පැවිදි වෙසින් සරසවි ඇවිත් ගිහියන් ලෙස පිටවීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති මැතිසබයේදී කියයි

226

මෙරට ශාසනයේ පැවිදි විනය වෙනුවෙන් නිකායන් තුනට අදාළ වන පරිදි කතිකාවන් තුනක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29දා) සඳහන් කළේය.

එක්තරා විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය හිමිනමක් මල්වතු අස්ගිරි නාහිමිවරුන්ට බැණ වදින ආකාරය තමන් දුටු බවත් එම හිමිනම භික්ෂුවක්ද, වෛතුල්‍යවාදියකුදැයි කියා තමන්ට සැකයක් මතු වූ බවත් පැවසූ ජනාධිපතිවරයා, එවැනි ක්‍රියා වහාම පාලනය කළ යුතු අතර සිවුර ඇඳගත් පමණින් ඊට මුවාවී විශේෂ ආරක්ෂාවක් ලබා ගත නොහැකි බවත් ධර්මයට විරුද්ධව ක්‍රියා කිරීමට ඉඩ දිය නොහැකි බවත් පැවසීය.

මේ වන විට විශාල පිරිසක් පැවිද්දන් ලෙස විශ්වවිද්‍යාලවලට ඇතුළු වී උපාධිය ලබා ගිහියන් ලෙස ඒවායින් පිටවන බවත්, පැවිද්දන් පැවිද්දන් ලෙසම විශ්වවිද්‍යාලයෙන් පිටවිය යුතු අතර ගිහියන් ලෙස මාරුවීමට අවස්ථාව ලබා දිය නොහැකි බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

දැනට තිබෙන ආකාරයට දිගටම ක්‍රියා කිරීමට ගියහොත් මෙරට ශාසනය නැති වී යනු ඇතැයිද එසේ වීමට ඉඩ නොදීමට නම් පැවිදි විනය වෙනුවෙන් නව පනතක් ගෙන ආ යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment