පැහැදිලිවම මේක ඩීල් එකක්… පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය

605

අපිට එකතුවෙලා එදිනෙදා තියෙන පීඩනය අඩුකරගන්න මැදිහත්වෙන්න වෙනවා

රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයන් සම්බන්ධයෙන් සහ ඊට ජාතික ජන බලවේගය යෝජනා කරන විසඳුම් සම්බන්ධයෙන් විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ එම බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියව සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ සිදුකළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ආර්ථිකය කඩා වැටීම නිසා රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වුණා. ඒ දේශපාලන අර්බුදය පවතින ආර්ථික අර්බුදය තවත් තීව්‍ර කරන්න හේතුවෙලා. හැමදෙනාම අර්බුදය ගැන කියනවා. විවේචනය කරනව. ඒත් නිශ්චිත විසඳුමක් කියන්නෙ නෑ. ජාතික ජනබලවේගයට මේ අර්බුදයට නිශ්චිත විසඳුමක් කියන්න පුළුවන්ද?

පිළිතුර – ආර්ථික අර්බුදයයි, දේශපාලන අර්බුදයයි කියන දෙක අපට වෙන්කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආර්ථික අර්බුදය විසඳන්න නම් පළමුවෙන්ම දේශපාලන ස්ථාවරභාවය අත්‍යවශ්‍යයි. එකට මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන ආණ්ඩුවක් ඕන. මේ වෙලාවෙ තියෙන ප්‍රශ්නය තමයි ආණ්ඩුවයි ජනතාවයි අතර විශාල පරතරයක් පවතින එක. අනෙක අවිශ්වාසයක් ගොඩනැගිල තියෙනව. ඒ නිසා මේ අවස්ථාවෙ කරන මැදිහත්වීම කරන්න අමාරුයි. අනෙත් කාරණය මේ තියෙන පාර්ලිමේන්තුව විකෘති එකක්. ඒක එළියෙ ඉන්න ජනතා මතය නියෝජනය කරන්නෙ නෑ. එහෙම තියෙන තාක්කල් දේශපාලන අස්ථාවරභාවයක් තියෙනව. ඒකත් එක්ක ආර්ථික අර්බුදය විසඳන්න අවශ්‍ය පදනම නැහැ. ඒ නිසා අපි හිතන්නෙ ජනතාවට ඉතා ඉක්මනින් අවස්ථාවක් එන්න ඕන ඔවුන්ට සුදුසු පාලනයක් තෝරගන්න. ඒ කියන්නෙ මැතිවරණයකට යෑම.

ප්‍රශ්නය – පවතින තත්ත්වයන් තුළ මැතිවරණයකට යෑම කොයිතරම් ප්‍රායෝගිකද?

පිළිතුර – ලෝකයේ වෙනත් රටවලත් අර්බුද තියෙන වෙලාවල මැතිවරණය පවත්වල තියෙනව. අපිත් එහෙම කරල තියෙනව. මැතිවරණ තියන්නෙ සියල්ල හරියට තියෙන අවස්ථාවල විතරක් නෙමෙයි. මැතිවරණ තියන්න සුදුසු නෑ හෝ මුදල් නෑ කියන්නෙ ඡන්දයකට යන්න අකැමැති අය. වියදම යන්නෙ රුපියල් බිලියන 12ක ප්‍රමාණයක්. අගමැති කියනව රුපියල් ට්‍රිලියනයන් අලුතින් මුද්‍රණය කරන්න යන බව. එහෙම ගනිද්දි බිලියන 12 කියන්නෙ සාපේක්ෂව ලොකු වියදමක් නෙමෙයි. අනෙක ඒක කිරීම තුළින් දේශපාලන ස්ථාවරභාවයක් ලබාගන්න පුළුවන් වුණොත් ඒකෙන් කරන්න පුළුවන් දේ ඊට වඩා වටිනව. මේ තියෙන දේශපාලන අස්ථාවරභාවය තුළින් නිර්මාණය වෙන ආර්ථික අර්බුදයට ලොකු බරක් තියෙනව. ඉතින් ඒ නිසා ඒක වෙනුවෙන් මිලියන 12ක් වෙන්කරල මැතිවරණයක් තිබීමෙන් ලොකු පාඩුවක් වෙන්නෙ නෑ කියන එක තමයි අපි විශ්වාස කරන්නෙ.

ප්‍රශ්නය – හරි අපි හිතමුකො ඡන්දයක් තිබ්බ කියල. හැබැයි අපේ රටේ ඡන්දදායකයන් නැවත මේ පවතින දේශපාලන ධාරාවම තෝරගත්තොත් ඔය කියන, බලාපොරොත්තු වෙන දේශපාලන ස්ථාවරභාවය ලැබෙයිද?

පිළිතුර – ඡන්දයකට යන්න ඕන කියල අපි කියන්නෙ ජනතාවගෙත් පැහැදිලි වෙනසක් තියෙන නිසානෙ. ඒගොල්ලො 2019 හෝ 2020 හැසිරුණු විදිහට ආයෙත් හැසිරෙන්නෙ නෑ. ඒ අවුරුදු දෙකහමාර තුළ විශාල පාඩම් අපේ රටේ ජනතාව ඉගෙන ගත්ත. ඒ පාඩම් හරහාම තමයි එළියෙන් එන බලපෑම් එක්ක ඇතිවෙලා තියෙන දේශපාලන පරිවර්තන ඇතිවෙලා තියෙන්නෙ. අගමැති වෙනස් වුණා, කැබිනට් එක වෙනස් වුණා. මහබැංකු අධිපති ගෙදර ගියා. 2019 ජන්ද දායකයා නෙමෙයි අද ඉන්නෙ. ඒ නිසාම තමයි මැතිවරණයකට යන්න අවශ්‍යතාව තියෙන්නෙ.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයට ඉදිරි මැතිවරණයකදි බලය ලබාගන්න පුළුවන් වේවිද?

පිළිතුර – අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට වැඩකරන්නෙ දේශපාලන බලය වෙනුවෙන්. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනව මේ තියෙන තත්ත්වයන් එක්ක අපට එය ළඟාකරගන්න පුළුවන් වෙයි කියල. ඒ විශ්වාසයත් එක්ක තමයි දේශපාලනය කරන්නෙ. නමුත් මැතිවරණයකට යා යුතුයි කියන්නෙ අපේ දේශපාලන ගමන නිසාම නෙමෙයි. අපි හිතන්නෙ මේක තමයි රටට අවශ්‍ය විසඳුම කියල.

ප්‍රශ්නය – යම් හෙයකින් බලය ලබාගත්තොත් ආර්ථික අර්බුදයට ජාතික ජනබලවේගයට තියෙන විසඳුම් මොනවද?

පිළිතුර – ඩොලර් ප්‍රශ්නයටනෙ අපිට ක්ෂණික විසඳුමක් හොයාගන්න වෙන්නෙ. අපේ පසුගිය අවුරුදු කීපයේ අපට ඩොලර් ආවෙ විදේශයන්ගේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන්. දැන් ඒක පසුගිය අවුරුදු දෙක තුළ බරපතළ ලෙස අඩුවෙලා තියෙන්නෙ. පසුගිය මාස දෙකේ ඒක තවත් අඩුවෙලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ට පවතින ආණ්ඩුව ගැන තියෙන අවිශ්වාසය. අපි හිතන අපිට පුළුවන් ඔවුන්ගෙ ඒ බිඳුනු විශ්වාසය නැවත ඇතිකරන්න. ඒක කෙටිකාලීනව කරන්න පුළුවන් දෙයක්. අපි දැනටමත් විදෙස්ගතව ඉන්න ලාංකිකයන් එක්ක එකතුවෙලා වැඩ කරනව. ඉතින් අපි ඔවුන්ව සංවිධානය කරමින් ඉන්නෙ. අපේ ආණ්ඩුවක් ආවොත් අපිත් එක්ක ඒ විදිහට සම්බන්ධ වෙලා ඉන්න අය හරහා රටට ඩොලර් ගේන්න පුළුවන් වෙයි කියල අප හිතනවා.

ප්‍රශ්නය – අපි මේ වෙද්දි ණය උගුලක හිරවෙලා තියෙන බව කියනව. මේ වෙද්දි වුණත් තාමත් අපි යැපෙන්නෙ ණය මත. මේ ණය බරින් නිදහස් වෙන්න ඔබ දේශපාලන සංවිධානයට තියෙන විසඳුම කුමක්ද ?

පිළිතුර – එතනදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට අනිවාර්යයෙන්ම යන්න වෙනව. ඒක කරන්න යන සාකච්ඡාවලදි අපිට පුළුවන් අපේ ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරන්න. ඒකෙන් පෙන්වන්න පුළුවන් අපි මොකක්ද ඉදිරියෙදි කරන්න යන්නෙ කියල. එතනදි ණය පාවිච්චි වියයුත්තෙ කොහොමද කියල විගණනයක් කරන්න වෙනව. ඒ තොරතුරු එක්ක තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න වෙන්නෙ. මේ ආණ්ඩුවට ඔවුන් ණය භාවිතා කරපු විදිහ ගැන විස්තරයක් ඔවුනට දෙන්න බෑ. ඒ නිසා ඔවුන්ට ආර්ථික සැලැස්මක් නෑ.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගය ආණ්ඩු බලයක් ලබාගෙන ඔබ කියන මේ දේවල් කරන්න කොයිතරම් කාලයක් යයිද?

පිළිතුර – අපි හිතන්නෙ අවුරුදු තුනක් යනව යම්කිසි හුස්ම ගැනීමේ තත්ත්වයට ගෙන්න. ඒ අවුරුදු තුන ඇතුළතත් අපිට සියලු දෙනාම එකතුවෙලා එදිනෙදා තියෙන පීඩනය අඩුකරගන්න මැදිහත්වෙන්න විවිධ ක්‍රියාමාර්ග ගන්න වෙනව.

අපිට සියලු දෙනාම එකතුවෙලා එදිනෙදා තියෙන පීඩනය අඩුකරගන්න මැදිහත්වෙන්න විවිධ ක්‍රියාමාර්ග ගන්න වෙනව.

ප්‍රශ්නය – අලුත් අගමැතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ ගමන පිළිබඳ අදහස කෙසේද ?

පිළිතුර – අගමැතිවරයා තාම අලුත් දෙයක් ඉදිරිපත් කරල නෑ. විසඳුම් හැටියට අලුත් දේවල් මොනවත් ඉදිරිපත් කරල නැහැ. බදු වැඩිකරල තියෙනව. ඒවා කොහොමටත් කරන්න යෝජනාවෙලා තිබුණ දේවල්. ඒත් මිනිස්සුන්ගෙ පීඩාවන් අඩුකරන්න මොනම හෝ මැදිහත්වීමක් කරල නෑ. විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතභාවය නැති වෙමින් යනව. ඒ සම්බන්ධ සතුටුදායක මැදිහත්වීමක් තවම ආණ්ඩුව පැත්තෙන් වෙන්නෙ නෑ.

ප්‍රශ්නය – ඒ කියන්නෙ තිබුණු කේක් ගෙඩියට අලුත් අයිසින් තැවරීමක්ද මේ වෙලා තියෙන්නෙ?

පිළිතුර – අලුත් අයිසින් එකක් නම් දන්නෙ නෑ. පස් පාරක් හිටපු කෙනා අලුත් අයිසින් එකක් වෙන්න බෑනෙ. ඒක නිසා ඒක පරණ කේක් එකකට පරණ අයිසින් දැමීමක් කියල නිවැරැදි වෙන්න ඕන. මෙතන තියෙන බරපතළම දේ තමයි ඔහු අගමැති වීමෙන්, සිද්ධවෙමින් තිබුණු දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් ඉඩ ඔහු මැදට පැනල තව අමාරු කළා.

ප්‍රශ්නය – මේ නොකිය කියන්නෙ රනිල් වික්‍රමසිංහගෙ පත්වීම ඩීල් එකක් කියලද?

පිළිතුර – ඒක නොකිය කියන්න ඕන නෑ,.. පැහැදිලිවම ඩීල් එකක්. ඔහුව පත්කළේ ඔහු විතරයි ඉදිරිපත් වුණෙ කොන්දේසි විරහිතව නිසා.

ප්‍රශ්නය – 21 වැනි සංශෝධනය එන්නෙත් මේ ඩීල් එකේ කොටසක් විදිහටද?

පිළිතුර – පාර්ලිමේන්තුව ඇතුළෙ තාම බලය තියෙන්නෙ පොදුජන පෙරමණට. එක ආසනයක් විතරක් තියෙන රනිල් වික්‍රමසිංහට හැම දේම කරගන්න වෙන්නෙ බැසිල් රාජපක්‍ෂ හරහා. අනෙක් එක ලොකුම විහිළුව පොදුජන පෙරමුණ බලයට ආවෙ ලොකු රනිල් විරෝධයක් රට තුළ ඇතිකරල. දැන් එයත් එක්ක තමයි ආණ්ඩුව හදාගෙන තියෙන්නෙ. ඉතින් කොහොමද රනිල් ඒක පාර්ලිමේන්තුව තුළ අනුමත කරගන්නෙ. ඒකට තාම කැබිනට් එකේවත් අනුමැතිය ලැබිල නෑ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාට. එවැනි තත්ත්වයක් තුළ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කෙරෙන විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඔවුන්ගේ සහාය ලැබේවි යැයි සිතන්න පුළුවන්ද ?

පිළිතුර – බැහැ … 21 තියෙන ද්විත්ව පුරවැසිභාවය වැනි කරුණු ගත්තාම පොදුජන පෙරමුණේ සහාය එයට ලැබේදැයි කියන සැකය දැනටමත් මතුවෙලා තියෙනව. ඒ කියන්නෙ 21 සම්මත වීම සිද්ධවෙන්නෙ නැහැ.

පොහොට්ටුවේ බලය තියෙන පාර්ලිමේන්තුවක ඔවුන්ගෙ ජාතික සංවිධායකයට අනතුරු ඇතිවන සංශෝධනයකට ඒගොල්ලො අත උස්සන්නෙ නෑනෙ. මේක සිද්ධවෙන්නෙ නෑ. ඕක තමයි රජය හැම වෙලාවෙම කරන්නෙ. 2015 දිත් පාර්ලිමේන්තුවෙ ලොකු කාලයක් නාස්ති කළා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. ඒත් ඒක පාර්ලිමේන්තුවටත් ගෙන්න බැරි වුණා. ඒක තමයි 21 වැනි සංශෝධනයටත් වෙන්නෙ. අපි නම් හිතන්නෙ අවශ්‍ය විදිහේ සංශෝධන 21න් වෙන්නෙ නෑ කියල.

ප්‍රශ්නය – මේ 21 සංශෝධනය නිසා පාර්ලිමේන්තුවෙන් පිටත හඬනගන ජනතාවගේ විරෝධය, පවතින ආර්ථික අර්බුදය නිසා හෙම්බත්වෙලා තියෙන ජනතාවගේ ප්‍රශ්න දේශපාලනඥයො අමතක කරල දාල නේද?

පිළිතුර – ඒක තමයි මම මුල ඉඳන්ම කිව්වෙ මේ විකෘති පාර්ලිමේන්තුව වෙනස් කරනකම් මේ අර්බුදය විසඳන්න බෑ කියල.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් අතර සාකච්ඡාවක් පසුගියදා පැවතුණා. එහි අරමුණ කුමක්ද …?

පිළිතුර – ජාතික ජනබලවේගය හැටියට පෙරටුගාමී පක්ෂය එක්ක කතාකරපු පළමුවැනි අවස්ථාව මේක නෙමෙයි. මීට ඉස්සරවෙලත් අපි ඔවුන් එක්ක කතා කළා. අනෙක නිශ්චිත කරුණුවලදී උදාහරණයක් විදිහට වෘත්තිය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර හැටියට පොදු අරගලවල අපි එකට වැඩකරල තියෙනව. ඒ නිසා මේක අලුත් හෝ විශේෂිත හමුවක් නෙමෙයි. මේ නිශ්චිත මොහොතෙ තියෙන දේශපාලන පරිසරය තුළ අපිට එකතුවෙලා වැඩකරන්න පුළුවන් කාරණා තියෙනවද කියල අපි සාකච්ඡා කළා.

ප්‍රශ්නය – එම සාකච්ඡා සාර්ථකද?

පිළිතුර – සාර්ථක, අසාර්ථභාවයක් නෙමෙයි එතන තිබුණෙ. මේ දේශපාලන මොහොත අපි දකින විදිහ තේරුම්ගැනීමක්. ඒ අදහස් හුවමාරු කරගැනීම සිදුවුණා.

ප්‍රශ්නය – ඔබ ජවිපෙ සාමාජිකයෙක් නෙමෙයි. ජාතික ජනබලවේගය නියෝජනය කරන්නෙ. ඔබ හිතන්නෙ නැද්ද පෙරටුගාමී පක්ෂයත් සමඟ එකට ගමන යා යුතු මොහොතක් එළැඹිල තියෙනව කියලා.

පිළිතුර – පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වෙලා ගියේ ඔවුන්ට වෙනත් දේශපාලන අරමුණක් සහ දේශපාලන ක්‍රියාවලියක් ඕන නිසානෙ. නැත්නම් ඔවුන් ජවිපෙ ඇතුළෙ තවමත් ඉන්නවනෙ. ඒ පක්ෂය දැන් වෙනම අන්‍යතාවක් තියෙන දේශපාලන පක්ෂයක්. ඔවුන්ගෙ අනන්‍යතාව තියාගෙන අපි දැනටමත් එකතුවෙලා වැඩ කරමින් යනව. ඉදිරියෙදිත් එහෙම වෙන්න පුළුවන්.

සාකච්ඡා කළේ –
සිරිමන්ත
රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment