පැජට් පාරේ නිවස මෛත‍්‍රීට දීම උසාවියෙන් අත්හිටුවයි

603

නියෝගය ක‍්‍රියාත්මක කිරීම සති හතරකින්

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ පරිහරණය කළ කොළඹ පැජට් පාරේ පිහිටි නිවස ජනාධිපති ධුරය අහෝසිවීමෙන් පසුවත් පෞද්ගලික පරිහරණය සඳහා ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය අනුව කටයුතු කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම අතුරු තහනම් නියෝගය ඊයේ (29 දා) සිට සති හතරක කාලයක් බලපැවැත්වෙන පරිදි ක‍්‍රියාත්මක වන පරිදි නිකුත්කිරීමට ද ප‍්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු ම`ඩුල්ල නියෝග කළහ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝගය අනුව මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එකී නිවාස ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සහ එකී තීරණය අනුව කටයුතු කිරීම අත්හිටුවනු ඇත.

රුපියල් කෝටි ගණනක් වටිනා එම නිවස හා යාබද පිහිටි නිවසක් එක්කර රුපියල් මිලියන 180 ක් පමණ වැයකර ප‍්‍රතිසංස්කරණය කර ඇති බවත් පොදු දේපළක් ජනපති ධුරය අහෝසි වීමෙන් පසුවත් භාවිත කිරීම නීති විරෝධි බවත් පෙත්සම්කාර විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතා විනිසුරු ම`ඩුල්ලට පෙන්වා දුන්නේය.

කැබිනට් මණ්ඩලයේ එම තීරණය පාර්ලිමේන්තුව හමුවේදී ද සලකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය ලැබී ඇති බැවින් පෙත්සම්කරුගේ ඉල්ලීමට අවසර ලබා නොදෙන ලෙස මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පයිස් මුස්තාපා මහතා විනිසුරු ම`ඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

රටේ මූල්‍ය පරිපාලන බලය පාර්ලිමේන්තුව සතුව ඇති බව සැබෑ නමුත් පෞද්ගලික රුචිකත්වය අනුව එලෙස පොදු දේපළ භාවිත කිරීමේ අභිමතයක් කැබිනට් මණ්ඩලය සතුව නොමැති බවත් එලෙස ක‍්‍රියාකිරීම මූල්‍ය අවභාවිතයක් බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතා එහිදී කියා සිටියේය.

එම පෙත්සම සුවිශේෂි කරුණක් වන බැවින් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේදී සලකා බැලීමට පියවර ගන්නා ලෙසට ද මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පයිස් මුස්තාපා මහතා මෝසමක් ඉදිරිපත් කරමින් විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

විවාදය සඳහා ලබන මැයි 18 වැනිදා යළි පෙත්සම කැඳවීමට ද විනිසුරු ම`ඩුල්ල එහිදී නියෝග කළහ.

නීතිඥ කීර්ති තිලකරන්න, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සම`ග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා වගඋත්තරකාර මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment