පැය පහකට පසු වර්ජනය නවතී: දුම්රිය මගීහු දෙලොවක් අතර

134

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (14දා) පෙරවරු 11.30ට පමණ නැවතත් හදිසියේම වැඩ වර්ජනයකට එළැඹීම නිසා දුම්රිය සේවා බිඳවැටී තිබිණි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපති නුවන් නිලංග මහතාගේ වැඩ තහනම් කිරීම පාලනාධිකාරිය විසින් ගනු ලැබූ අත්තනෝමතික, පුද්ගලික පළිගැනීමක් බවත් ඒ හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවත් එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ‘දිවයින’ට කීය.

කිසිදු හේතුවක් නොමැතිව ආයතන සංග‍්‍රහයට පිටින් අදාළ වැඩ නැවැත්වීම සිදුකර ඇති බව ද ඊට විරෝධය පළ කරමින් මෙම හදිසි වර්ජනය කි‍්‍රයාත්මක කළ බව ද හෙතෙම පැවසීය.

මීට පෙර දුම්රිය ස්ථානාධිපතිවරුන් 12දා කි‍්‍රයාත්මක කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් කරුණු විමසීමට දුම්රිය රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා මරදානේ පිහිටි දුම්රිය ස්ථානාධිපතිවරුන් රාජකාරියෙහි නිරත වන පාලන මැදිරියට අවසරයකින් තොරව ඇතුළු වීම සම්බන්ධයෙන් බහින්බස් වීමක් ඇති වූ බව ද ඒ මහතා කීය.

එහිදී දැනට වැඩ තහනමට ලක්වූ නුවන් නිලංග මහතා සහ දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා අතර බහින්බස් වීමක් සිදු වූ බව ද සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

එම බහින්බස්වීමේ සිද්ධිය පහරදීමක් බව කියමින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට පාලනාධිකාරිය කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් පොලිසියට කැඳවූ අවස්ථාවේ මෙම හදිසි වැඩ වර්ජනය කි‍්‍රයාත්මක කළ බව ද හෙතෙම පැවසීය.

ඊයේ පෙරවරුවේ සිට දුම්රිය ගමන් රැසක් අවලංගු වූ බව ද සුමේධ සෝමරත්න මහතා කීය.

මෙම හදිසි වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීහු විශාල පිරිසක් අපහසුතාවට පත්වූහ.

වැඩ වර්ජනයට මුල් වූ කරුණු සහ ඒ සම්බන්ධ තොරතුරු විමසීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සහ දුම්රිය ගමනාගමන අධිකාරිවරයාට ‘දිවයින’ දුරකථන ඇමතුම් කිහිපයක්ම ලබාගත්ත ද එම දෙදෙනාම සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු සැපයුවේ නැත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment