පැස්කුවල්ගේ වරප්‍රසාද ප්‍රශ්නයෙන් මැතිසබය උණුසුම් වෙයි

279

හර්ෂ ද සිල්වා අත්තනෝමතිකව වැඩ කරලා – අනූප පැස්කුවල්
හර්ෂ උත්තර දෙන්න නැගිටින විට ආණ්ඩුවෙන් දැඩි ඝෝෂා
වරප්‍රසාද ප්‍රශ්න ගැන සභාවේදී අදහස් දක්වන්න බෑ – කථානායක විපක්‍ෂ නායකට හා හර්ෂට කියයි

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සංවිධානය කරන ලද එම සභාවේ වැඩමුළුවක් සම්බන්ධයෙන් මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (07දා) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

එම කාරක සභාවේ සභාපතිගේ ක්‍රියා කලාපය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවත් ඔහු කමිටු සාමාජිකයන්ගේ වරප්‍රසාද කඩ කර ඇති බවත් මුදල් කාරක සභාවේ විෂය පථයට අයත් නොවන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සභාපති අත්තනෝමතිකව කටයුතු කර ඇති බවටත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ගල්අඟුරු මිල දී ගැනීමේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් කාරක සභාවේ සභාපතිවරයා සිය බලය අභිබවා ක්‍රියා කර ඇති බව ද එහිදී වෝටර්ස් ඒජ් හෝටලයේ පවත්වන ලද වැඩමුළුවක් සඳහා මුදල් අවභාවිතයක් කර ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.

එම ටෙන්ඩරයට අදාළ කරුණු පහක් සම්බන්ධයෙන් සභාපතිවරයා පාර්ලිමේන්තු ලිපි ශීර්ෂ සහ පාර්ලිමේන්තු දේපළ අවභාවිතා කර ඇතැයි ද මන්ත්‍රී පැස්කුවෙල් පැවසීය. එහි කරුණු කිහිපයක් ගෙන හැර දක්වමින් කතා කළ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි ද යෝජනා කළේය.

මෙම යෝජනාවට හර්ෂ ද සිල්වා මහතා දැඩි ලෙස විරෝධය දැක්වූ අතර ඔහු එම චෝදනාවලට පිළිතුරු දීමට උත්සාහ කිරීම නිසා ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඝෝෂා කරන්නට වූහ.

එහිදී මෙම ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරන බව කථානායක සඳහන් කළේය. එම වරප්‍රසාද ප්‍රශ්නය සඳහා අදහස් දීමට නොහැකි බව ද කථානායකවරයා කීය.

එහෙත් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැඟී සිටිමින් කියා සිටියේ සභාපතිවරයාට එලෙස ක්‍රියා කිරීමට අයිතිය ඇති බවය. රටේ දූෂණ, අක්‍රමිකතා, රට බංකොළොත්වීම සොයා බැලීමට සභාපතිවරයාට අයිතිය ඇති බව ද විපක්‍ෂ නායකවරයා කීවේය.

එහෙත් කථානායක විපක්ෂ නායකවරයාට ද කියා සිටියේ මෙම ප්‍රශ්නය වරප්‍රසාද කම්ටුව හමුවට ඉදිරිපත් කරන බවය.

කෙසේ වෙතත් එහිදී සජබ මන්ත්‍රීවරුන් මෙන්ම විපකෂයේ අසුන් ගෙන සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරු ද පැස්කුවල් මහතාගේ යෝජනාවට දැඩි ලෙස විරුද්ධව අදහස් දැක්වීමට උත්සාහ කළහ.

මුදල් කාරක සභාවේ සභාපතිවරයා ස්ථාවර නියෝගවලට අනුකූලව ක්‍රියා කර ඇතැයි ද ඔහුට විරුද්ධවත් වරප්‍රසාද ගෙන ඒම වැරදි සහගත ක්‍රියාවක් යැයි ලක්ෂ්මන් කිරිඇල්ල, දයාසිරි ජයසේකර, රවුෆ් හකීම් යන මහත්වරු සඳහන් කළහ.

එහිදී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ කථානායකවරයා එවැනි කරුණක් සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට ඉඩ දීම ගැටලුවක් බවය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment