පැය දෙකක් වුණත් එක දිගට පන්දු යවන්න තවමත් පුළුවන්… කිලෝමීටර් දෙකේ යෝග්‍යතා පරීක්ෂණය බැරි නිසා ගෙදරට වෙලා ඉන්නවා

2773

තවමත් පැය දෙකක් වුවද තමන්ට එක දිගට පන්දු යැවිය හැකි බවත් විස්සයි විස්ස තරගයකදී යවන පන්දු 24ම කඩුල්ල කෙළින් යැවිය හැකි බවත් එහෙත් කිලෝ මීටර් දෙකේ යෝග්‍යතා පරීක්ෂණයට යා නොහැකි නිසා ගෙදරට වී සිටින බවත් ශ‍්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක සහ හිටපු විස්සයි විස්ස නායක ලසිත් මාලිංග කියා සිටී. ශී‍්‍ර ලංකාවේ හිටපු කී‍්‍රඩක රසල් ආනල්ඞ් විසින් මෙහෙයවනු ලබන ‘චිල් විත් රසල්’ වැඩසටහන සමගින් එක්වී මාලිංග මේ බව කියා සිටියේය.
 
 ශ‍්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ ඉඩක් නොලැබී සිටින ලසිත් මාලිංග අදාළ වැඩසටහන සමග එක්වෙමින් තමාගේ යෝග්‍යතාව පිළිබඳ අදහස් දක්වමින් මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග ‘කාලෙන් කාලෙට එකේක ෆිට්නස් ටෙස්ට් එනවා. දැන් තියෙන්නේ කිලෝ මීටර් දෙකේ ටෙස්ට් එක. ඒගොල්ලෝ කියනවනම් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා ක‍්‍රීඩකයන් ඒ විදියට හැඩගැහෙන්න දැනගන්න. මට තාමත් පැය 2ක් විතර එකදිගට බෝල් කරන්න පුළුවන්. විස්සයි විස්ස මැච් එකක් නම් බෝල 24ක් විකට් එක කෙලින් බෝල් කරගන්න පුළුවන්. හැබැයි කිලෝමීටර් දෙකේ ටෙස්ට් එක බැරි නිසා කාටවත් කරදර නොකර මම ගෙදරට වෙලා ඉන්නවා.’’
 
 ”2019 දී පල්ලෙකැලේදී මම නවසීලන්තෙට එරෙහිව බෝල් 4කදී විකට් හතරක් ගත්තා. අනේ කවුරුවත් කිව්වේ නෑ මාලිංගගේ බඩ වැඞී, ඒක නිසා මේ විකට් හතර අපි ගණන් ගන්නේ නෑ. අපිට මේ මැච් එකේ දිනුම එපා. රෙකෝඞ් එකත් අපිට එපා කියලා. එහෙම කවුරුත් කිව්වේ නෑ. යස අගේට අප්පුඩි ගහලා බාරගත්තා. මම ඕන කෙනෙක්ට චැලේන්ජ් එකක් දෙනවා. මම බෝල් 24ක් දානවා. එක ක‍්‍රීඩකයෙකුටවත් යාර 30 සීමාව උඩින් පන්නන්න දෙන්නේ නැහැ’ යනුවෙන් එහිදී කියා සිටියේය.
 
 පෙර පැවැති යෝග්‍යතා පරීක්ෂණ ක‍්‍රමයේ සහ වත්මන් යෝග්‍යතා පරීක්ෂණ ක‍්‍රමයේ වෙනස පිළිබඳව සහ තමාගේ ශරීරයේ යෝග්‍යතාව පිළිබඳ තේරීම් කමිටුවේ අදහස පිළිබඳ කියා සිටි මාලිංග ”2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් පස්සේ මටයි කුලේටයි ප‍්‍රශ්නයක් වෙන්න ටෙස්ට් එකක් තිබුණා. මම දාපු බෝලයකට වෙන කෙනෙක් කැච් එක මිස් කරා කියලා බෝලේ දාපු මගේ බඩ වැඞී කියලා කිව්වා. එතකොට කැච් එක මිස් කරපු කෙනා නෙමේ බෝලේ දාපු මට වැරැුද්ද කිව්වේ. ඊට පස්සේ ක‍්‍රීඩකයන් 40 දෙනෙක් විතර ගෙන්නලා ටෙස්ට් එකක් තිබ්බා. ඒකේදි මීටර් 20 ක් වේගයෙන්ම දුවන්නේ කවුද කියලා බැලූවා. එතකොට කුලේට වයස 36ක් විතර, මගේ වයස 35ක් විතර. නමුත් ඔය ටෙස්ට් එකෙන් පළවෙනියා වුණේ කුලේ. කුලේ හිටපු 40 දෙනාගෙන් වයසම කෙනා. දෙවෙනියා වුණේ මම. දැන් කාලේ ෆිට්නස් ටෙස්ට් එකක් කරන කොට ක‍්‍රීඩකයාට කලින් මීඩියාවලට කියනවා. නමුත් ඒ දවස්වල මේක කවුරුවත් දන්නේ නැහැ. අපේ ඒ ෆිට්නස් රිසාල්ට් එක අඩු ගානේ ෆේස්බුක් එකටවත් දාගන්න දුන්නේ නැහැ. එදායින් පස්සේ මීටර් 20 යෝග්‍යතා පරීක්ෂණය නැවැත්වුවා.’’ යැයි කියා සිටියේය.
 
 කෙසේ වෙතත් මේ වන විට 38 වැනි වියේ පසුවන ලසිත් මාලිංග ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 84ක් කී‍්‍රඩා කර ඇති අතර එහිදී කඩුලූ 107ක් දවා ගැනීමට සමත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment