පැහැදිලි බලශක්ති ප්‍රතිපත්තියක් තිබෙනවා නම් නාස්තිකාර වියදම් අවම කරන්න පුළුවන් – අගමැති දිනේෂ් ගුණවර්ධන

180

පාර්ලිමේන්තුව තුළ විධායක කාරක සභා ක්‍රමය ඇති කිරීමට ප්‍රතිඥාවක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය ගැන සාකච්ඡා කරන මේ අවස්ථාවේ විධායක කාරක සභා ක්‍රමයට පරිවර්තනය කිරීම සඳහා ගන්නා උත්සාහයෙන් වැදගත් කර්තව්‍යයක් ඉටුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මුලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (27 දා) රැස් විය.

ප්‍රථමයෙන් නව මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ දිවුරුම් දීම සිදු වූ අතර පසුව ලිපි ලේඛන, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීම සිදු විය. අනතුරුව අමාත්‍යාංශ නිවේදන ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් හදිසි නීති රෙගුලාසි ඉදිරිපත් කර ඒ පිළිබඳ කරුණු දැක්වීය.

අගමැතිවරයා එහිදී මෙසේද කීවේය.

යළිත් වරක් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් ඒ වගේම අපේ රටේ ජනතාවගේ අපේක්‍ෂාවන් මුදුන්පත් කිරීමට අවශ්‍ය සුවිශේෂී අවස්ථාවකට අපි පැමිණ තිබෙනවා. අපේ මූල්‍ය අර්බුදයත්, අපේ ආර්ථික අර්බුදයත් ඉතාම උත්සන්න තත්ත්වයකට පරිවර්තනය වුණා. එයට මුහුණදීම සඳහා වූ ක්‍රියාමාර්ගයේදී මහජනතාවගේ පැත්තෙනුත් දැවැන්ත මහජන උද්ඝෝෂණ ව්‍යාපාර හා බලපෑමක් ඇති වුණා. එය වෙනස් කිරීම සඳහා ඔබතුමා පිළිගනියි. දේශපාලන ක්‍රියාදාමය, දේශපාලන යාන්ත්‍රණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ වෙනස් කිරීමේ කර්තව්‍යයට අපේ පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයම අදහස් රාශියක් ඉදිරිපත් කරලා යම් යම් එකඟතාවකට පැමිණිය හැකි ක්‍රියා මාර්ග හා ව්‍යවස්ථා සංශෝධනයන්ට අපි පිවිසෙන්නට බලාපොරොත්තු වෙන ක්‍රියාදාමය ආරම්භ කරලා තියෙනවා. අපි ප්‍රතිඥා දෙනවා පාර්ලිමේන්තුවට. ඒ නිසා සියලු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනා එම ක්‍රියාදාමයන් සාර්ථකව ඇති කරන්න පුළුවන් විශ්වාසය ඉදිරි දවස්වල සතිවල ජනිත කරයි කියලා මා මේ අවස්ථාවේදී විශ්වාස කරනවා.

ඒ වගේම අපේ ආණ්ඩු ක්‍රමයේ හා පාර්ලිමේන්තුව තුළ විධායක කාරක සභා ක්‍රමය ඇති කරන්න අපි ප්‍රතිඥා දෙනවා. එය වහාම ඇති කිරීම සඳහා වූ අවශ්‍ය ස්ථාවර නියෝගයන් මාර්ගයෙන් පියවර ගැනීමට ආණ්ඩුව කැපවී තිබෙන බව ජනාධිපතිතුමා විසින්ද ඒසඳහා අවශ්‍ය කෙටුම්පතක්ද ඉදිරිපත් කර සාකච්ඡා කරන්න පුළුවන්කමට අද පැමිණ තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය ගැන සාකච්ඡා කරන විට හා ඒ වගේම විධායක කාරක සභා ක්‍රමයට පරිවර්තනය කිරීම සඳහා උත්සාහය වැදගත් කර්තව්‍යයක් ඉටුකරන්න පුළුවන් වේ කියලා අපි හිතනවා.

හැම මන්ත්‍රීවරයෙක්ම තමන් නියෝජනය කරන කාරක සභාවේ කටයුතු කරන්න පුළුවන්කම ඇති වීමෙන් ජාතික වශයෙන් තිබෙන අභියෝග ජාතික වශයෙන් තිබෙන සංවර්ධන කටයුතු ඒ වාගේම රටට ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත හැකි අණ පනත් සම්මත කිරීම එකඟතාවකින් යුතුව කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා.

මේ අවස්ථාවේ මම සිහිපත් කරනවා 1931 සර්ව ජන ඡන්දය ලබාදෙන අවස්ථාවේදී ඒ ඇති කළ විධායක කාරක සභාවල් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අපේ රටට ගෙනාවා. ඒ අවස්ථාවේදී මගේ ආදරණීය පියා පිලිප් ගුණවර්ධන මහතා එම විධායක කාරක සභාව තුළ නියෝජනය කළා. ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාටත් මේ තරුණ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන්කම ඇති වුණා. එයින් ඇති කළ විවිධ වෙනස්කම් තවමත් නීති පොතේ එලෙසම ක්‍රියාත්මක වෙනවා. අත තියලා නෑ. ඒ තරම් ඉදිරිය බලාපු එකඟතාවන්ට පැමිණෙන්නට පුළුවන් වුණා.

චමල් රාජපක්‍ෂ මහතාගේ ආදරණීය පියා අපි සිහි කරනවා. නිදහස් අධ්‍යාපන පනත සම්මත කරන අවස්ථාවේ ඉතාමත් තීරණාත්මක වැඩකොටසක් ඒ කාරක සභා යෝජනා කරන වෙලාවේ ඉටු කළා. මෙවැනි උදාහරණ රාශියක්ම සිහිපත් කරන්න පුළුවන්.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමා ලංකාවේ පළවෙනි කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයා හැටියට ආරම්භ කළ ක්‍රියාදාමය, කාරක සභාව හරහා ක්‍රියාත්මක වුණු වැඩපිළිවෙළවල්වලට හොඳ ආකාරයක උදාහරණයක්. ඒ වගේම උතුරේ මන්ත්‍රීවරු ජී. ජී. පොන්නම්බලම් මහතා වැනි මන්ත්‍රීවරු, එතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය මේ සභාවේ ඉන්නවා. ඩී. ජී. පොන්නම්බලම් මහතා කාරක සභාවේ සභාපතිවරයෙක් හැටියට කටයුතු කළා. ක්‍රියාකාරී දායකත්වය ජාතික සංවර්ධන වැඩසටහන ඇති කරන්න ලබාදුන්නා. මම ඒ පිළිබඳ වැඩි විස්තර කියන්න යන්නෙ නෑ.

අපේ කර්මාන්ත ක්‍ෂේත්‍රයට ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා අපි රජයක් හැටියට ඒ පියවරවල්වලට ආයෝජකයන්ට ආරාධනය කරනවා. ඒ වගේම කථානායකතුමනි, ලොව පුරා ලෝක ආර්ථිකය වෙනසකට පරිවර්තනය වෙමින් තිබෙනවා. ලෝකයේ අලුත් ආර්ථික ප්‍රගති දැවැන්ත පියවරවල් ඇති වෙමින් පවතිනවා. බටහිර ආර්ථිකයේ ලෝකයේ පමණක් නොව ආසියාවේ ආර්ථිකය ප්‍රධානතම ආර්ථිකයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන අනාගතය දිහාද අපි බැලිය යුතුයි.

ඒ නිසා ඉදිරි වෙනස්කම් සඳහා කටයුතු කරන රජයක් හැටියට රජය සමග අත්වැල් බැඳගෙන පොදු එකඟතාවයන් ඇති කරුණු සාර්ථක කරන්න මේ අභියෝග ජයගන්න අපි විරුද්ධ පක්‍ෂයේ සෑම දේශපාලන පක්‍ෂයකටම හා මන්ත්‍රීවරුන්ට ආරාධනය කර සිටිනවා. අත්වැල්

බැඳගන්න මේ වෙනස්කම් පාර්ලිමේන්තුව තුළත් මේ වෙනස්කම් ආණ්ඩුක්‍රමය තුළත් මේ වෙනස්කම් ආර්ථික ක්‍ෂේත්‍රය තුළත් ඇතිකර ඉදිරියට ගමන් කරන්න.

බෙහෙත් වේවා, ආහාර ද්‍රව්‍ය වේවා, ඉන්ධන වේවා ආදී ප්‍රශ්නවලදී එලෙස කටයුතු කරමු. ශ්‍රී ලංකාවට පැහැදිලි බලශක්ති ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. මම මීට ප්‍රථමවද සභාවේ සඳහන් කරලා තියෙනවා. පැහැදිලි බලශක්ති ප්‍රතිපත්තියක් ජාතික වශයෙන් තිබෙනවානම් අපි මුහුණ දෙන නාස්තිකාර වියදම් දූෂිත වියදම් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම බලශක්ති ක්‍ෂේත්‍රය කිසි ලෙසකින් මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට පැමිණෙන්නේ නැහැ.

අපේ සංස්කෘතියේ අමතක නොවන කරුණක් අවුරුදු දහස් ගණනකට පෙර කරුණක්, යළි යළි සිහිපත් කරන දේ යළිත් සිහිපත් කරමින් මා කතාව අවසන් කරන්න බලාපෙරොත්තු වෙනවා.

දේවානාම්පියතිස්ස රජතුමා හමුවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ වෙලාවේ ප්‍රකාශ කළ ඒ සුවිශේෂී කාරණය අප පරම්පරාවෙන් පරම්පරාවට රට සිහිපත් කරනවා.

‘මහරජ ඔබ මේ භූමියේ අයිතිකරු නොවෙයි, භාරකරු පමණක් වේ’ ඒ වදන් තුළ සමස්ත පරිසරයට, මිනිසාට, සතා සීපාවට සියල්ලට එක ලෙස රැකවරණය සලසා අනාගත පරම්පරාවට භාරදීමේ කාර්ය භාරයට කැපවීම, මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උත්තරීතරම කාරණය බවට පර්වර්තනය කරන්න එක්ව කටයුතු කරමු.

සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත-

කුමාර වෙල්ගම මහතාට ප්‍රහාරයක් එල්ල වුණා. දින

11 ක් බරපතළ තත්ත්වයේ හිටියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. ලලිත් ඇතුළත්මුදලිට එල්ල කළ ප්‍රහාරය ම්ලේච්ඡ ප්‍රහාරයක්. ඒවා තමයි ම්ලේච්ඡ ප්‍රහාර.

ව්‍යවස්ථාවට පිටින් ගිහින් ආණ්ඩු වෙනස් කරන්න බැහැ. මැතිවරණයකදී මතය උරගා බලන්න පුළුවන්. අපි අවුරුදු 27 ක් යුද්ධ කළා. 88/89 යුද්ධ කළා. එවැනි යුග අපි පසු කළා. එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා හදිසි නීතිය යන දෙකම ක්‍රියාත්මක වුණා. ඒ යුගයේ හිටිය තරුණයන් වෙනුවෙන් අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන කවුරුත් පෙනී සිටියේ නැහැ. අපි නඩුවලට පෙනී සිටියා.

අද අරගල භූමිය නිර්ව්‍යාජ ලෙස ගොඩ නැඟුනා. දැන් එල්ටීටීඊ සෙවනැලි විදේශ බලවේග, පාස්කු ප්‍රහාර සෙවනැලි තිබෙනවා කියා සැක හිතෙනවා. මේවා නිසා තමයි හදිසි නීතිය අද අවශ්‍ය වී තිබෙන්නේ. මෙම පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල. මේක අත්පත් කර ගන්න 4000 ක් ඇවිත්. බැකෝ අරන් ආවා කඩන්න. ඒවාට ඉඩ දුන්නා නම් අද අපිට රැස්වෙන්න බෑ.

මේ වන කොට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයෙකුත් තෝරා පත්කරගෙන ඉවරයි. හැබැයි ගෝල්ෆේස් අරගලය තවමත් තියෙනවා. අරගලකරුවන්ගේ ඒකායන අරමුණ වෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉවත් වීම සිදුව තිබියදී තවදුරටත් එම අරගලය පවත්වාගෙන යෑමේ කිසිදු පදනමක් නෑ කියන එක මගේ විශ්වාසයයි. හරිනම් ඔවුන් මේ වන විට අරගලය අවසන් කර එම භූමියෙන් ඉවත් විය යුතුව තියෙනවා. පසුගිය දවස්වල සාමකාමී අරගලකරුවන් කියන කණ්ඩායමේ ඉදිරියට දාගෙන මේක සම්පූර්ණයෙන් මෙහෙයුවේ පාතාලයෝ, කුඩුකාරයෝ ඒ වගේම මංකොල්ලකාරයෝ. ඔවුන්ට සම නායකත්වය දෙන්න සමහර දේශපාලන පක්‍ෂ නායකයෝ පිටුපස ඉඳන් උදව් කළා. ඒ ඒ දේශපාලන කෝණයෙන් බලලා තමන්ගේ දේශපාලන වුවමනා එපාකම් ඉටුකර ගන්න. අපි දැක්කා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහ වැට චීනචට්ටි වැටක් අගමැතිතුමනි. මේ අරගලකරුවන් මේ චීනචට්ටි වැටම ගලවගෙන ගිහිල්ලා. කවුද දැන් මේකට වගකියන්නේ. දැන් මෙතන මේ අරගලරකැවන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්‍ෂ නායකයෝ පක්‍ෂවල අය මේකේ වගකීම භාර ගන්නවද? ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන ඡායාරූපවල අත්සන් ගහලා මේ අරගලකරුවන් රටේ වෙනසක් ඇති කරන්න කරන අරගලකරුවන් කරන දේවල් තමයි මේ. ස්විමින්පූල් එකේ නාලා සබන් ගාලා නානවා. දැන් මේ වගේ අයද මේ රට වෙනස් කරන්න හදන්නේ. දැන් එහෙම අය වෙනුවෙන් පෙනී හිටින්න මෙතන ඉන්න දේශපාලන නායකන්ට පුළුවන්ද? මේක කල්පනා කරන්න ඕනේ දෙයක්. හැබැයි ඔවුන් දැන් කරන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ බැනර්, කටවුට් අයින් කරලා වෙනත් නම් ඒකට ඇතුළත් කරලා තවත් අයෙකු ධුරයෙන් පහ කිරීම සඳහා කටයුතු කිරීමයි.

මේ වන විට අරගලකරුවන්ගේ ආරක්‍ෂක, රැකවලුන් බවට පත්ව තිබෙන්නේ මත්කුඩුවලට ඇබ්බැහි වූ පිරිස්. ඔවුන්ව තමයි විවිධ පෙළපාලි, උද්ඝෝෂණවල ඉදිරියෙන්ම තියාගෙන ආරක්‍ෂක වැට කඩුළු බිඳ දමන්න යොදා ගන්නේ. මේක අපි පහුගිය කාලේ දැක්කා. මේවාට නෑ කියන්න බැහැ. අද පොලිසිය ගියාම පොලිසිය පන්නනවා. යනවා යනවා කියනවා. අපි මාධ්‍ය තුළ ඕවා දකිනවා. මොකද ඔවුන්ට කුඩු ජාවාරම් කරන්න පුළුවන් හොඳම තිප්පළ තමයි මේ තිප්පළ බවට පත්වෙලා තියෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකර තිබූ මා කලින් පැවසූ පරිදි ඒ වැටේ චීනචට්ටි කොටස් අරන් යන්නේ එක අතකින් සිංහ කොඩියක් අරගෙන. ඒ බරට ඇදගෙන යනවා. ඒකයි මම කිව්වේ ජනාධිපති මන්දිරය පුරාවිiා සංරක්‍ෂිත ස්ථානයක් ලෙස ගැසට් කර තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය තුළ පුරාවිiා වටිනාකමකින් යුත් පෞරාණික දේපළ තිබුණා. මෙම දේපළවල තිබුණේ මූල්‍යමය වටිනාකම ඉක්මවා ගිය ඓතිහාසික වටිනාකමක්. ඒවා අපේ ඉතිහාසය සමග බැඳී තිබුණු ස්මරණීය සිහිවටන. ඒවායේ ගෞරවය හා වටිනාකම නොහඳුනන පිරිසක් ද අපේ රටේ අනාගතය බාර ගන්න මේ අරගල කරන්නේ කියන එක අද ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබෙනවා.

කථානායකතුමනි, නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මම මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව ‘උද්ඝෝෂණ පැවැත්වීමේ ස්ථානය’ ලෙස නම් කර ඇති භූමිය ඒ සඳහා කිසිදු ආකාරයකින් සුදුසු ස්ථානයක් නොවන බව පසුගිය කාලය තුළ සිදුවූ සිදුවීම් මගින් එය යළි යළිත් තහවුරු වී තිබෙනවා. විෂය භාර ඇමැතිවරයා ලෙස මගේත් අවධානය ඒ සඳහා යොමුවී ඇති බව මම මෙම ගරු සභාවට දන්වන්න කැමැතියි. එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථානය එතැනින් ඉවත් කර ඒ සඳහා වෙනත් සුදුසු විකල්ප ස්ථානයක් වෙන්කළ යුතුයි. මෙතන තියෙනවා විහාර මහාදේවි පාක් එක. එතන හොඳ එළියක් තියෙනවා. විපක්‍ෂ නායකතුමාගේ කාර්යාලයටත් ළඟයි. ඔබතුමාට නිතර සම්බන්ධකම් තියාගෙන ඒක පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා අතන ආර්ථික මර්මස්ථානයක් නිසා මේ රටේ සංචාරක ක්‍ෂේත්‍රයට බලපාන තැනක් නිසා පොදු ජනතාවගේ ස්ථානයක් නිසා එම ස්ථානයෙන් ඉවත් කරලා මෙතනට අරගලය එන්න ඕනේ කියන යෝජනාව මම මේ සභාවට ගේනවා. යහපත් අනාගතයත් උදාකරදීමට නම් රටේ සාමාන්‍ය ජන ජීවිතයට හා ආර්ථිකයට හානිදායක වන ක්‍රියාකාරකම්වලින් අත්මිදීම ඔවුන්ගේ වගකීමක් වන බව අවධාරණය කරනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල –

හදිසි නීති රෙගුලාසි ඉතාම බැරෑරුම්, ඕනම හමුදා රහස් පොලිස් නිලධාරියකුට වරෙන්තුවක් නැතිව ඕන අයෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්. දොරවල් කඩලා අල්ලන්න පුළුවන්. අපි මේ දරදඬු නීති ඉවත් කරන්න කතා කළා. අධිකරණයට ඉදිරිපත් නොකර අවුරුද්දක් තියා ගන්න පුළුවන්.

2019 න් පසුව මේ ආකාරයට හදිසි නීතිය පැන වූයේ නැහැ. හදිසි නීතියෙන් රට අස්ථාවරයි කියලා ලෝකය දකිනවා. අපේ රට අනතුරේ දැම්මා. ගෙවල් පිච්චුණු අයට ගැටලුවක් ඇති. ඒත් මුළු ලෝකයම අපි දිහා බලා සිටිනවා. ජනාධිපතිතුමා එදා අපට නිතරම කිව්වෙ ජාත්‍යන්තරය සමග එකට වැඩ කළ යුතු බව. වැඩ භාර අරන් පැය 24 ක් ඇතුළත අරගලයට ප්‍රහාරයක් එල්ල කළා.

රටේ අභ්‍යන්තරයේ සිදුවන දේට තානාපතිවරු නිවේදන නිකුත් කළේ නැහැ. ඒත් ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරයට ඔවුන් පුදුම වුණා. ආණ්ඩුව කරන වැරදි ගැන තානාපතිවරු කතා කළා. රට අද කබලෙන් ලිපට දාලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කරන නිලධාරි ගිවිසුම මාස කිහිපයකින් කල් ගිහින් කියලා ආරංචියි.

මේ වගේ ආණ්ඩු ජාත්‍යන්තරය පිළිගන්නෙ නැහැ. ජනාධිපති අගමැති පැනලා ගියා. කැබිනට් එක ගියා. පත්වූ අයට ජනවරමක් නැහැ. ජනරම අහෝසියි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා-

අද රටේ පොදු ජනතාව පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් නැති හදිසි පවතිනවා. පෝලිම්වල මැරී වැටෙන හදිසිය, නිවාස ණයක්වත් දීගන්න බැරි හදිසි පවතිනවා. බංකොළොත් ආර්ථිකයක්. දරුවන්ට පාසල් යන්න බැහැ. ප්‍රවාහනය නැහැ. ඖෂධ නැහැ. ශල්‍යකර්ම කරල හදිසි රටේ තියෙනවා. ගොවියාට පොහොර නැති හදිසි පවතිනවා. මේවා තමයි සත්‍යවාදී මහ පොළොවෙ හදිසිය. අද විවාද කරන හදිසිය තර්ජනය ගර්ජනය රාජ්‍ය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන හදිසියයි.

බොහොම සාමකාමීව අරගලයේ ජනතාව ක්‍රියාත්මක වුණේ. ප්‍රචණ්ඩත්වයේ මුල හිටපු අගමැතිතුමා, අරලියගහ මන්දිරය තුළින්. එය අමතක කරන්න එපා. අපි නොසිතු ආකාරයේ ජනබලවේගයක් නිර්මාණය වුණා. මමවත් හිතුවෙ නෑ ඒ තත්ත්වයක් ඇති වෙයි කියලා. අපි කවරදාවත් හිතුවෙ නෑ හැටනවලක්ෂයක් ගත්ත ජනාධිපතිවරයාට රටින් යන්න වෙයි කියලා. මේ කාරණාව 225 ම හිතට ගත යුතුයි. ගෙම්බෝ වගේ එහාට මෙහාට යන විට ජනතා අධිකරණයේදී මුහුණ දීමට සිදුවනවා. රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි ආකාරය ගැන විවේචන තිබෙනවා. නමුත් ඔහු අද ව්‍යවස්ථානුකූල ජනපතිවරයා. අපි එය පිළිගන්නවා. අපි දිවුරුම් දීමට එක් වුණා.

ආණ්ඩුව ම්ලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළා. එහෙම තැනකට අපි ආණ්ඩු කරන්න එක්වන්නේ නැහැ. මජර දේශපාලන සංස්කෘතියට අපි අත උස්සන්නෙත් නැහැ. ගෝඨා ගෝ ගම ආබාධිත රණවිරුවන්, මව්වරුන්, මාධ්‍යවේදීන්, ආබාධිතයන් හිටියා. සියලු දෙනාම ඉවත් වෙන බව දැනුම් දී තිබුණා. එසේ තිබියදී ඇයි රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළේ. මේක ගොං තීන්දුවක්. එකට වාඩි වෙලා අපේ දේශපාලනය නිරුවත් කරගන්න අපි සූදානම් නැහැ. නමුත් ජනතාව ජීවත් කරන ක්‍රියාවේදී අපි උපරිම සහාය ලබා දෙනවා. පාර්ලිමේන්තු කමිටු ක්‍රමය යටතේ එක්ව ජනතාවට සහාය දීමට අප සූදානම්.

ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන-

මේ රටේ තමන් කැමැති දේශපාලන මතයක්, ආගමික මතයක් දැරීමේ අයිතිය තිබෙනවා. එවැනි නිදහස අහිමි කරමින් විරුද්ධ මත දරන මන්ත්‍රීවරුන්ට ජීවිත හානි, නිවාස දේපළ හානි සිදු කළා.

පසුගිය කාලයේ සිදුවුණ සැලසුම් සහගත ක්‍රියාවක්. සෑම ගෙදරකම ජලය විදුලිය විසන්ධි කිරීම, ගිනි තැබීම ගැන සැලසුම් කරලා පුද්ගලයන් ඒකරාශී කරගෙන විනාශයන් සිදු කළේ. ලෝක ඉතිහාසයේ මෙවැනි දේ සිදු වී නැහැ.

ව්‍යවස්ථාදායකයේ 72 දෙනකුට උන්හිටිතැන් නැති වුණා. එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවාස ගිනිබත් කළා. ජීවිත සුළු කොට තකන්න එපා. ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න දිවුරපු මන්ත්‍රීවරු ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලට අනුබල දෙන්න එපා.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල – ව්‍යවස්ථාව හා ජනමතය පටලවා ගන්න එපා. ව්‍යවස්ථාව කඩකර රටක පැවැත්මක් නැහැ. ජනමතය තුළින් තමයි රටේ පාලන තන්ත්‍රය බිහිකර ගන්නේ. ව්‍යවස්ථානුකූලව එය සිදුවන්නේ.

රටේ තිබූ ආර්ථික අවශ්‍යතාවයන් ප්‍රයෝජනයට ගෙන සැලසුම් සහගතවයි මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව සිදුවුණේ. කරන අරගලයක් ව්‍යවස්ථාව ඇතුළත කරගත යුතු දෙයක්. අරගලයේ මුල් කාලයේදී ස්වාධීනකමක් තිබුණා. අප්‍රේල් 9 වැනිදා ඔවුන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දැක්කා. නමුත් සැලසුම් සහගතව මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. ව්‍යවස්ථාවෙන් පිට ගිහින් කරන ක්‍රියාවලට අනුබල දෙන්න එපා.

පත්කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ) – රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයා බවට පත්වී දරුණු ගනයේ නීති පනවනවා. ඔහු ආවෙත් පාර්ලිමේන්තුවෙන්. මෙය ක්‍රියාත්මක වීමෙන් බරපතළ තත්ත්වයක් රටේ ඇතිවෙනවා. මෙවැනි නීති ගෙන ආ යුත්තේ රටේ ආරක්‍ෂාව අනතුරේ තිබෙන විටකදීයි.

අද පවතින්නේ උද්ඝෝෂණ විරෝධතා පමණයි. ආර්ථික පීඩා නිසයි මේ තත්ත්වය ඇති වුණේ. බඩගින්න නිසයි ජනතාව පාරට ආවේ. එය ආරක්‍ෂාවට ප්‍රශ්නයක් නොවෙයි. ජනතාවගේ ප්‍රශ්න තවම විසඳලා නැහැ. ජීවනෝපාය නැතිවෙලා. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමාන කරන්න එපා. ජනතාවගේ ඉල්ලීම්වලට ආණ්ඩුව කිසිම සංවේදීතාවක් නැහැ.

පැය කිහිපයක් තුළ ඉවත්වෙන බව දැනුම්දී තිබියදී රජය විරෝධතාවට පහර දුන්නා. නීතිඥවරුන්ට, මාධ්‍යවේදීන්ට පහර දුන්නා. සමාජ මාධ්‍ය තුළින් ලෝක ප්‍රචාරයක් ලබාදුන්නා. මේ නිසා රටට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්නයක් ඇති වුණා. නැවත වතාවක් රටේ ජනතාවගේ ප්‍රශ්න ඇතිවීමට හේතු සොයනවා ද මන්ත්‍රීවරු 225 ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. අපි ඒ ගැන සංවේදී වන්නේ නැත්නම් ජනතාව පාර්ලිමේන්තුව ප්‍රතික්‍ෂේප කරාවි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ) – රටක නීතිය ශක්තිමත් කළ යුත්තේ ජනතාවගේ ජීවිත පවත්වාගෙන යාමටයි. හදිසි නීතිය අවශ්‍ය එම තත්ත්වය තවත් වැඩි කිරීමටයි. අද හදිසි නීතිය පනවා ඇත්තේ එවැනි දේකට නොවෙයි. පාලකයන්ගේ ආරක්‍ෂාවටයි.

අපේ රටේ දූෂිත පාලකයන් තරුණයන්ගේ නව සිතුම් පැතුම් පාගාගෙන ක්‍රියා කරනවා. අපි එය හෙළා දකිනවා. ජනතාව පෝලිම්වල. ජන ජීවිත කඩාවැටිලා. රාජපක්‍ෂවරු ඔවුන්ගේ ඉත්තෙක් දාගෙන රට කරන්න පියවර අරන්. 69 ලක්‍ෂයක් ඡන්දය ගත් ජනපති ගෙදර යවලත් පාලකයන් තාම යථාර්ථය තේරුම් අරන් නෑ.

දැන් රටේ ජනතාව මිලියන 22ක් ඉන්නේ අරගලයේ බව ජනාධිපති තේරුම් ගත යුතුයි. අරගලයේ ඉන්න අයට විරුද්ධව පොලු මුගුරු ගන්න එපා කියලා හමුදාවෙන් පොලිසියෙන් ඉල්ලනවා. අරගලයට පහර දුන්නොත් ජනතාව නිකම් ඉන්නේ නැහැ. මැදපෙරදිගින් එය බලාගන්න පුළුවන්. වෙන අරමුණු නිසා සමගිය නැති කරන්න එපා. ලබන 9 වැනිදා මුළු ලංකාවම එකට එකතුවී අරගලයේ අවසන් අරමුණ ඉටුකරමු. දූෂිතයන්ගෙන් රට බේරා ගමු. රට

ගොඩගැනීමට අලුත් බලවේගයක් ඇති කරගත යුතුයි. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් ඉඩ ලබාගත යුතුයි.

මේ වනවිටත් රටේ උගතුන් විශාල පිරිසක් අරගලය පිටුපසින් සිටගෙන ඉන්නවා. සංවිධාන දහස් ගණනක් එක්වෙනවා. අරගලය රට ජයග්‍රහණය කරන තෙක් ඉදිරියට ගෙනියන්න. අත්අඩංගුවට ගැනීම් හරහා ජනතාව මර්දනය කිරීම් නවත්වන්න. අපේ ආණ්ඩුවක් හරහා එවැනි අයට සහන සලසන්න පියවර ගන්නවා. අපි ඉක්මනින් බලයට එනවා. ගුවන්තොටුපළේදී තරුණයා අත්අඩංගුවට ගැනීම පිළිකුල් සහගතයි. එවැනි පොලිස් නිලධාරීන්ට තමාගේ අනාගතය අඳුරු කරගන්න එපා කියලා ඉල්ලනවා. නීතිය අතට ආවාම දැලි පිහිය අතට ගත්ත වඳුරෝ වගේ හැසිරෙන්න එපා කියලා ඉල්ලනවා.

අගමැතිතුමාට සුබ පැතුවා ඔහුට ජනපති වෙන්නත් ඉදිරියේදී හැකිවෙනවා. පුටු මාරු වෙන්නේ අරගලයට පිං සිදුවන්නයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ – මේ වගේ අර්බුදකාරී තත්ත්වයන් පාලනය කරන්න පුළුවන් සුජාත පාලන තන්ත්‍රයකට. මේ පාලනයට ඒ සුජාතභාවයක් නැහැ. නමුත් මේ පාලනය ව්‍යවස්ථානුකූලයි. රටේ ඇති වූ දැඩි පීඩනය මත ඇතිවූ අරගලයේ ප්‍රතිඵල මත ජනපති ඉවත්ව ගියා. ගෝඨා ගෝ හෝම් අපි හිතුවෙ ඉවරයි කියලා. ඒත් තවම ඉවර නැහැ. දැන් ලබන 9 වැනිදාත් තවත් ගෝ හෝම් එකක් එනවලු. දැන්වත් රට හදන්න ඉඩ දෙන්නෙ නැද්ද කාවද ඕන කියලා කියන්න හැමෝම එළවන්නෙ නැතිව.

මෙතන තියෙන්නේ රාජ්‍ය බිඳවැට්ටවීමයි. ඒවට ඉඩ දෙන්න බැහැ. මම විපක්‍ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් ඊට ඉඩදිය යුතු නැති බව කියනවා. රනිල් වික්‍රමසිංහ සමග මට තියෙන ප්‍රශ්න විසඳාගත හැකියි. ඒත් රට වැටෙන්න දෙන්න බැහැ. මුලින්ම 73 දෙනකුගේ ගෙවල් ගිනි තියලා මන්ත්‍රීවරු මානසිකව වැට්ටුවා. හාමුදුරුවරුන්ට, කලාකරුවන්ට මානසික පීඩා ඇති කළා. මානසික බාධා ඇති කරලා පාර්ලිමේන්තුව ඇල්ලුවා නම් අද පාර්ලිමේන්තුවක් නැහැ. ජාතික රාජ්‍ය බිඳවට්ටන්න දීම ජාතික අපරාධයක් රටක් අරාජික වීමට ඉඩදිය යුතු නැහැ. අපි අතර මොන වාද බේද තිබුණත් රාජ්‍ය බිඳවට්ටන්න ඉඩදිය යුතු නැහැ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම – ගෝඨාභය රාජපක්‍ෂ දාන්න එපා කියලා කෑගහලා කිව්වෙ මම. මම දැක්කා ඔහුට කරන්න බැහැ කියලා. මගේ දේශපාලන දිවියට අවුරුදු 40ක් වෙනවා. ත්‍රස්තවාදය ගැන මම හොඳින්ම දන්නවා. තරුණයන්ව ඉදිරියට දාලා පිටිපස්සේ ඉන්නෙ ත්‍රස්තවාදී නායකයෝ එදා 88/89 ත්‍රස්තවාදී නායකයන්ගේ පිටුපස හිටපු අය අද ඉන්නේ.

මම ගෙදර යන්න ගියවිට කොට්ටාවේදී තුන්හාරසීයක් පමණ වටකර ගැහුවා. මගේ ආරක්‍ෂකයාටත් ගැහුවා.

225 න් එකෙක් මූව මරන්න ඕන කියලා පිරිස කිව්වා. වාහනය ගිනිතිබ්බා. තරුණයන් කිහිප දෙනෙක් මාව වාහනයෙන් එළියට ඇදලා ගත්තා. පහර දුන්නා. ඇඳුම් ගැලෙව්වා. තව විනාඩි දෙකක් හිටියා නම් වාහනය ඇතුළේ මිය යනවා. කවුද කළුතර තරුණයෙක් මේ වෙල්ගම මහත්තයා කියලා ත්‍රීවීල් එකක දමාගෙන රෝහලට ගෙන ගියා. එදා මැරුණා නම් ශෝක ප්‍රකාශ කරයි. මේ වගේ දේවල්වලට ඉඩ දෙන්න බැහැ. මට ගහපු තරුණයන් ගැන දුකයි. ඔවුන්ට හිරිහැර කරන්න එපා. ඔවුන් පිටුපස ඉන්නේ ත්‍රස්තවාදී නායකයන්. ත්‍රස්තවාදී නායකයන්ට ඔළුවට උඩින් යන්න දෙන්න බැහැ. අරගලයට ආවේ හොඳ මහත්තුරු ඒ අතරේ ත්‍රස්තවාදී නායකයන්ගේ ගෝලයෝ ඇවිත් විනාශ කළා.

මේකට මුහුණ දෙන්න පුළුවන් හොඳ නායකයෙක් තෝරාගෙන ඉන්නවා. ඩලස් මිත්‍රයෙක්. ඒත් ඔහුට ත්‍රස්තවාදීන් කියන විදිහටයි වැඩ කරන්න වෙන්නේ. අපි රට ගැන හිතලා සර්ව පාක්‍ෂික රජයක් පිහිටු විය යුතුයි. රනිල් මහත්තයා හරියට කළොත් ඔහුට ජනතාවගේ ආශිර්වාදය ලැබෙයි.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා (සජබ) – මමත් මැයි 9 වැනිදා නූලෙන් බේරුණා පොලු පහර කන්න ගිහින්. අපි මේවා අනුමත කරන්නේ නැහැ. ඒත් අරගලයට හේතු තියෙනවා. වෙනසක් ඉල්ලන්නේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක – මේ රට බංකොලොත්භාවයට පත් කළ අය ඉන්නවා. අද මේ තත්ත්වයට රට පත්වීමට ඔවුන් වගකිව යුතුයි. මූල්‍ය කළමනාකරණ පනතෙන් හෝ ඔවුන්ට දඬුවම් දිය යුතුයි.

අද විදුලිබල ඉල්ලුම සියයට 20 කින් බැහැලා. ඊට හේතුව රටේ ව්‍යාපාර කර්මාන්ත ක්‍ෂේත්‍රයේ කඩාවැටීමයි. එය ඉතා භයානක තත්ත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට ආණ්ඩු බලය ගන්න ඉන්නවා නම් එය පරාජය කළ යුතුයි. එහෙත් ප්‍රශ්න විසඳුවේ නැත්නම් තව තවත් අරගල වැඩිවේවි. වහාම ප්‍රශ්න විසඳන්න පියවර ගත යුතුයි.

රනිල් ධර්මසේන සහ අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment