කු ඕ-මින්-තං ආණ්ඩුව ඇතුළේ රැුඳිලා ඉන්න ගමන්ම පොදු නිෂ්පාදන පක්‍ෂයට වැඩකරන්න කියලා.

ඉතින් ෂං-හයි නගරයේ ඉන්න කාලේ චෝ අන්-ලයි ආරම්භ කරපු ඔත්තු සේවා වැඩපිළිවෙළේ ප‍්‍රධානම චරිතයක් බවට පත්වෙන්න මෝ ශියුංට පුළුවන් වුණා. ඔහු තමන්ගේ සැබෑ අනන්‍යතාව ඉතාමත් හොඳින් හංගගත්ත් කෙනෙක්. ඒ තරම් ඉහළ තනතුරක් දරපු කෙනෙක් පොදු නිෂ්පාදන පක්‍ෂයේ ඔත්තුකාරයෙක් බවට පත්වෙලා ඉන්නවා කියලා කවුරුවත් හිතුවේ නෑ. ඉතින් චියං-ශි සෝවියට් ප‍්‍රදේශය විනාශ කිරීමේ අරමුණින් චියං කායි-ෂෙක් සම්පාදනය කරපු රහසිගත සැලැස්ම ගැන දන්න කියන කීප දෙනා අතර මෝ ශියුං ඉඳීමේ වැරැද්දක් කවුරුවත් දැක්කේ නෑ.

රුයි-චින් ප‍්‍රදේශය වටකරලා ආරක්‍ෂක බැමි තිහක් ඉදිකරන්නත්, ඒ ඉදිරියෙන් කටුකම්බි වැටවල් හදලා ඒවාට විදුලිය සපයන්නත් චියං කායි-ෂෙක් සැලසුම් කළා. ඒ වගේම, ආරක්‍ෂක බැමි ආශ‍්‍රිතව සන්නද්ධ ට‍්‍රක් රථ දාහක් යෙදවීමත් ඒ සැලසුමට ඇතුළත් කළා. කිලෝ මීටර් 150 කට වඩා දිග මේ ආරක්‍ෂක බැමි බිඳින්න බෑ. එහෙම වටකිරීමක් මැද්දට රතු හමුදාව කොටුකරලා තිබුණත් ඒ හොඳටම ඇති. එතකොට ඒ හමුදාව අඩපණවෙන්නේ බඩගින්නේ හෙම්බත්වෙලා. 1934 සැප්තැම්බර් මාසයේ දී චියං කායි-ෂෙක් සම්පාදනය කරපු මේ සැලැස්ම ක‍්‍රියාත්මක කළොත් රතු හමුදාව මුළුමනින්ම විනාශවෙනවා කියලා මෝ ශියුං තේරුම් ගත්තා. විනාශය වළක්වන්න පුළුවන් වෙන්නේ අදාළ සැලසුම ගැන චෝ අන්-ලයි දැනුවත් කළොත් විතරයි.

සම්පූර්ණ සැලසුමට ඇතුළත් ලේඛන ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් කීපයක් බරයි. එක දවසක්වත් පමා නොවී මුල් දවසේම ඒ ලේඛන තොගයම අදාළ කෙනෙක්ගේ අතට පත්කරන්න මෝ ශියුං කටයුතු කළා. ඒ හැම එකක්ම රහසිගත කේත යොදලා පිටපත්කරන්න අදාළ අයට පුළුවන් වුණා. මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයට ඒ පිටපත් ගෙනියන වගකීම පැවරුවේ ශියං ය්‍යු-නියැන් කියන පක්‍ෂ සාමාජිකයාට. 1925 දී පක්‍ෂයට බැඳුණු ශියං ය්‍යු-නියැන් ටික කාලයක් ඇතුළත බුද්ධි අංශයේ වගකීම් භාරගත්තා. චෝ අන්-ලයි ඇතුළු නායකයෝ මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයට ගියාට පස්සෙත් ඔහු ෂං-හයි නගරයේ රැඳිලා හිටියා.

ශියං ය්‍යු-නියැන් තමන්ගේ ගමන පටන් ගත්තේ ගුරුවරයෙක් විදිහට. ඒත් හතුරා විසින් හදලා තිබුණු මාර්ග බාධක ඒ වේශයෙන් පහුකරන්න බැරි බව ඔහු තේරුම් ගත්තා. ඉතින් ගමනේ අවසාන භාගයේ දී ඔහු හිඟන්නෙක් විදිහට වෙස්වළා ගත්තා. ඒත් තමන්ගේ මුහුණුවර හිඟන්නෙක්ට ගැළපෙන්නේ නැති බව ඔහුට තේරුණා. ගලකින් ගහලා තමන්ගේ ඉස්සරහ දත් කඩාගැනීමෙන් තමයි ඔහු තමන්ගේ ඒ වැදගත් පෙනුම නැතිකරගත්තේ. ඒ වගේම, ඉඳුල් කෑමවලින් ඔහුගේ ඔලොගුව පුරවාගන්නත් ශියං ය්‍යු-නියැන් කටයුතු කළා. මේ කුණුගඳ ගහන හිඟන්නාව පරීක්‍ෂා කරන්න මාර්ග බාධකවල අය කැමැතිවුණේ නෑ.

අතරමැද තැන්වල දී ඉතා වේගයෙන් ගමන් කරපු ශියං ය්‍යු-නියැන් ගමනේ අන්තිම කොටස දවස් හයකින් සම්පූර්ණ කළා. 1934 ඔක්තෝබර්  7 වැනි දා ඔහු රුයි-චින් නගරය පේනමානයට ආවා. තමන්ට චෝ අන්-ලයි මුණගැහෙන්න ඕන බව ඔහු රතු හමුදාවේ භටයෙක්ට කිව්වා. තමන් කවුද කියන එකත් පැහැදිලි කළා. ඒත් එක්කම ඔහුට සිහිනැතිවුණා.

මේ වෙද්දි චෝ අන්-ලයි නිරතවෙලා හිටියේ ඉතාමත් හදිස්සි කටයුත්තක. දවසින් දවස හතුරා ළඟට එද්දි මධ්‍යම සෝවියට් ප‍්‍රදේශය අතහැරලා යනවා ඇරෙන්න වෙනත් විකල්පයක් රතු හමුදාවට ඉතිරිවෙලා තිබුණේ නෑ. සෝවියට් ප‍්‍රදේශය අත්හැර යෑම හොඳ සැලසුමක් යටතේ කරන්න ඕන වැඩක්. හතුරු හමුදා විසින් මුළු ප‍්‍රදේශයම වටකරලා තියෙද්දි හැම කෙනෙක්ටම යන්න විදිහක් නෑ. වැඩි පිරිසක් ප‍්‍රදේශය අත්හැරලා යද්දි තවත් පිරිසක් හතුරා එක්ක සටනට රැුඳෙන්න ඕන. එහෙම කළොත් විතරයි හතුරාගේ ලූහුබැඳීම පමාකරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම, ගමනට එකතු කරගන්න සේනාංකත් පිළිවෙළකට සංවිධානය කරන්න ඕන. මේ හැම වැඩක්ම වගේ පැවරිලා තිබුණේ චෝ අන්-ලයිට. ඔහු දවල් ? නැතුව මේ කාර්යය වෙනුවෙන් කැපවෙලා හිටියා.

ඒත් ශියං ය්‍යු-නියැන්ගේ පැමිණීම ගැන ආරංචිවුණු ගමන්ම චෝ අන්-ලයි ඔහුව මුණගැහුණා. තමන් ඇරගෙන ආපු රහසිගත වාර්තා ශියං ය්‍යු-නියැන් විසින් චෝ අන්-ලයිට ලබාදුන්නා. ඒ වගේම, වාචික වාර්තාවකුත් ඉදිරිපත් කළා. සෝවියට් ප‍්‍රදේශය අත්හැර යෑමේ කාර්යය පහසු නැති බව මේ විස්තර අහපු සහ වාර්තා කියවපු චෝ අන්-ලයි තේරුම්ගත්තා. ඔහු මේ පිළිබඳව පෝ කු සහ ඔටූ බ‍්‍රවුන් (ලී ත) සමඟ සාකච්ඡුා කළා.

සෝවියට් ප‍්‍රදේශයේ උතුරු, නැගෙනහිර සහ බටහිර ප‍්‍රදේශවල තියෙන හතුරු ආරක්‍ෂක වළලූ බිඳින්න තියා ඒ ගැන හිතන්නවත් බෑ. දකුණේ කුවං-තුං පළාත් මායිමත් මුළුමනින්ම අවහිර කරලයි තිබුණේ. හතර වටින්ම කොටුවෙලා ඉඳිද්දි එළියට යන්නේ කොහොම ද? මේ ගැන තීරණයක් ගන්න බැරිව ඉන්න වෙලාවේ තුන්දෙනාගේ කණ්ඩායමට ලියුමක් ලැබුණා. ඒ ලියුම එවලා තිබුණේ මා ඕ ත්ස-තුං විසින්. ඒ වෙද්දිත් ඔහු අසනීප වෙලා ප‍්‍රතිකාර ගනිමිනුයි හිටියේ. ලිපියේ තිබුණේ කවියක්. මේ තරම් අනතුරුදායක වෙලාවක මා ඕ ත්ස-තුං කවි ලියලා එව්වේ ඇයි කියලා පෝ කු සහ ඔටූ බ‍්‍රවුන් (ලී ත) ඇහුවා.

ඒ කවියෙන් වර්ණනා කරලා තිබුණේ සෝවියට් ප‍්‍රදේශයේ දකුණට බර නිරිතදිග පිහිටි කඳුකර පැත්තක්. මේ ගැන හොඳින් හිතපු චෝ අන්-ලයිට කවියේ රහස තේරුම්ගන්න පුළුවන් වුණා. සෝවියට් ප‍්‍රදේශයේ නිරිතදිග පැත්ත ගැන හිතන්න කියලයි මා ඕ ත්ස-තුං කියන්නේ. දකුණින් තියෙන කුවං-තුං පළාතේ වයඹදිග මායිමටත් බටහිරින් තියෙන හූ-නන් පළාතේ දකුණු මායිමටත් අයත් ඒ ප‍්‍රදේශයේ හතුරු බලය දුර්වලයි.

චියං-ශි සෝවියට් ප‍්‍රදේශය අත්හැරලා රතු හමුදාව යන එකට කුවං-තුං පළාතේ හමුදා ලොක්කා (ඡුන් චී-ථං) කැමැතියි. රතු හමුදාව පිටවෙලා යනවා නම් ඒ අයත් එක්ක සටන්කිරීමේ වගකීමෙන් මිදෙන්න කුවං-තුං හමුදාවට පුළුවන්. හු-නන් පළාතේ හමුදාවලින් විශාල බලයක් චියං-ශි සෝවියට් ප‍්‍රදේශයේ බටහිර මායිම අවහිරකරන්න යොදවලා තිබුණු හින්දා ඒ පළාතේ දකුණු ප‍්‍රදේශයට හමුදා යොමුකරන්න පුළුවන්කමක් නෑ. ඉතින් සෝවියට් ප‍්‍රදේශයේ නිරිතදිග පැත්තේ හතුරු හමුදා දුර්වල බව මේ හැම කාරණයකින් ම තහවුරුවෙනවා. ඉතින් ඒ බලමුළු බිඳගෙන එළියට යන එක අමාරු නෑ.

ගමනට එකතු කරගන්න අය ගැනත් ගැටලූවක් ඇතිවුණා. මුලින් තීරණය කළේ කාන්තාවන්ට සහ ළමයින්ට යන්න බෑ කියලා. ඒත් වෙද හෙද කණ්ඩායම්වල වැඩි පිරිසක් කාන්තාවෝ. ඉතින් ඒ අය නැතිව මේ ගමන යන්න පුළුවන්කමක් නෑ. කොහොම වුණත්, දරුවෝ ඇරගෙන යන්න බෑ කියන තීරණය වෙනස්වුනේ නෑ. ගමනට සම්බන්ධ කරගන්න නායකයෝ කවුද කියන එක ගැනත් ප‍්‍රශ්නයක් ඇතිවුණා. අදාළ කරුණු සළකා බලලා චෝ අන්-ලයි පිළියෙළ කරපු නම් ලැයිස්තුව ඒ විදිහට ම පිළිගන්න ඔටූ බ‍්‍රවුන් (ලී ත) කැමැතිවුනේ නෑ. ඒ ලැයිස්තුවේ තිබුණු මා ඕ ත්ස-තුංගේ නම ඇතුළු නම් කීපයක් ඉවත්කරන්න ඔහු කටයුතු කළා.

අවසාන තීරණය ගන්න රැුස්වුණු මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය අදාළ නම් ලැයිස්තුව ගැනත් සාකච්ඡුා කළා. මා ඕ ත්ස-තුංගේ නම ඉවත්කිරීම ප‍්‍රායෝගික නැති බව තමයි සෑහෙන පිරිසකගේ අදහස වුණේ. මා ඕ ත්ස-තුං කියන්නේ සෝවියට් ජනරජයේ නායකයා. ඔහුව අතහැරලා මේ ගමන යන්න බෑ. චෝ අන්-ලයි පවා මේ අදහස අවධාරණය කළා. ඉතින් මා ඕ ත්ස-තුං ගමනට සම්බන්ධ කරගත යුතු බව අන්තිමේ දී තීරණය කෙරුණා.

මධ්‍යම සෝවියට් ප‍්‍රදේශය අත්හැරලා යන ගමනට රතු හමුදාවේ සෙබළු අසූහය දාහක් සම්බන්ධ කරගෙන හිටියා. ඒ අය අයත්වෙලා හිටියේ පළමුවැනි පෙරමුණු හමුදාවේ 1 වැනි, 3 වැනි, 5 වැනි, 8 වැනි සහ 9 වැනි සේනාවලට. 1 වැනි සේනාවට අණදුන්නේ ලින් පියා ඕ. (මේ ලිපි මාලාවේ 34 වැනි කොටසින් ඔහු ගැන කියලා තියෙනවා). 3 වැනි සේනාවට අණදුන්නේ පං ත-හුවයි. (මේ ලිපි මාලාවේ 33 වැනි කොටසින් ඔහු ගැන කියලා තියෙනවා).

1 වැනි සේනාවට පැවරුණේ ඉදිරි වම් පෙරමුණේ යන වගකීම. වම් පැත්තෙන් ප‍්‍රධාන සේනාවට ආවරණය සැපැයීම 9 වැනි සේනාවට පැවරුණා. ඉදිරිය දකුණු පෙරමුණේ යෑමේ වගකීම පැවරුණේ 3 වැනි සේනාවට. දකුණු පැත්තෙන් ප‍්‍රධාන සේනාවට ආවරණය සැපැයීමේ වගකීම 8 වැනි සේනාවට පැවරුණා. ප‍්‍රධාන සේනාව සංවිධානය කළේ තීරු දෙකක් විදිහට. ගමනේ පසුපස ආරක්‍ෂාව 5 වැනි සේනාවට පැවරුණා. ඒ ඒ සේනා සංවිධානයත් ඒ විදිහට ම සිද්දවුණා. ඉතින් ගමන සූදානම් කෙරුණේ මහා කඳවුරක සංක‍්‍රමණයක් විදිහට.

24 වැනි සේනාවත් ප‍්‍රාදේශීය හමුදා බල ඇණිවලට අයත් දාසය දාහක විතර සෙබළු පිරිසකුත් රුයි-චින් ප‍්‍රදේශයේ නැවතුණා. ඒ අයට පැවරුණේ ගරිල්ලා සටන් කරලා හතුරු ලූහුබැඳීම් අඩපණකිරීමේ සහ පමාකිරීමේ වගකීම.

ගමන සඳහා අණදුන්නේ 1934 ඔක්තෝබර් මාසයේ 10 වැනි දා. ගමනට අදාළ අවසාන විදුලි පණිවිඩය කොමියුනිස්ට් ජාත්‍යන්තරයට යැව්වෙත් ඒ දවසේ. පොදු නිෂ්පාදන පක්‍ෂය පිහිටුවලා තිබුණේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ශාඛාවක් විදිහට. ඒ හින්දා මධ්‍යම කාරක සභාව විසින් ගන්න හැම තීරණයකටම කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ අනුමැතිය ගන්න සිද්දවුණා. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ චීන අංශය ක‍්‍රියාත්මක වුණේ වං මිංගේ නායකත්වය යටතේ.

පක්‍ෂයේ විදුලි පණිවිඩ යැව්වේ ෂං-හයි නගරයේ රහසිගතව පවත්වාගෙන ගිය හුවමාරු මධ්‍යස්ථාන හරහා. රතු හමුදාවේ සංක‍්‍රමණයට අදාළ අවසාන පණිවිඩය මොස්කව් නුවරට යැව්වාට පස්සේ ඒ හුවමාරු මධ්‍යස්ථාන අකරතැබ්බයකට මුහුණදුන්නා. ඒ වෙද්දිත් කු ඕ-මින්-තං බුද්ධි අංශ විසින් ඒ ස්ථාන ගැන තොරතුරු ආවරණය කරගෙනයි තිබුණේ. ඉතින් අවසාන පණිවිඩය යවලා වැඩි වෙලාවක් ගතවෙන්න කලින් ඒ මධ්‍යස්ථාන ඔක්කොම වගේ කු ඕ-මින්-තං ග‍්‍රහණයට නතුවුණා. ඒත් ඒවා ක‍්‍රියාත්මකකිරීමට අදාළ කේත හඳුනාගන්න බැරිවුණු හින්දා අමතර වාසියක් ගන්න ඒ අයට බැරිවුණා. මේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් චියං කායි-ෂෙක්ට දැනුම්දුන්නත් ඔහු ඒ ගැන සැළකිලිමත් වුණේ නෑ. ජයග‍්‍රහණය අතේ දුරින් තියෙද්දි ඒ පොඩි දේවල් ගැන වදවෙන්න ඕන නෑ කියලා ඔහු හිතුවා.

මේ සමුගැනීම ගැන රුයි-චින් ප‍්‍රදේශයේ මිනිස්සු කම්පාවුණා. ගමනට එකතුවුණු අයටත් තමන්ගේ සමීපතමයෝ අත්හැරලා යන්න සිද්දවුණා. මා ඕ ත්ස-තුංගේ බාල මල්ලිට (මා ඕ ත්ස-ථන්ට) රුයි-චින් ප‍්‍රදේශයේ රැුඳෙන්න සිද්දවුණා. මා ඕ ත්ස-තුං සහ හ ත්ස-චන් දෙන්නාගේ පුතා භාරදුන්නෙත් ඒ මල්ලිට. ඒ තමයි ඒ අය එකිනෙකා දැකපු අවසාන අවස්ථාව.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment