‘පිච්චි’ මට ආශිර්වාදයක් – උමා අසෙනි

646

ඇය අපට මුලින්ම හමුවන්නේ ගී පද රචිකාවක් ලෙසිනි. සනුක වික‍්‍රමසිංහ ගේ පෙරවදනක් , නදීමාල් පෙරේරා ගේ නුරා වසන්තේ ආදී අතිශය ජනපි‍්‍රය වුණු ගීත කිහිපයක් අලූත් පරම්පරාවට තිළිණ කළ ඇය දක්‍ෂ නිවේදිකාවක්ද වන්නීය. නමින් උමා අසෙනි වූ ඇය අද දවසේ අපට හමුවන්නේ මාණික්කාවතේ පිච්චි ලෙසිනි. උමා මාණික්කාවතේ පිච්චි ගැන අප සමග මෙලෙස කතා බහක නියැළුණාය.

 * මාණික්කාවතේ පිච්චිට උමාට ලැබෙන්නේ මොනව ගේ ප‍්‍රතිචාරද?

 දැනට ඇත්තම කියනවානම් නාට්‍ය ආරම්භ කරලා ටික දවසයි. ප‍්‍රතිචාර නම් ඉහළයි. සතුටුයි ඉතිං.

 * උමාට, පිච්චිව මුණ ගැසුණේ කොහොමද?

 ඒකට මම ස්තූති කරන්න ඕනෑ ජගත් චමිල අයියාට වගේම නාරද තොටගමුව අයියාට. මොකද ඒ දෙන්න තමයි මාව සුගත් සර්ට නිර්දේශ කරලා තියෙන්නේ. මම මීට කලින් සුගත් සර් එක්ක වැඩ කරලා නැහැ. ඒ වගේම සුගත් සර්ව දන්නෙත් නැහැ. ඉතිං ඒ දෙන්නාගේ නිර්දේශය මත දවසක් සහාය අධ්‍යක්‍ෂ චමින්ද උඩවෙල මහතා මට දුරකථන ඇමතුමක් දෙනවා ස්වාධීන රූපවාහිනියට පැමිණෙන්න කියලා.

 * ඊට පස්සේ මොකද වුණේ?

 එතැනට ගියාට පස්සේ ඔවුන් මා සමග කතා කරලා චරිතය පැහැදිලි කරලා මගෙන් ඇහුව්වා කැමතිද චරිතය භාරගන්න කියලා. ඊට පස්සේ මම ඒ මොහොතේම කියනවා මට මේ චරිතය කරන්න පුළුවන් කියලා. නාරද අයියාගේ සහ ජගත් අයියාගේ වචනය මත ඒ වෙලාවේ මම චරිතය භාරගත්තු විදිහත් එක්ක තමයි සුගත් සර් කැමැති වෙලා ඒ චරිතය මට භාර දෙන්නේ.

 * පිච්චි ඔබට අභියෝගයක් කියලා හිතුණේ නැතිද?

 ඒක මට අභියෝගයක් කියනවාට වඩා මම සලකන්නේ ආශිර්වාදයක් විදිහට. මොකද හැම මොහොතකම හැම තැනකදීම අපි අපේ ජීවිතයට යමක් එකතුකර ගන්නවා නේ. ඒ වගේ ආශ‍්‍රයක් යටතේ වැඩ කරන්න ලැබීම අභියෝගයක් කියනවාට වඩා ආශිර්වාදයක් කියලයි මට හිතෙන්නේ.

‘පිච්චි’ මට ආශිර්වාදයක් - උමා අසෙනි



 * රූගත කිරීම්වලදී අධ්‍යක්‍ෂවරයාගෙන් බැණුම් අහපු අවස්ථා එහෙම නැතිද?

 අනේ ඇත්තටම සර් එහෙම බනින්නේ නැහැ. මම අහල තියෙනවා සුගත් සර් ටිකක් සැරයි බනිනවා කියලා. හැබැයි මොකක්දෝ වාසනාවකට තවමනම් බැනුම් අහලා නැහැ.

 * පිච්චිට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා හිතුවාද?

 මම චරිතය භාරගන්න කොට තිබුණේ බයක් නෙමෙයි අභියෝගයක් භාර ගැනීමයි සිදුකළේ. ඉතිං

 සාර්ථකත්වය කියන දේ ගැන මට තීරණය කරන්න බැහැ. මම හිතනවා මම ඒ මොහොතේදී රූගත කිරීම් සිදුකරන හැම අවස්ථාවකදීම පිච්චිට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න බලනවා. සාර්ථක අසාර්ථක භාවය තීරණය කරන්න වෙන්නේ පේ‍්‍රක්‍ෂකයාට තමයි.

 * උමා අසේනි පිච්චිට කලින් රූපවාහිනියෙන් දුටුවාද?

 මම ගොඩක් ටෙලිවලින් එළියට ආවා අඩුයි. 2017 වසරේ තිළිණ බොරලැස්සගේ අපි කඳුළු ටෙලි නාට්‍යයේ තමයි මුලින්ම රඟපෑවේ. හැබැයි ඒක තවම විකාශනය වුණේ නැහැ. ඊට පස්සේ ඔහු ගේම ආන්‍යා කියන ටෙලි නාට්‍යයටත් දායක වුණා. ඒකත් විකාශනය වුණේ නැහැ. එතැනින් පස්සේ ඔහුගේ නෝ පාර්කින් එකේ මමයි ජගත් අයියයි වැඩ කළා. ඒකෙ එකතැනකදී මම ඉවත් වෙනවා. බස් එකේ ඉස්කෝලේ වැඩ කළා. ප‍්‍රධාන චරිතයක් කළේ මේනක අයියගේ තිලිසා කියන ටෙලි නාට්‍යයේ.

 * උමා අසේනි කියන්නේ ගී පද රචිකාවියක්ද?

 ඔව්. මාව මිනිස්සු අඳුරගන්නේ පෙරවදනක් ගීතයෙන්. මේ වෙනකොට පෙර වදනක්, නුරා වසන්තය ඇතුළුව ගීත විස්සක් විතර ලියලා තියෙනවා. ඉදිරියට ගීත දහයක් විතර රිලීස් වෙන්න තියෙනවා. කොරෝනාවත් එක්ක සෑහෙන දේවල් නැවතුණා.

 * සනුක, නදීමාල් වගේ අයට විතරද ගී පද රචනය සිදුකරන්නේ?

 අනේ මම එහෙම තෝරලා බේරලා වැඩ කරන්නේ නැහැ. මම සනුකලාව දන්නවා. ඒ සිරස ටීවී ආයතනයේ නිවේදිකාවක් විදිහට වැඩ කරන කාලයේ මම කරපු වැඩසටහනකට සනුක ආවා. ඒ ආපු වෙලාවේ ඇතිවුණ යාළුකම මත මම ලියපුවා ගැන කතා වුණා. පස්සේ මම ලියපු කවි ටික සනුකට දැම්මා. පස්සේ සතියකට විතර පස්සේ සනුකගෙන් මැසේජ් එකක් එනවා අක්කේ ඔයා ලියලා තිබුණ එකකට මම මෙලඩි එකක් දැම්මා කියලා. ඒ පෙරවදනක්. මම සින්දුවක් කරන්න හිතාගෙන ලියපු වචන නෙමෙයි ඒ. නමුත් සනුක තමයි ගීතයක් විදිහට අරගත්තේ. ඊට පස්සේ සනුක හින්ද නදීමාල් අඳුර ගත්තේ.

 * පෙරවදනක් ඔබේ ජීවිතේ අත්දැකීමක්ද?

 ඔව්.

 * ඔබේ වෘත්තිය රංගනයද?

 නැහැ… නැහැ… මගේ වෘත්තිය රංගනය නෙමෙයි. මම සේවය කළේ දැන්වීම් කර්මාන්තයේ. මේ වෙනකොට මම දැන්වීම් අංශයෙනුත් ඉවත්වෙලා ලිවීමට යොමුවෙලා ඉන්නවා. ඊට අමතරව ආහාර විකිණීමකුත් සිද්ධ කරගෙන යනවා.

 * නිවේදන භූමිකාවට මොකද වුණේ?

 නිවේදනයට සමුදීලා නැහැ. මොකද මාණික්කාවත හින්දා කරන්න හිටපු වැඩ කිහිපයක් ආපස්සට ගියා.

 * උමාගේ පවුලේ විස්තර?

 මගේ අම්මයි තාත්තයි, නංගියි, මල්ලියි, මමයි. අම්මා විශ‍්‍රාමික නර්තන ගුරුවරියක්. තාත්තා චිත‍්‍ර ශිල්පියෙක්. ඔහු දැනට සෞන්දර්ය කලා විශ්වවිiාලයේ දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපති විදිහට කටයුතු කරනවා.


  දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment