පැමිණිල්ල ද්වේෂසහගතයි: මට විරුද්ධ පරීක්ෂණය ඉක්මනට කරන්න….. බන්දුල අල්ලස් කොමිසමෙන් ලිඛිතව ඉල්ලයි

210

සතොස අලෙවි කරන එක් මුහුණු ආවරණයකින් රුපියල් දෙක බැගින් මුදලක් ප‍්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදලට ලබාගනිමින් තමා විසින් මූල්‍ය වංචාවක් කර ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සිදුකර තිබෙන පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් විභාග කරන්නැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (15 දා) එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.

මුහුණු ආවරණයකින් රුපියල් දෙක බැගින් අල්ලසක් ලබා ගනිමින් තමා මූල්‍ය වංචාවක් සිදුකරන ලද බවට කර තිබෙන මෙම පැමිණිල්ල ද්වේෂසහගතව, වෛරී චේතනාවෙන් කර තිබෙන අමූලික අසත්‍යයක් යැයි පැවැසූ ඇමැතිවරයා සතොස මුහුණු ආවරණ අලෙවිය තුළින් එක ශත පහක මුදලක් මෙම අරමුදලට මේ දක්වා බැරවී නැතැයි ද සඳහන් කළේය.

තාක්ෂණවේදය විෂය හදාරන උසස් පෙළ දරුවන්ට මාස් පතා ශිෂ්‍යත්වයක් ලබාදීම සඳහා තමාගේ පසුගිය උපන්දිනයක් දා පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ සියයක් යොදවමින් ආරම්භ කළ මෙම ශිෂ්‍යත්ව අරමුදලට ඥාතීන් හා හිතවතුන් විසින් ලබාදුන් දායකත්වය මත මේවන විට ලක්ෂ දෙසීයකට ආසන්න වී ඇති බවත් හෙතෙම කීවේය.

තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කිරීමේ නිල උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති බවත් පැවැසූ ඇමැතිවරයා එවැනි අරමුදලක් පිළිබඳව අසත්‍ය පැමිණිල්ලක් සිදුකරමින් අදාළ පුද්ගලයා තමාට පමණක් නොව මෙම අරමුදලේ භාරකරුවන්ට හා ප‍්‍රතිලාභ ලබන්න සිටින දරුවන්ට ද කර ඇත්තේ බලවත් අපහාසයක් හා නින්දාවක් බවත් පැවැසීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment