පැය විසිහතරම අයිස් කුඩු එක්ක වැඩ කරන රෝහල් කම්කරුවෝ

1080

කොළඹ ජාතික රෝහලේ විතරක් නෙමෙයි රජයේ රෝහල්
කිහිපයකම මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙනවා…
රෝහල් තුළ ජාවාරම් කරන්නේ සුළු සේවකයන්…
සුළු සේවකයන්ගෙන් වැඩ ගන්න හෙද නිලධාරීන්ට වෙනම අරගලයක් කරන්න වෙලා…
මුදල් පසුම්බි, ජංගම දුරකථන ආරක්‍ෂා කරගන්න රෝගීන්ට රෑ තිස්සේ නිදිවරන්න වෙලා…


රට වැනසූ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ අකාලයේ මියගියහ. ඇතැම්හු එල්ලුම් ගස් ගියහ. මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ ජාත්‍යන්තර ඒජන්තවරු නීතියේ රැහැනේ පැටලුණහ. එහෙත් රට තවමත් මත්ය. රට හැම තැන කුඩුය, අයිස්ය, මත් පෙතිය. අඩු නැතිව රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කෙරෙන බව නන් දෙසින් ඇසෙන කතාවකි. මෙරට සෑම අස්සක් මුල්ලකින්ම විටින් විට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සිද්ධි වාර්තා වන බව ද සැබෑය. එහෙයින් මත ගැන කතාව මෙරට ජනතාවට අරුමයක් නොවේ. එහෙත් මේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන ඇසුණුවිට නම් හදවත හිරිවැටිණි.

‘කොළඹ ජාතික රෝහල මත්ද්‍රව්‍ය තිප්පළක් වෙලා…’ කම්පනයට පත් මගේ යටි සිත උඩු සිතට කතා කළේය.

‘කොළඹ ජාතික රෝහල මෙරට සෞඛ්‍යයේ හදවත. ලෙඩක් හැදුණු විට අපිටත් යන්න තියෙන තැන. මෙතැන මත් තිප්පළක් වුණොත් රෝගීන්ට මොකද වෙන්නේ. මේ ගැන සොයා බලන්න දැම්ම ජාතික රෝහලට යන්න ඕනෑ…’ එසැණින් ක්‍රියාත්මක වූ මම ඡායාරූප ශිල්පී නිමල් දයාරත්නව ද කැටුව කොළඹ ජාතික රෝහලට ගියෙමි. අදාළ සිද්ධිය ගැන රෝහල් නිලධාරීන් සමඟ සාකච්ඡා කළෙමි. ජාතික රෝහල තුළට මත්ද්‍රව්‍ය ගෙනෙන හැටි, බෙදාහරින අයුරු, කුඩු, අයිස් උරන තැන්, ගංජා බොන ස්ථාන මෙන්ම රෝහල් සුළු සේවකයන් කරගෙන යන තවත් ජාවාරම් රාශියක්ම ඔවුහු අපට පැහැදිලි කළහ. අපි ගල් පිළිම සේ ඔවුන්ට සවන් දී සිටියෙමු. ඔවුහු දිගටම කතා කළහ. අවසානයේ ඔවුහු අපට බැගෑපත් වූහ.

‘අපේ නම් දාන්න එපා… එහෙම වුණොත් අපිට ලොකු කරදරයකට මුහුණ පාන්න වෙනවා…’ කතාව සැබෑය. වාර්තා වන ආකාරයට කොළඹ ජාතික රෝහලේ මත්ද්‍රව්‍ය ජාවාරම කොළඹ පාතාලය හා සම්බන්ධ ජාවාරමකි. එහෙයින් එම සාමාන්‍ය නිලධාරීන්ගේ නම් හෙළිදරව් කිරීම ඒ අසරණ ජීවිතවලට තර්ජනයකි. දැන, දැන එම නිලධාරීන්ව අවදානමකට පත්නොකර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා හමු වී ජාතික රෝහලේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ගැන අපි කරුණු විමසා සිටියෙමු. පහතින් පෙළගැසෙනුයේ එම ජාවාරම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති කියන කතාවය.

“කොළඹ ජාතික රෝහලේ විතරක් නෙමෙයි රජයේ රෝහල් කිහිපයක මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම විතරක් නෙමෙයි, විවිධ ජාවාරම් රාශියක්ම රජයේ රෝහල් තුළ සිදු කෙරෙනවා. ඒ සියලු ජාවාරම්වල නිරත වෙලා ඉන්නේ රෝහල් සුළු සේවකයන්. මැතිවරණවලදී පක්‍ෂයට පෝස්ටර් ගහපු, ඡන්ද පත්‍රිකා බෙදපු තරුණ, තරුණියන් බලයට පත් වූ රජයන් විසින් රෝහල්වලට බඳවාගෙන මේ වනවිට රජයේ රෝහල් පිස්සු පරාදීසයක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම රජයට දරාගැනීමට නොහැකි තත්ත්වයට රෝහල්වල සුළු සේවක අතිරික්තයක් නිර්මාණය වෙලා තියෙනවා. කොළඹ ජාතික රෝහලේ සේවකයන් එකළොස්දාහෙන් තුන්දහස් දෙසියක් සුළු සේවකයෝ. කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ සම්පූර්ණ කාර්යමණ්ඩලය දෙදහස් අටසීයයි. හත්සිය ගාණක් සුළු සේවකයෝ. ලේඩි රිජ්වේ රෝහලේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව දෙදහස් පන්සීයයි. සුළු සේවකයන් හයසිය පනහක්. රජයේ සියලු රෝහල්වලට මේ තත්ත්වය පොදුයි. ආසන්න වශයෙන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් 25%-35% ක් අතර සංඛ්‍යාවක් සුළු සේවකයෝ…”

පැය විසිහතරම අයිස් කුඩු එක්ක වැඩ කරන රෝහල් කම්කරුවෝ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

“බදුල්ල, පොළොන්නරුව, කළුතර, රත්නපුරේ දිස්ත්‍රික්කවල විශාල පිරිසක් මෙරට රජයේ රෝහල්වල සුළු සේවක කාර්යමණ්ඩලයේ සේවය කරනවා. කොළඹ රෝහල්වල සේවය කරන බහුතරය එම දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්. ඇතැම් සෞඛ්‍ය ඇමැතිවරු එකම පවුලේ සැමියට, බිරිඳට දෙදෙනාටම රෝහල්වල රැකියා දීලා. මහත්තයා ගාල්ල රෝහලේ. බිරිඳ බදුල්ල රෝහලේ. දරුවො කළුතර ආච්චි අම්මා ළඟ. රැකියාවට ඇති කැමැත්තට පත්වීම භාරගත්තට සේවයට පැමිණි දවසෙ ඉඳලා පදිංචි ප්‍රදේශයට මාරුවීම් ඉල්ලනවා. පිට දිස්ත්‍රික්කවලින් පැමිණි හැම කෙනෙක්ම රැකියාවට පැමිණි දවසෙ ඉඳලා මාරුවීම් ඉල්ලනවා. ඒ අයට රැකියාව පිළිබඳ කිසිදු ඇල්මක් නෑ. දිනපතා සේවයට වාර්තා කරන්නේ නෑ. අඩුම තරමින් රෝහල් සුළු සේවකයන්ගෙන් 50% ක් වත් දිනපතා සේවයට වාර්තා කරන්නේ නෑ. ඒ වගේම රෝහල් සුළු සේවකයන් රෝහල් පිරිසිදු කිරීම් කරන්නේ නෑ. ඒ කටයුතු කරන්නේ පෞද්ගලික ආයතනවලින්. ඒ සඳහා රජය වසරකට බිලියන දෙකක් වියදම් කරනවා. ඒ වගේම ඉස්සර රෝහල්වල ආරක්‍ෂාව තහවුරු කළේ රෝහල් සේවකයන්. දැන් රෝහල් ආරක්‍ෂාවත් පෞද්ගලික අංශයට භාරදීලා. රජය තවත් බිලියන ගාණක් වසරකට වියදම් කරනවා…”

“රෝහල් සුළු සේවකයන් බහුතරය නිකං කාලේ කනවා. එහෙම කාලේ කන කාන්තා සහ පිරිමි භේදයකින් තොරව බහුතරය අයිස්, කුඩු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච සමහර අය රෝහල් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නත් පටන්ගෙන තියෙනවා. මත්ලෝලී නේවාසික රෝගීන්ට මත්ද්‍රව්‍ය ලබාදෙනවා. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්න රෝහල් කාර්යමණ්ඩලයේ සේවකයන්ට මත්ද්‍රව්‍ය විකුණනවා. රෝහල් තුළ ජාවාරම් කරන ඇතැම් සුළු සේවකයන් වෛද්‍යවරුන් මිලට ගන්න පුළුවන් ආකාරයට කෝටිපතියන් බවට පත් වෙලා ඉන්නවා. රෝහල් තුළ බල පරාක්‍රමයක් නිර්මාණය කරගෙන තියෙනවා. එම බල පරාක්‍රමය තුළ ඔවුන්ට සිතැඟි පරිදි රෝහල්වල ව්‍යාපාර කරගෙන යනවා. සමහර සුළු සේවකයන් ත්‍රිරෝද රථ හයර් කරනවා. තව පිරිසක් රෝහල තුළ එළවළු, පලතුරු වෙළෙඳාම් කරනවා. සමහර අය රෝහල්වල කසිප්පු විකුණනවා. රෝගීන්ට කරන සේවයට මුදල් අය කරනවා. රෝගීන්ගේ මුදල් පසුම්බි, දුරකථන සොරකම් කරනවා. ඒ දේවල් ආරක්‍ෂා කරගන්න රෝගීන්ට රෑ තිස්සේ නිදිවරාගෙන ඉන්න වෙලා. ඒ වගේම රෝහල් භූමිය තුළ තිබෙන වෛද්‍යවරුන්ගේ මෝටර් රථවල කෑලි නැති වෙනවා. රෝහල් පොලිසිය මේ අකටයුතුකම් ගැන කිසිදු පරීක්‍ෂණයක් කරන්නේ නෑ. රෝහල් තුළ කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මුරපළ වගකියන්නේ නෑ. පෞද්ගලික ආයතනවලින් රාජකාරියේ යොදවලා තියෙන ආරක්‍ෂක නිලධාරීනුත් මත්ද්‍රව්‍ය ජාවාරමේ පාර්ශ්වකරුවන්. සුළු සේවකයන්ව පරීක්‍ෂා කරන්න වැටලීම් අංශයෙන් එනකොට ඔත්තුව යන්නේ රෝහල් ආරක්‍ෂක අංශයෙන්. වැටලුවට වැඩක් නෑ. ඒ වෙනකොට බඩු සේරම බංකර්ගත වෙලා ඉවරයි. මේ සුහදත්වය නිසා රෝහල් තුළ කෙරෙන ජාවාරම් පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා…”

“ඒ වගේම සමහර සුළු සේවකයන්ගේ ස්ථිර සේවය පාට් ටයිම්. රැකියාව බිස්නස් හෝ වෙනත් රැකියාවක්. ඒ අය එන්නේ රාත්‍රි වැඩ මුරයට විතරයි. දවල් දවසේ බිස්නස් හෝ වෙන රැකියාවක් කරනවා. රෑට රෝහලට ඇවිත් හොඳට නිදාගෙන පාන්දර බෝඩිමට යනවා. සමහර සේවකයෝ උදේ එන්න ඕන වැඩ මුරයට හැන්දෑවට එනවා. ඔවුන්ගේ පහසුවට තමයි වැඩ මුර හදාගෙන තියෙන්නේ. වාට්ටු භාර හෙද නිලධාරීන් කියන කිසිම දෙයක් සුළු සේවකයන් කරන්නේ නෑ. දුරකථන කනේ තියාගෙන නැති නම් කොට, කොටා මුලු ගැන්වෙනවා. රෝගී සේවයේ ඉන්න සේවකයන්ට දුරකථන පාවිච්චිය තහනම් කියලා චක්‍රලේඛනයේ ඇතුළත් කර තියෙනවා. ඒත් සුළු සේවකයන්ට ඒ නීති වලංගු නෑ. මේ වෙනකොට සුළු සේවකයන්ගෙන් වැඩ ගන්න හෙද නිලධාරීන්ට රෝහල තුළ වෙනම අරගලයක් කරන්න වෙලා තියෙනවා. වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්නෙ නෑ. හරියට රාජකාරියට වාර්තා නොකරන ජාවාරම්කාර සුළු සේවකයන් අතර අවංකව රැකියා කරගෙන යන අතළොස්සක් ඉන්නවා. ඒ සේවකයන්ව ජාවාරම්කාර සේවකයන් දැඩි ලෙස පීඩාවට පත් කරනවා. සුළු සේවක පාලකවරු වැඩ දෙන්නෙත් අවංක සේවකයන්ට විතරයි. ජාවාරම්කාරයන්ට වැඩ දෙන්නෙ නෑ. ඒ වෙනුවට සුළු සේවක පාලකවරුන්ට ජාවාරම්කාරයන් මුදලින් හොඳට සලකනවා…”

“රෝහල් සුළු සේවකයන් පරිපාලනයට සුළු සේවා පාලකවරු පත් කෙරෙන්නෙත් අධ්‍යාපන සුදුසුකම් මත පැවැත්වෙන තරග විභාගවලින් නෙමෙයි. සේවා කාලය මත සුළු සේවකයන් අතරින්ම තෝරාපත්කර ගන්නවා. ඒ පාලකවරු රෝහල් තුළ සිදුකෙරෙන ජාවාරම්වල ප්‍රධාන හවුල්කාරුවො වෙලා. හොර නායකයන් වගෙයි. සමහර සුළු සේවකයන් වැඩට එන්නේ නෑ. ඒ සේවකයන් වැඩට පැමිණි බවට පාලකවරුන් අත්සන ගහනවා. වැඩ නොකරන බව ඉහළට වාර්තා නොකරනවට සුළු සේවකයන් විසින් පාලකවරුන්ට මුදල් ගෙවනවා. එක් සේවකයෙක් මාසෙකට රුපියල් දාහ ගාණෙ දුන්නොත් ඒ ආකාරයට සේවකයන් පන්සියක් දාහ ගාණෙ දුන්නොත් අවමය රුපියල් ලක්‍ෂ පහයි. උපරිමය මිලියනයකට වැඩි වෙන්නත් පුළුවන්. රෝහල් සුළු සේවකයෙක්ගේ වැටුපත් රුපියල් හැටදහකට වැඩි වෙනවා. පාලකවරුන්ගේ වැටුප තවත් වැඩි වෙනවා. සමහර රෝහල් සුළු සේවක පාලකවරුන්ගේ මාසික ආදායම කොපමණද කියන්න බැරි තරම්. ඒ වගේම රෝහල් සුළු සේවකයන් සහ පාලකවරු අතර බිඳිය නොහැකි සුහදත්වයක් තියෙනවා. එම පාලකවරු වෘත්තීය සමිති ඒජන්තවරු විදිහට වැඩ කරනවා. රෝහල් සුළු සේවකයන් සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති පෙනී සිටිනවා. සුළු සේවක පාලකවරු රෝහල් පරිපාලනයට ඇහුම්කන් දෙන්නෙත් නෑ. ඇතැම් පරිපාලන නිලධාරීන් සුළු සේවක පාලකවරුන්ට බයයි. සුළු සේවකයන්ගේ, පාලකවරුන්ගේ අකටයුතුකම් සම්බන්ධයෙන් ඉහළට වාර්තා වෙන්නෙත් නෑ. ඉඳහිට වාර්තා වුණත් සැබෑ තත්ත්වය වහං වෙලා, විකෘති තත්ත්වයක් තමයි ඉහළට වාර්තා වෙන්නේ. රෝහල් සුළු සේවක කාර්යමණ්ඩලය කාර්යක්‍ෂම කරන්න නම් සුළු සේවක පාලකවරු ඉවත් කර මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් උපාධි සහිත මානව සම්පත් කළමනාකරුවන් පත් කරන්න ඕනෑ…”

පැය විසිහතරම අයිස් කුඩු එක්ක වැඩ කරන රෝහල් කම්කරුවෝ

“ඒ වගේම ලෝකයේ කිසිදු රටක රෝහලක 25% ක් 35 ක් අතර සුළු සේවක සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ නෑ. මේ පුංචි රටේ රජයේ රෝහල්වලින්ම තමයි එවැනි ලෝක වාර්තා බිහි වෙන්නේ. මෙරට පෞද්ගලික රෝහල්වලත් සුළු සේවකයන් 2% ට වඩා නෑ. සාමාන්‍යයෙන් රෝහලක ප්‍රධාන විය යුත්තේ වෛද්‍යවරු, හෙද නිලධාරීන්, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්. අපේ රටේ රජයේ රෝහල්වල මේ තුන් කට්ටුවම අභිබවා රෝහල් සුළු සේවක සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. මේක මහා විහිළුවක්. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. රෝහල් සුළු සේවකයන්ටත් අසාධාරණයක් නොවන ආකාරයට, රටේ ආර්ථිකයටත් වාසියක් වෙන ආකාරයට පුහුණු ශ්‍රමිකයන් හැටියට පිටරටවල රෝහල් සේවයට යොමු කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. එවැනි වෘත්තිකයන්ට ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ජාපනය වගේ රටවල ඩොලර් තුන්දාහක පමණ වැටුපක් ලැබෙනවා. රුපියල්වලින් ඒක විශාල මුදලක්. ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම යහපත් අතට හැරෙනවා. මෙරට ආර්ථිකයටත් විශාල ශක්තියක් වෙනවා. අපේ රටේ රජයේ රෝහල්වලට සුළු සේවකයන් යෙදවීම පෞද්ගලික අංශයට භාර දුන්නා නම් මේ ගැටලුව ඉවරයි…” රජයේ රෝහල්වලට පාලනය කළ නොහැකි තරමට උග්‍ර වී ඇති සුළු සේවක අතිරික්තයත් ඒ තුළින් නිර්මාණය වී ඇති ගැටලු බොහොමයක් ගැන රජයේ වෛද්‍යවරුන්ගේ සංසදයේ සභාපතිවරයා අප සමඟ පැවසුවේය. එම ගැටලු විසඳීමට යෝජනා ද ඉදිරිපත් කළේය. කතාව පැහැදිළිය. එහෙත් යෝජනා ක්‍රියාත්මකවීම ගැන අපට විශ්වාසයක් නැත. ඒ රජයේ රෝහල් තුළ මෙන්ම මෙරට ද හරි හැටි පරිපාලනයක් නැති නිසාය.

එමෙන්ම දේශපාලන හෙන්චයියන්ගෙන් පිරුණු, වැඩ නොකර පඩිගන්න සුළු සේවක අතිරික්තයක් සහිතව රජයේ රෝහල් මේ තරමින් හෝ පවත්වාගෙන යෑම ගැන මෙරට පුරවැසියන් විදිහට අප සතුටු විය යුතුය. එමෙන්ම ඇතැම් රෝහල් සුළු සේවකයන්ගේ මජර ගති පැවතුම් රෝහල් තුළ ද ක්‍රියාවට නඟමින් කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම අතිශය රහසිගතය. එමෙන්ම සැලසුම්සහගතය. කාලයක් තිස්සේ සිටම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන්නේ එකී සාර්ථකත්වය මතය. එහෙත් පිටරටවල සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවමින් ලෝකයට මත බෙදූ කාලකණ්ණි අත්අඩංගුවට ගත් මෙරට ආරක්‍ෂක අංශවලට රජයේ රෝහල් තුළ කෙරෙන ජාවාරම් ගැන වාර්තා නොවීම පුදුමයකි. එමෙන්ම රෝහල් මුරපළවල රාජකාරි කරනුයේ කුඹුරු මුර කරන පඹයින් ද යන්න අපට ඇත්තේ සැකයකි.

කුඩු, ගංජා අයිස්වලින් මත් වූ කාලකණ්ණි හෙට රෝහල් තුළ මොන විච්චුම්බරයක් නටයිද කියා කිව නොහැකිය. දෙයක් වෙන්නට පෙර එය වළකා ගැනීම අදාළ බලධාරීන්ගේ වගකීම ය. එමෙන්ම රෝහලකට ඇතුළුවන සෑම රෝගියකුගේම බලාපොරොත්තුව සිය රෝගී තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර ලැබ රෝගය සුව කරගැනීමය. රෝහලක පරම යුතුකම හා වගකීම එකී රෝගීන්ට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම හා එයට සුදුසු පරිසරයක් නිර්මාණය කරදීමය. මත්ද්‍රව්‍ය තිප්පළකදී එම වගකීම හරි හැටි ඉෂ්ට වේද යන්න අපට ඇත්තේ ගැටලුවකි.

තරංග රත්නවීර
ඡායාරූප නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment