පැරණි මිතුදම් අලුත් කළ අලුත් මිතුදම් මතු කළ ජනපතිගේ බ්‍රිතාන්‍ය ගමන

190

දශක ගණනාවකට පසුව පැවති විශාලතම රාජ්‍ය තාන්ත්‍රික මුණ ගැසීමක් ලෙස දෙවන එලිසබෙත් රැජනගේ අවමංගල්‍යය උත්සවය හැඳින්විය හැකිය. ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත පැමිණි පිරිස අතර රජවරුන් සහ රැජනියන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ අනෙකුත් ජාත්‍යන්තර මිතුරන් මෙන්ම III වන චාල්ස් රජු සහ කැමිලා රජ මෙහෙසිය ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් ද විය.

ඊට සහභාගි වූ අමුත්තන් සංඛ්‍යාව 2000 ක් පමණ වේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුවළ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් යුවළ, නවසීලන්ත අගමැති ජසින්ඩා අර්ඩන්, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩො, චීන උප ජනාධිපති වැන් කියුෂන් ඊට එක්වූ රාජ්‍ය නායකයෝ 100 දෙනා අතර වූහ.

මීට අමතරව යුරෝපයේ රාජකීය පවුල් නියෝජනය කරමින් ඩෙන්මාකය, ස්පාඤ්ඤය, ස්වීඩනය, නෝර්වේ, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල රජවරු හා රැජිනියන් ඊට එක් වූහ. එසේම ජපානයේ අධිරජ හා අධිරැජිනියත්, මැලේසියාවේ අබ්දුල්ලාහ් රජු සහ රැජනත් ජෝර්දානයේ රාණියා රැජිනත් එම සුවිශේෂ අමුත්තන් අතර වූහ. මෙම සම්භාවනීය අමුත්තන් අතර තවත් සුවිශේෂ අමුත්තන් දෙදෙනකු විය. ඒ දෙවැනි එලිසබෙත් රැජනගේ රාජාභිෂේකයට සහභාගි වූ අමුත්තන් දෙදෙනකුගේ දරුවන් දෙදෙනකුය. ඉන් එක් අයකු ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වන අතර අනෙක් පුද්ගලයා වනුයේ නෙදර්ලන්තයේ හිටපු රැජිනිය වන බිට්‍රික්ස් කුමරියයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවට සහභාගි වූයේ නිල ආරාධනයකට අනුවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මවුපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී වික්‍රමසිංහ මහත්මිය 1952 පෙබරවාරි මාසයේ පැවති එලිසබෙත් මහ රැජනියගේ කිරුළ පැළඳීමේ රාජාභිෂේක උත්සවයට එවකට අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මහතා සමඟ සහභාගි වී තිබේ. බිට්‍රික්ස් කුමරියගේ මවුපියන් ද රාජකීයන් ලෙස එම රාජාභිෂේකයට සහභාගි වී ඇත. ඒ අනුව එලිසබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගි වූ මාපියන් යුවළකගේ දරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස මහ රැජනගේ අවමංගල්‍යයට සහභාගි වීම එක්තරා ආකාරයට ඉතිහාසගත වන සිදුවීමකි.

පැරණි මිතුදම් අලුත් කළ අලුත් මිතුදම් මතු කළ ජනපතිගේ බ්‍රිතාන්‍ය ගමන

විශේෂයෙන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රථම නිල විදෙස් සංචාරය මෙසේ බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වනු ලබන්නේ ලෝක ඉතිහාසයේ රජ පවුලෙන් පරිබාහිරව මෙවැනි අවස්ථාවක් හිමි වූ පළමු වැන්නා ලෙසිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සමාජ මාධ්‍ය විවිධ සාවද්‍ය තොරතුරු සමාජගත කළ ද මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ සහභාගි වූයේ සිව් දෙනකු පමණක් බව පසුව අනාවරණය විය. ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ ට අමතරව ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා පමණක් එම කණ්ඩායමට ඇතුළත් වී තිබුණි. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා එක් වූයේ එතුමියගේ පෞද්ගලික වියදමිනි. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින අතරතුර පසුගිය 19 වැනිදා පැවති ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට එක්ව තිබුණි.

සීමිත දින ගණනක සංචාරයක් වුව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාව ද වැදගත් කර්තව්‍යයන් කිහිපයක් සඳහා යොදා ගැනීමට කටයුතු කර තිබෙනු දක්නට ලැබුණි. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුව ඒ අතර සුවිශේෂය. විශේෂයෙන් උතුරේ ඉඩම් ප්‍රශ්නය මෙන්ම අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය විසඳා අවසන් කළ යුතු බවට ඩයස්පෝරාව හමුවේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි. එසේම දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමු කිරීම සහ තරුණ පරම්පරාවේ අදහස්වලට අවස්ථාව ලබා දීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබීම පිළිබඳ ඩයස්පෝරාවේ ප්‍රශංසාව හිමි විය.

පැරණි මිතුදම් අලුත් කළ අලුත් මිතුදම් මතු කළ ජනපතිගේ බ්‍රිතාන්‍ය ගමන

එක්සත් රාජධානියේ පාලනය යටතේ සිටි, එක්සත් රාජධානිය සමඟ සබඳතා පවත්වන ස්වාධීන රටක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැටී්‍රෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමු වීමටද අවස්ථාව උදා කර ගෙන තිබුණි. එම හමුවේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යොන්‍ය සහයෝගීතාව පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අවස්ථාව උදා විය. පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි මහතා (න්‍්පැි ජකැඩැරකහ) විසින් චර්ච් හවුස්හි දී සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වූ අතර එහිදී ලෝක නායකයන් සමග සුහදව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසිණි. මේ වන විට මෙරට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ එක වර මෙසේ රාජ්‍ය නායකයන් රැසක් හමුවීමට හා අදහස් හුවමාරු කර ගැනීමට ලැබීම ජනාධිපතිවරයාට හිමි වූ මහඟු අවස්ථාවකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක යෙදීමට ද අමතක නොකළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රථම නිල සංචාරය දින තුනකට (17 – 20) සීමා වුවද එම සීමිත කාලය අතර විදෙස් නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ශ්‍රී ලාංකීය ඩයස්පෝරාවේ අවධානය යළිත් වරක් ශ්‍රී ලංකාව වෙත යොමු කරවා ගැනීමට කටයුතු කළ බව පැහැදිලිය.

ඒ අර්ථයෙන් මෙය එක්සත් රාජධානිය සමඟ ඇති ඓතිහාසික සබඳතා අලුත් කළ ශිෂ්ට සම්පන්න රටක රාජ්‍ය නායකයකුගේ යුතුකම් ඉටුකිරීමක් මෙන්ම ජාත්‍යන්තර සබඳතා කෙරෙහි තීරණාත්මක වූ සංචාරයකි.

මිත්‍ර හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment