පැය පහක් එක දිගටම දත්ත මකලා – ඖෂධ ජාවාරම්කරුවන් වෙනුවෙන් කළ පරිඝණක ත‍්‍රස්තවාදයක් – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

830

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එපික් ලංකා ටෙක්නොලජීස්  සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරු ප‍්‍රමෝද් දිලූප රාමනායක මහතා ලබන 6 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඊයේ  (29 දා) පස්වරුවේ නියෝග කළාය.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බව පැමිණිල්ල විසින් පෙන්වා දී තිබියදී සැකකරු ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි පෙන්වා දෙමින් විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත පවත්වාගෙන යෑමේ වගකීම පවරා තිබූ එපික් ලංකා ටෙක්නොලිජීස් සමාගමේ සේවය කරන සැකකරු මෙරටට ඖෂධ හා සෞඛ්‍ය උපකරණ ආනයනය කිරීමට අදාළ දත්ත 11,000 කට අධික ප‍්‍රමාණයක් මකා දැමීම අත්වැරදීමකින් සිදුවී ඇති දෙයක් නොව චේතනාන්විතවම සිදුකළ කි‍්‍රයාවක් බව පරිගණක විෂයය පිළිබඳ විශ්වවිiාල මහාචාර්යවරුන් තිදෙනකුගේ සහය ඇතිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විiා අංශය සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කීවේය. සැකකරු ඔහුගේ නිවසේ සිටම 2021.07.09 වැනිදා අලූයම 3.48 සිට පසුදින 10.25 දක්වා පුරා පැය පහකට අධික කාලයක් වැය කරමින් සිදුකර ඇති එකී දත්ත මකා දැමීම ඖෂධ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවය මත සිදුකළ පරිගණක ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් වන්නේ යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධීකරණයට පැවසීය.

දත්ත ගබඩාව පවත්වාගෙන යෑම වෙනුවෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් එපික් ලංකා සමාගමට මසකට රුපියල් ලක්‍ෂ පහකට අධික මුදලක් ගෙවා ඇති බවත් එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම දත්ත පද්ධතියේ යම්කිසි දෝෂයක් පවතින බව පසුදින පස්වරු දෙකට පමණ සැකකරුට දන්වා ඇති බවත් එය පරීක්‍ෂා කිරීමේදී එම මොහොතේ දත්ත මැකීයෑම සිදුවූ බව පවසා රඟපෑමක් කර ඇති බවත් දිලීප පීරිස් මහතා අධිකරණයට කීවේය.

එලෙස මකා දමා ඇත්තේ මෙරට ලක්‍ෂ සංඛ්‍යාත රෝගීන්ට ලබාදීමට ආනයනය කරනු ලබන ඖෂධ හා උපකරණවලට අදාළ දත්ත වන බවද එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කුමන පාර්ශ්වයක අවශ්‍යතාවය මත සිදුකළත් එය රටේ ජනතාවගේ ජීවිත සමග කළ සෙල්ලමක් වන්නේ යැයි ද අධිකරණයට පැවසීය. ත‍්‍රස්තවාදීන් මිනිස් ජීවිත ඝාතනය කරනුයේ මාරාන්තික ප‍්‍රහාර එල්ල කරමින් වන නමුත් මෙවැනි කි‍්‍රයා, එකී කි‍්‍රයාවලටත් වඩා අමානුෂික ත‍්‍රස්තවාදී කි‍්‍රයා වන බව ද එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී ද්ත පොදු දේපළ ගණයට වැටෙන බැවින් පොදු දේපළ පනත යටතේ හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද අධිකරණයට පැවසීය.

එපික් ලංකා ආයතනයෙන් ඉල්ලා අස්වී වෙනත් ආයතනයක සේවය සඳහා යෑමට ඉන් දින දහයකට පෙර ඉල්ලා අස්වීම ලබාදුන් එම සැකකරු සිදුකළ එම කි‍්‍රයාව අත්වැරදීමකින් සිදුවී ඇති දෙයක් නොව හිතාමතාම සිදු කළ දෙයක් වන බවට එම දත්ත පද්ධතිය නිර්මාණය කළ ඉංජිනේරුවරයා පවා ප‍්‍රකාශ ලබාදී ඇතැයි ද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට කීවේය. එක්වරක් අතක් හෝ ඇඟිල්ලක් වැදීමෙන් එදී දත්ත මැකී නොයන බවත් ඒ සඳහා අවස්ථා කිහිපයකදීම පද්ධතියට විධානය ලබාදිය යුතු බවත් එම පද්ධතිය සකස් කළ චමින්ද ලියනගේ නමැති නිලධාරියා වැඩිදුරටත් ප‍්‍රකාශ ලබාදී ඇතැයි ද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට කීවේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විiා අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. කේ. සේනාරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ ෂෙහාන් සොයිසා මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment