පැන් පොදක් නොගෙන දොළොස් හෝරාවක් බුදුගුණ දේශනාව… රාධ හාමුදුරුවන්ගේ පාරමිතාවක්

230

ප්‍රථම වතාවට ගල්පියුමේ සුමනරංසි නායක හාමුදුරුවෝ මාධ්‍යයට කතා කරති…

රාධ හාමුදුරුවන්ව මම දකින්නෙ කොටළුවකුට දාව උපන් අජානීය අශ්ව පැටියෙක් විදිහට…

රාධ හාමුදුරුවන්ගේ 13 වැනි බුදුගුණ දේශනය…

රාධ හාමුදුරුවන්ට පැය දහහතරක් එකදිගට ගිහි පැවිදි ජීවිතයේ වෙනස මම දේශනා කළා…

ඉන්ධන සිඳී ගිය මේ දිනවල දුර බැහැර ගමනක් යෑම අතිශය දුෂ්කර ය. එහෙත් යාපහුව රාජධානිය කෙළවරේ අංගමුගම මායිමේ පිහිටි පුරාණ බෝධිමළු ආරණ්‍ය සේනාසනයට අපි ගියෙමු. ඒ ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත බළන්ගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ ගුරු හාමුදුරුවන් බැහැදැකීමටය.

ඉදිරිපස කුඹුරු යායකට ද පසුපස දිය පිරුණු වැවකට ද මැදිව පිහිටි ඒ සෙනසුන මනරම් උද්‍යානයක් වැනිය. නෙක විසිතුරු ගහකොළවලින් මෙන්ම විවිධ පලතුරු ගස්වලින් ඒ පින්බිම පිරී තිබිණි. වැව් දිය සිප හමා එන වියළි සුළඟ ඒ ගහකොළ සොලවන විට නැඟෙන හඬ මනස සුවපත් කරන මියුරු සංගීතයක් බඳුය. වියළි කතරක් මැද ඒ වන අරණට පය තැබූ විට ගමනේ විඩාව සැණෙකින් දුරු විය. වැව් තාවුල්ලේ ගල් තලාව මත හිඳගෙන බෝධීන් වහන්සේ දෙස බලා සිටින මගේ සිත නිවී සැනහිණි.

“අපේ මහත්තෙලාට මහන්සි ඇති…” දැහැන බිඳිණි. පියවි දෙනෙත් විවෘත විය. නායක හාමුදුරුවෝ අප සිටි ස්ථානයටම වැඩම කර සිටිති. උන්වහන්සේ ගල්පියුමේ සුමනරංසි නායක හාමුදුරුවෝ ය. බළන්ගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ ගුරුදේව උත්තමයන් වහන්සේ ය. මහා වන මැද භාවනානුයෝගීව වැඩසිටීමට දැඩි කැමැත්තක් දක්වන උන්වහන්සේ ප්‍රථම වරට බෙලිහුල්ඔයට වැඩම කර ඇත්තේ 1993 වර්ෂයේ නොවැම්බර් 11 වැනිදාය. ඒ අත්තනගොඩ පක්‍ද්ක්‍දාවිසුද්ධි නායක ස්වාමීන්වහන්සේ සමගය. බෙලිහුල්ඔය සුන්දර වන පෙතට සිත බැඳුණු උන්වහන්සේ එහි වැඩ හිඳීමේ බලාපොරොත්තුවෙන් 1994 අප්‍රේල් 02 වැනිදා නැවත එම ප්‍රදේශයට වැඩම කළහ. සීත සළු පිරි පොරවාගත් බෙලිහුල්ඔය වන මැද සිවුරුවලින් හතර කොන ආවරණය කරගත්, සීට් පළුවක් යට, පිට පළුවක් මත මාස හයකට වැඩි කාලයක් භාවනානුයෝගීව වැඩිසිටිමින් පින්වත් දායක, දායිකාවන්ගේ පරිත්‍යාගයෙන් ‘බෙලිහුල්ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසනය ගොඩනැගූහ. පසුකාලීනව බළන්ගොඩ තැන්න ප්‍රදේශයේ යකඩ කුටියක ද උන්වහන්සේ භාවනුයෝගීව වැඩ සිටියහ. අදටත් මහ වන වැද ගල්ලෙන්, කුටි ගෙවල්වල භාවනානුයෝගීව වැඩ සිටින උන්වහන්සේ කෙටි දිනකට ගල්ගමුව පුරාණ බෝධිමළු ආරණ්‍ය සේනාසනයට වැඩම කර සිටිති. කාල විපත්තිය ගැන අනුශාසනාවක් කරමින් සෙමෙන් ගල්පඩි පෙළ බැස ඉදිරියට පියවර තැබූ උන්වහන්සේ කුඩා දාන ශාලාව ඉදිරිපිට අසුනක හිඳගත්හ. උන්වහන්සේට එකත්පසව අපිදු කුඩා අසුනකට බර තැබුවෙමු.

“අපේ මහත්තෙලා පැමිණි කාරණය මම දන්නවා. අපේ පින්වත් රාධ ස්වාමීන්වහන්සේ පවත්වන සර්ව රාත්‍රික භාවනාමය බුදුගුණ දේශනාව ගැන සාකච්ඡා කරන්න. ඒක මේ විශ්වයේ කෙරෙන අති දුර්ලභ ධර්ම දේශනාවක්. තුන්යම් රාත්‍රිය මුළුල්ලේ එකම ඉරියව්වෙන් හිඳගෙන පැන් පොදක්වත් වළඳන්නෙ නැතිව එකම ස්වරයෙන් ධර්මය දේශනා කරන්න පුදුම වීර්යක් තියෙන්න ඕනෑ. ඒ වගේම ඒක පාරමිතාවක්. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදී, එක් සැන්දෑවක නන්ද මහරහතන් වහන්සේ ධර්මාසනාරූඪව වැඩ හිඳිමින් තුන්යම් රාත්‍රිය මුළුල්ලේ පෙරදා පහන් වන තෙක් ධර්ම දේශනාවක් පවත්වා තිබුණා. එදා එම දේශනය ශ්‍රවණය කිරීමට බුදුරජාණන් වහන්සේ ද වැඩම කර තිබුණා. තුන්යම් රාත්‍රිය මුළුල්ලේම සිටි පියවරේ ධර්මය ශ්‍රවණය කර, අලුයම දේශනාව අවසාන වන මොහොතේ ධර්මය ශ්‍රවණය කරපු සියලු දෙනාට පෙර බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් සාදුකාර පැවැත්වූවා. ධර්මය දේශනා කළ නන්ද මහරහතන් වහන්සේ ඇතුළු ධර්මය ශ්‍රවණය කළ සියලුදෙනා බුදුරජාණන් වහන්සෙත් දම්සභා මණ්ඩපයට වැඩම කර සිටින බව දැනගත්තේ ඒ මොහොතේ…”

‘ඔබවහන්සේ කොයි වෙලාවේද මේ ස්ථානයට වැඩම කළේ…’ බුදුරජාණන් වහන්සේ වන්දනා කරගත් නන්ද මහරහතන් වහන්සේ එසේ විමසුවා.

‘නන්ද… ඔබ යම් මොහොතක ධර්ම දේශනාව ආරම්භ කළා නම්, ඒ මොහොතේම තමයි, මම මේ මණ්ඩපයට වැඩම කළේ…’

‘ස්වාමීන්වහන්ස, මේ තුන්යම් රාත්‍රිය මුළුල්ලේ සිටි පියවරේ ධර්මය ශ්‍රවණය කිරීම මහත් ආශ්චර්යක්…’

“නන්ද… මේක නෙමෙයි ආශ්චර්ය ය. ලොව්තුරු සම්මා සම්බුදු බව පිණිස සර්වඥ ප්‍රාග් ඥානය පිණිස, මේ ධර්මය ලෝකයාට අවබෝධ කරදීම සඳහා විසි අසංඛෛ්‍යය කල්ප ලක්‍ෂයක් අති දීර්ඝ කාලයක් සංසාරේ මා සතු සියල්ල පරිත්‍යාග කළා. ඇස්, ඉස්, මස්, ලේ, අඹුදරුවන්, රාජධානි අචේතනික, සචේතනික සියලු දේ දන් දුන්නේ මේ ලොව්තුරු ධර්මය අවබෝධ කරගැනීම පිණිස. මේ උතුම් ධර්මය ලෝකයාට අවබෝධ කරදීම පිණිස මම සංසාරේ ලොකු කැපකිරීමක් කළා. පරිත්‍යාගයක් කළා. ඒ කැපකිරීමට, පරිත්‍යාගයට සම කළ හැකි කිසිදු වස්තුවක් මේ ලෝක ධාතුවේ පෙන්වන්න දෙයක් නෑ. ධර්ම අවබෝධය පිණිස මා පරිත්‍යාග කළ ඇඟ, මස් මේ මහ පොළොවේ පස්වලට වැඩියි. මම පරිත්‍යාග කළ ඇස් එකතු කළා නම් නොනැසී පැවතියා නම් මේ අහසෙ දිලෙන තරුවලට වැඩියි. මහා සාගරයේ ජලයට වැඩිය මගේ ශරීරයේ ලේ පරිත්‍යාග කර තියෙනවා. මගේ අඹුදරුවන්ගේ අත් බැඳලා පරිත්‍යාග කළ වැල් එකතු කළා නම්, නොනැසී තිබුණා නම් යොදුන් එක්ලක්‍ෂ හැටඅට දහසක් උස ඇති මහමේරු පර්වතයට වඩා විශාලයි. මා පරිත්‍යාග කළ හිස් එකතු කළා නම් නොනැසී පැවතියා නම් මහමේරු පර්වතයට වඩා විශාලයි. ඒ සා කැපකිරීමක්, පරිත්‍යාගයක් කර මා අවබෝධ කරගත් ධර්මය, නන්ද ඔබේ ආයු කල්පය මුළුල්ලේ ඔබ දේශනා කරනවා නම් මගේ ආයුෂ් කල්පය මුළුල්ලේ සිටි පියවරේ ඒ සද්ධර්මය ශ්‍රවණය කරනවා. එක රාත්‍රියක් සිටි පියවරේ ධර්මය ශ්‍රවණය කිරීම පුදුමයක් නෙමෙයි. මේ සද්ධර්මය ඒ සා බලසම්පන්නයි…”

පැන් පොදක් නොගෙන දොළොස් හෝරාවක් බුදුගුණ දේශනාව… රාධ හාමුදුරුවන්ගේ පාරමිතාවක්

“අද අපේ රාධ ස්වාමීන්වහන්සේ තුන්යම් රාත්‍රිය මුළුල්ලේ එකම ඉරියව්වෙන් හිඳගෙන පැන් පොදක්වත් පානය නොකොට එකම ස්වරයෙන් බුදුගුණ දේශනා කරන්නේ එදා නන්ද මහරහතන් වහන්සේ දේශනා කළ සද්ධර්මය. සම්මා සම්බුදු රජාණන් වහන්සේ රාත්‍රියක් මුළුල්ලේ සිටි පියවරෙන් ශ්‍රවණය කළ සද්ධර්මය. තවත් ස්වාමීන්වහන්සේලා මේ අයුරින් ධර්මය දේශනා කරන්න ඇති. අපේ කාලබුද්ධ රක්ඛිත මහරහතන් වහන්සේ මිහින්තලේ කළුදිය පොකුණ අභියස රාත්‍රියක් මුළුල්ලේ එකම ඉරියව්වෙන් සිදු කළ කාලකාරාම සූත්‍රය මෙරට ප්‍රකට දේශනාවකි. එවැනි ධර්ම දේශනාවක් සිදු කිරීම පහසු නෑ. දැනුම, ඥානය, විශාල වීර්යක් තියෙන්නෙ ඕනෑ. සංසාර පින තියෙන්නත් ඕනෑ. අපේ රාධ ස්වාමීන් වහන්සේ පෙර ආත්මවල තුන්යම් රාත්‍රී ධර්ම දේශනා ශ්‍රවණය කරලා සංසාර ගමනේදී ලොව්තුරු ධර්මය දෙවියන් සහිත ලෝකයා ඉදිරියේ එකම හඬින් තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ දේශනා කිරීමට ප්‍රාර්ථනා කරන්න ඇති. එදා ඒ කළ ප්‍රාර්ථනාවට අද උන්වහන්සේට ඒ භාග්‍යය උදා වෙලා තියෙනවා…”

‘අපවත් වෙන්න කලින් බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ දේශනා සියක් වතාවක් සිද්ධ කිරීම මගේ බලාපොරොත්තුවක්…’ දිනක් අපේ රාධ ස්වාමීන්වහන්සේ මා සමඟ පැවසුවා. ඒ වගේම මම බෙලිහුල්ඔය කැලේ වැඩසිටින කාලයේදී ගිහි තරුණයෙක් විදිහට පැමිණ උන්වහන්සේ කිහිප විටක්ම මගෙන් ධර්ම අහලා ගිහින් තියෙනවා. මගේ මතකෙ හැටියට එතකොට උන්වහන්සේට අවුරුදු දහසයක්, දහහතක් විතර ඇති. හරිම සද්ධා සම්පන්නයි. බුදුරජාණන් වහන්සේට දැඩි ආදරයක්, භක්තියක් ශ්‍රද්ධාවක් තිබුණා. අවුරුදු තුන, හතරක් අපිව ඇසුරු කරගෙන යනකොට නිතර, නිතර අපි ඇසුරුට පැමිණියා. දවසක් මම දහවල් දානය වළඳලා දහවල් 12.00 ඉඳලා පහුවදා අලුයම් කාලය වෙනතුරු එකම ඉරියව්වෙන් ඉඳගෙන ඔහුට පැවිදි ජීවිතය සහ ගිහි ජීවිතය අතර වෙනස දේශනා කළා. පාන්දර 2.00 ට ඔහු මට කතා කළා…”

“ස්වාමීන් වහන්සේ, මම ගිහි ගේ අතහැරලා පැවිදි වෙනවා…”

‘පුතේ… ඔයා පැවිදි වුණොත් මේ බුද්ධ ශාසනය බබළවන්න පුළුවන්…’ මම බොහොම සතුටින් එදා ඒ තරුණයාට එහෙම කිව්වා. ඊට ටික දවසකට පස්සෙ නාඋයනේ අරියධම්ම නායක ස්වාමීන්වහන්සේ ළඟ බළන්ගොඩ රාධ ස්වාමීන්වහන්සේ නමින් පැවිදි ජීවිතයට ඇතුළු වුණා. ගල්දූව ආරණ්‍ය සේනාසනය මුල් කරගෙන උපසම්පදාව ලැබුවා. සූදීරානන්ද නායක හාමුදුරුවො ළඟ ධර්ම විනය හැදෑරුවා. තවත් ලොකු ස්වාමීන්වහන්සේලා ඇසුරු කරගෙන ධර්මය හැදෑරුවා. ත්‍රිපිටක ධර්මය හොඳින් පරිශීලනය කරපු උන්වහන්සේ මේ වනවිට ත්‍රිපිටකධාරීන් වහන්සේලා පස්නමක් විතර බිහි කරලා තියෙනවා. අදටත් බළන්ගොඩ සීලසමාහිත ආරණ්‍ය සේනාසනයේ වැඩහිඳින ස්වාමීන්වහන්සේලාට ත්‍රිපිටක අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වගේම උන්වහන්සේ ඉගෙනගත්ත ධර්මය ලෝකයාගේ යහපත පිණිස දේශනා කරනවා. දෙවියන් සහිත මේ ලෝක ධාතුවට උතුම් ධර්ම වස්තුවක් ලෙස උන්වහන්සේ වැඩසිටින බව මගේ විශ්වාසයි…”

“අශ්ව ගැහැනු සතුන්ට අශ්ව පැටවු උපදිනවා. සමහර කොටළුවන්ට දාව අජානීය අශ්ව පැටවු උපදිනවා. රාධ ස්වාමීන්වහන්සේගේ හැකියාව, දක්ෂතාවය, වියත් බව, විශාරද බව, ඥානාන්විත බව සියල්ල කැටි කර අපිත් එක්ක සන්සන්දනය කර බැලූ විට කොටළුවකුට දාව ඉපැදුණු අජානීය අශ්ව පැටියෙක් වගේ කියා මට හිතෙනවා. මේ ලෝක ධාතුවට එවැනි පින්වත් ස්වාමීන්වහන්සේ නමක් බිහිකිරීමට ලැබීම ගැන අද මම පුදුමාකාර විදිහට සතුටු වෙනවා. මුදිතා ගුණ ඇති සමහර දෙමවුපියෝ දරුවන්ගේ දියුණුව දැක හදවතින් සතුටු වෙනවා හා සමානව අපේ රාධ ස්වාමීන් වහන්සේගේ දියුණුව, අභිවෘද්ධිය දකිනකොට මගේ හදවතේ පුදුමාකාර නිවීමක්, සතුටක්, ප්‍රීතියක් ඇති වෙනවා. දැන් මට අවුරුදු පනස්හයක් වයසයි. මම ජීවත් වෙන්නෙ එක වකුගඩුවකින්. එකක් මම පරිත්‍යාග කළා. ඒ නිසා තව වැඩි කාලයක් මම ජීවත් වෙන එකක් නෑ. මෙලොව හැර යයි. ඒත් මේ වගේ උතුම් බුද්ධ පුත්‍රයෙක් සම්බුද්ධ ශාසනයට ඇතුළු කිරීමට ලැබීම මගේ ජීවිතයේ ලද මහා වාසනාවකි…”

‘පුතේ… ඔයා පැවිදි වුණොත් මේ බුද්ධ ශාසනය බබුළුවන්න පුළුවන්…’ කියා එදා මම කියූ කතාව අද යථාර්ථයක් බවට පත් වී තිබෙන බව මම සතුටින් සිහිපත් කරනවා. මේ වෙනකොට උන්වහන්සේ සර්ව රාත්‍රික බුදුගුණ දේශනා දොළහක් පවත්වලා තියෙනවා. මමත් දහයක් විතර ශ්‍රවණය කරලා තියෙනවා. දෙවියන් සහිත ලෝකයාගේ යහපත පිණිස දේශනා කළ වදාළ බුදු බණ පදයක් යම් කෙනෙක් දේශනා කරනවා නම් ගිහි හෝ පැවිදි වේවා නිර්මල බුද්ධ වචනය කවුරු හෝ දේශනා කරනවා නම්, මම ඒ ධර්මයට වගේම ඒ පුද්ගලයාටත් කැමැතියි. මේ ලෝකයාට යහපතක් වුණා නම් ඒ ධර්මය නිසාමයි. ඒ නිසා ධර්මය වෙනුවෙන් ජීවිතය පූජා කරන්න වුණත් පුළුවන්. අපේ පින්වත් රාධ ස්වාමීන් වහන්සේට එකම හඬින් තුන්යම් රාත්‍රියක් ධර්මය දේශනා කරන්න පුළුවන් නම් තුන්යම් රාත්‍රියක් ඒ ධර්මය ශ්‍රවණය කරන්න අපිට පුළුවන් වෙන්න ඕනෑ…” අපේ නායක හාමුදුරුවෝ නිහඬ වූහ. උන්වහන්සේගේ සුමිහිරි දේශනයට මේ වචන කිහිපයත් මෙසේ එකතු කිරීම අපේ අදහසය.

ධර්මය ජීවමානය. ධර්මය සදාතනිකය. ඒක සත්‍යයකි. අදටත් මේ ලෝකය පවතින්නේ උතුම් වූ සද්ධර්මයේ බලයෙනි. ඒ සත්‍ය වූ නිර්මල බුදුගුණ වර්ෂාවක් එළැඹෙන 13 වැනිදා තුන්යම් රාත්‍රිය මුළුල්ලේ නුවර දළදා මාලිගාව ඉදිරිපිටට ඇද හැලෙති. ඒ අපේ පින්වත් බළන්ගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ ධර්ම පාරමිතාවේ 13 වැනි සර්ව රාත්‍රික බුදුගුණ දේශනාවය. ගල්පියුමේ සුමනරංසි නායක හාමුදුරුවෝ දේශනා කළ පරිදි තුන්යම් රාත්‍රියක් එකම ස්වරයෙන් රාධ හාමුදුරුවන්ට ධර්මය දේශනා කළ හැකි නම්, තුන්යම් රාත්‍රියක් ඒ ධර්මය ශ්‍රවණය කිරීමට අපට පුළුවන් විය යුතුය. ඒ හෙයින් රාත්‍රියක් පුරාවට අමා වැස්සක් බඳු ඇදහැලෙන ලොව්තුරු බුදුගුණ දේශනාව ශ්‍රවණය කිරීම සඳහා 13 වැනිදා නුවර දළදා මාලිගාවට පැමිණෙන ලෙසට ලෝකවාසී බෞද්ධ, අබෞද්ධ පින්වතුන්ට අපි ආරාධනා කර සිටිමු. එමෙන්ම ජාතික රූපවාහිනිය, අයි. නාලිකාව, සිටි එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාව සහ ‘අමා දොර විවර විය’ ෆේස්බුක්, යූටියුබ් නාලිකා ඔස්සේ මුළු මහත් ලෝකය පුරා විසිරී සිටින සැදැහැවතුන්ට රාධ ස්වාමීන්වහන්සේගේ බුදුගුණ දේශනාව ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ද අපි සතුටින් මතක් කර සිටිමු.

මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබෙනුයේ කලාතුරකිනි. එමෙන්ම කාල විපත්තියකට මුහුණදී සිටින රටවැසියන්ට මේ ඇසෙන ධර්මය ඖෂධයක් වැනිය. එහෙයින් ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත රාධ ස්වාමීන්වහන්සේ දේශනා කරන ලොව්තුරු ධර්මය බොහෝ දෙනකුගේ යහපත පිණිස හේතු වාසනා වේවාෟ ප්‍රාර්ථනාවෙන් ගම්බිම් බලා පිටත්වීම සඳහා අපි ගල්පියුමේ සුමනරංසි නායක හාමුදුරුවන්ගෙන් අවසර ගත්තෙමු…

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment