පැරිස් ඔලිම්පික් රටවල් 40ක් වර්ජනය කරයිද?

314

පෝලන්ත ක්‍රීඩා ඇමැතිගෙන් ඉඟියක්

ලබන 2024 වසරේදී ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය රටවල් 40ක් පමණ වර්ජනය කිරීමේ අවදානමක් පැන නැගී ඇති බව පෝලන්ත ක්‍රීඩා හා සංචාරක කටයුතු ඇමැති කාමිල් බෝට්නික්සුක් පවසයි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් රුසියාවට හා ඔවුන්ට සහාය දක්වන බයිලෝ රුසියාවට පැරිස් නගරයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමට අවසරය ලබා දුනහොත් මෙසේ විශාල රටවල් සංඛ්‍යාවක් එම ඔලිම්පික් තරගාවලිය වර්ජනය කරනු ඇතැයි පෝලන්ත ඇමැතිවරයා පවසා තිබේ.

රුසියාවට හා බයිලෝ රුසියාවට පැරිස් ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමට අවසරය ලබා දුනහොත් ඔලිම්පික් තරගාවලිය වර්ජනය කරන බව යුක්රේනය විසින් දැනටමත් ප්‍රකාශ කර තිබේ. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් බයිලෝ රුසියාව එයට සහය ලබා දීමත් හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් එම රටවල් දෙකට 2024 පැරිස් නගරයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සහභාගි වීම සඳහා අවසරය ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් පෝලන්තය, ලිතුවේනියාව, එස්ටෝනියාව හා ලැට්වියාව යන රටවල් විසින් පසුගිය (02වැනිදා) ඒකාබද්ධව ප්‍රතික්ෂේප කරනු ලැබීය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මීළඟ රැස්වීම පැවැත්වෙන පෙබරවාරි මස 10 වැනිදාට පෙර රුසියාව හා බයිලෝ රුසියාව පැරිස් ඔලිම්පික් තරගාවලියට සහභාගි වීම වැළැක්වීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය හා කැනඩාව ඇතුළු රටවල් 40කින් සමන්විත සන්ධානයක් පිහිටුවා ගැනීමට බලාපොරොත්තු වන බව පෝලන්ත ක්‍රීඩා ඇමැතිවරයා පවසා තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment