පැමිණිල්ලෙන් ඉල්ලීමක් නෑ: කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම අවසන්

116

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සිය අධිකරණය විසින් මින් පෙර පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් කිසිදු ඉල්ලීමක් සිදු නොකිරීම නිසා එකී තහනම තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (23) කිසිදු නියෝගයක් නිකුත් නොකළේය.

තීනියාවල පාලිත හිමියන් විසින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කරුණු දක්වමින් සංශෝධිත පැමිණිල්ල තවමත් සූදානම් කර නොමැති නිසා ඒ සඳහා දින ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව එම නඩුව ලබන නොවැම්බර් 15 වැනිදා යළි කැඳවීමට අධිකරණය දින නියම කළ අතර විදේශ ගමන් තහනම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකිරීම නිසා එම තහනම ඊයේ දිනෙන් අවසන් වනු ඇත.

තීනියාවල පාලිත හිමින් ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක්ම තමන් ඉදිරිපත් කරන්නට සූදානම්ව පැමිණි නමුත් ඒවා සංශෝධිත පැමිණිල්ල ගොනු කිරීමෙන් පසුව ගොනු කරනා බව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment