පැය හයකට පෙර පොලිසියෙන් අවසර  ගත්තොත් විරෝධතාවලට කිසිම බාධාවක් නෑ – වැඩබලන ආරක්‍ෂක ඇමැති ප්‍රමිත තෙන්නකෝන්

82

විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීමේදී පැය හයකට පෙර පොලිසිය දැනුවත් කර ඒ සඳහා අවසර ලබාගතහොත් කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයි වැඩබලන ආරක්‍ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

එසේම උද්ඝෝෂණ පැවැත්වීමේදී සාමාන්‍ය ජන ජීවිතයට බාධා ඇති කිරීමට ඉඩදිය නොහැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව නීති ප්‍රකාරව කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ පියවර ගන්නා බව පැවසූ ඇමැතිවරයා කුමන තත්ත්වයක් යටතේ වුවද රටේ නීතියට පිටින් වගකීම් විරහිතව ක්‍රියා කිරීමට කිසිවකුටත් ඉඩදිය නොහැකි බවද කියා සිටියේය.

එසේ නොවුණහොත් පෙර ඇතිවූ ආකාරයේ ආරාජික තත්ත්වයක් රට තුළ යළි ඇති විය හැකි බව පෙන්වා දුන් ඒ මහතා එකී පූර්වාදර්ශය ප්‍රතිනිර්මාණය කිරීමට රජය කිසිසේත්ම ඉඩ නොතබන බවද සඳහන් කළේය.

ජාතික ආරක්‍ෂාව පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන අන්දමින් විරෝධතාවල යෙදෙන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය අවස්ථාවල ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කරන බව මෙහිදී අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසීය.

උද්ඝෝෂණ පැවැත්වීම සඳහා කොළඹ ජනාධිපති කාර්යාලය ආසන්නයේ වෙන් කළ භූමිය එයට සුදුසු ස්ථානය නොවන බව මේ වන විට සියලු දෙනාට වැටහී ගොස් තිබෙන බව පැවසූ ආරක්‍ෂක ලේකම්වරයා, එම ස්ථානයේ උද්ඝෝෂණ පැවැත්වීමට තවදුරටත් ඉඩ ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඉදිරි ආරක්‍ෂක මණ්ඩල රැස්වීමකදී තීරණය කෙරෙනු ඇතැයි ද කීය.

එම ස්ථාන උද්ඝෝෂණ පැවැත්වීමට අවසර දීමට කිසිසේත්ම සුදුසු ස්ථානයක් නොවන බව තමන්ගේ පෞද්ගලික මතය බවද හෙතෙම සඳහන් කළේය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment