පිටරටවල මෙන් පැවරුම් ඔප්පුවට ඇඟිලි සලකුණ අනිවාර්ය කරනවා – අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ

251

විදෙස් රටවල මෙන් පැවරුම් ඔප්පුවක් පැවැරීමේදී පැවරුම්කරුගේ සහ පැවරුම්ලාභියාගේ අත්සන්වලට අමතරව ඇඟිලි සළකුණ තැබීම අනිවාර්ය කරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී 19 දා පැවැසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (19 දා) පෙරවරු 9.30ට ආරම්භ කෙරිණි.

ප්‍රථමයෙන් ලිපි ලේඛන, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. ඉන්පසුව, නොතාරිස් (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමැති පත්‍ර (සංශෝධන) සහ වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් 05ක් පිළිබඳ විවාදයට ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින්, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා :

අද මම පනත් කෙටුම්පත් 05ක් පිළිබඳ සංශෝධන ඉදිරිපත් කරනවා. වසර ගණනාවක් පටන් මෙම සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාවන් පැන නැඟුනා. නොතාරිස්වරුන් විසින් සහතික කරන ඔප්පු පිළිබඳ අධිකරණයේ ප්‍රශ්න තිබෙනවා. අත්සන් වගේම නොයෙකුත් ආකාරයේ වංචා සම්බන්ධව වාර්තා වෙනවා. වංචනික ඔප්පු පිළිබඳ පැමිණිලි රාශියක් තිබෙනවා. ඔවුන්ගේ පළපුරුද්ද සහ අත්දැකීම් පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. වසර දහයකට වැඩි වෘත්තියේ නියුතු අයකුගෙන් සහතික ලබා ගත යුතුයි කියන සංශෝධනය අපි ඇතුළත් කරනවා. ඒ වගේම නොතාරිස්වරුන්ගේ වැරදි සම්බන්ධයෙන් දඩය රු.1,500 සිට රු.15,000 දක්වා වැඩි කරනවා. ඒ වගේම ඔප්පු සකස් කිරීමේදී පැවරුම්කරුගේ අත්සනට අමතරව ඇඟිළි සළකුණ තැබීම සිදු කළ යුතු බවට යෝජනා ගෙනෙනවා. විදෙස් රටවල් මෙය අනුගමනය කරනු ලබනවා. ඒ වගේම ඇටෝනි බලපත්‍ර පිළිබඳවත් සහ වංචා වැළැක්වීමේ පනත කියන මේ පනත් පහේම සංශෝධන තිබෙනවා. මේ පනත් එකිනෙකට සම්බන්ධයි. මේ පනත් සම්මත කිරීමෙන් අපේ රටේ දේපළ පිළිබඳ වංචනික ක්‍රියා සියයට අනූපහකින්වත් අවම කිරීමට හැකි වෙනවා. වංචනික ක්‍රියා කිරීමට නීතියේ හිල් වහලා දමනවා. ඒ සඳහා සියලුදෙනාගේ සහාය බලාපොරොත්තු වෙනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය (සජබ) :

දීර්ඝ කාලීනව සිදුවිය යුතු සංශෝධන තමයි මේ ඉදිරිපත් කර තිබෙන්නේ. හිටපු ඇමැති දීර්ඝ ලෙස ඒ පිළිබඳ කටයුතු කර කමිටු පත් කරලා යෝජනා ලබා ගෙන තිබෙනවා. වත්මන් ඇමැතිවරයා ඒ කටයුතු ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. මේ දේපළ සම්බන්ධව ඇත ිවන වංචා නිසා පුදුමාකාර ලෙස ජනතාව පීඩාවට පත් වෙනවා. ඒ වගේම මේවායේ ගාස්තු සංශෝධනය කිරීමක් කොට තිබෙනවා. ඒ පිළිබඳ අපි සතුටට පත් වෙනවා. කාලානුරූපි ලෙස එය වෙනස් කිරීම කළ යුතුයි. අන්තිම කැමැති පත්‍ර සකස් කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා. සාමාන්‍යයෙන් අන්තිම කැමැත්ත ලියන්නේ යමක් කමක් තිබෙන අයයි. ඒ සඳහා අදාළ ගාස්තු වැඩි විය යුතුයි. ඇටෝර්නි බලපත්‍ර ලබා දීමේදී කර තිබෙන සංශෝධන ඉතාව වැදගත්. ඇටෝර්නි බලපත්‍රයක් දුන්නහම තමන්ට හිතෙන හිතෙන දේවල් කරන්න පුළුවන් තත්ත්වයක් තමයි කලින් තිබුණේ. දැන් එය සංශෝධනය කිරීම පිළිබඳ සතුටු විය හැකියි. නොතාරිස් පනත සංශෝධනය කිරීමත් වැදගත්. මේ සංශෝධන කළ යුතුයි. අපේ සමහර දඩ බැලුවොත් ඉංග්‍රීසි සමයේ ගෙන එන ලද ඒවායි. ඒ නිසා ඒවා සංශෝධනය විය යුතු වෙනවා. ඔප්පු සඳහා ඇඟිලි සළකුණු ඇතුළත් කිරීමත් හොඳ දෙයක් ලෙසයි අප දකින්නේ. ඒ වගේම ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බහුල වශයෙන් වංචා වෙනවා. ඒවා ගැන ආණ්ඩුව සැලකිලිමත් වීම කළ යුතුයි. මේ තැන් වලින් ජනතාවට ලබා දෙන සේවය හරියට කළ යුතුයි. ඒවා අධීක්ෂණය විය යුතුයි. මේ සංශෝධන වලට අපි කිසිම පැකිලීමකින් තොරව සහාය දෙනවා.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා:

ඇටර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම එදා අනිවාර්ය නැහැ. එවිට වංචා දූෂණ වෙන්න ඉඩකඩ වැඩි වුණා. දැන් එම වංචා අඩු කිරිමට පියවර ගෙන තිබෙනවා. බලපත්‍ර ලියාපදිංචිය අනිවාර්යයි. ඔප්පු, තෑගි ඔප්පු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි.

අද සම්මත කරන පනත් පහම සංශෝධනය කිරීම ඉතා වැදගත්.

මත්ද්‍රව්‍ය පනත අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි. මත්ද්‍රව්‍ය විවිධ ආකාරයෙන් එනවා. පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මකයි.

විදේශ ඇමැති අලි සබ්රි

මම අධිකරණ ඇමැති ලෙස ඉන්න විට විවිධ නීති සංශෝධන 77 ක් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා. හිටපු අධිකරණ ඇමැතිවරු කළ හොඳ වැඩ මම ඉදිරියට ගෙනගියා. දැන් හොඳ නීති සංශෝධන ඉදිරියේදී සිදු වෙනවා. ශතවර්ෂයක පමණ කාලයක් සිදු නොවූ නීති සංශෝධන ඉදිරියේදී සිදු වෙනවා. එයින් නීති ක්‍ෂේත්‍රයට ඉතිහාසගත වටිනාකමක් ලැබෙනවා.

විවාහ නීතියට අලුත් නීති එනවා. ක්‍ෂේත්‍ර 80 ක පමණ සංශෝධන ඇති වෙනවා. ඒ සඳහා නීතිඥවරු දිවා

රෑ නොබලා ස්වෙච්ඡාවෙන් කටයුතු කළා.

අපට යමක් කරන්න ඕනකමක් තියෙනවා නම් ඒවා සාර්ථක කර ගන්න උගතුන් වියතුන් ඉදිරිපත් වෙනවා. නීති සංශෝධනවලට ලැබුණු සහාය අති විශිෂ්ටයි. ඉදිරියටත් නීති ක්‍ෂේත්‍රයේ වෙනසක් කිරීමට අපි හැමෝම එක්ව ක්‍රියා කරමු.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රීලපොපෙ)

වංචාවලට හසු වන්නේ යමක් කමක් කරගන්න බැරි අය විතරක් නොවෙයි. ධනවතුන්ගේ මුදල් පවා වංචාවලට අහුවෙනවා. අපේ රටේ සමහර නීතිවලින් වැරදිකරුවන්ට රිංගා යෑමට ඉඩ ලැබෙනවා.

වංචා දූෂණ වැළැක්වීමට අණපනත් වගේම ජනතාව දැනුවත්වීමත් අත්‍යවශ්‍යයි. එසේ වුවහොත් ජනතාවට

ගැටලු අඩු වේවි. ජනමාධ්‍ය තුළින් හෝ අධ්‍යාපනය තුළින් ද දැනුවත්කිරීම අත්‍යවශ්‍යයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර

ලැජ්ජාව හා භය තියෙනවා නම් වැරදි වැඩ කරනවා අඩුයි. අපි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එහෙත් ලජ්ජාව භය ඇති සමාජයක් ඇති කළ යුතුයි. එය ඉතිහාසයෙත් සත්‍ය බව පෙන්වා තිබෙනවා.

අද වර්තමානයේ විවිධ වංචා සිදු වෙනවා. ඒ වගේම අන්තර්ජාල මගින් වංචා සිදු වෙනවා. ඒවා වැළැක්වීමට වර්තමානයට ගැළපෙන පරිදි නීති වෙනස් විය යුතුයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි (සජබ)

හොර ඔප්පු සැදීම අද බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුවේ ඉඩම් හොර ඔප්පු හදලා වංචා කරලා, ප්‍රශ්න වැඩි වෙලා. එකම ඉඩම කිහිප දෙනකු අතරේ විකිණිලා. මෙය අධිකරණයට ගිහින් ප්‍රශ්නය විසඳන්න නීති නැහැ.

නඩුවක් දැම්මාම නඩුව අවුරුදු ගාණක් ඇදෙනවා. ඒත් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නැහැ. මේ ගැන යම් වැඩපිළිවෙළක් හදන්න පියවර ගන්න.

අනාගත පරපුර දුර්වල වුණොත් රටේ අනාගතය අවසානයි. තරුණ පරපුර මත්ද්‍රව්‍යවලින් වෙලිලා. මේ ගැන වහාම ක්‍රියාමාර්ග ගන්න. කොච්චර ඇල්ලුවත් ගම්වල මත්ද්‍රව්‍ය පිරිලා. තරුණ පරපුර ඉවරයි. ගම්වල දෙමාපියෝ අඬනවා.

රාජ්‍ය ඇමැති මොහොන් පී. සිල්වා

මේ රටේ ඉඩම් ඔප්පුවලින් සියයට 40 ක් 50 ක් විතර ව්‍යාජ ඒවා. උප්පැන්නවලත් සියයට 20 ක් විතර ව්‍යාජ ඒවා. මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා. ව්‍යාජ ඔප්පු හදලා ජනතාව අමාරුවේ දාන එක නවත්වන්න නීති ගෙනැවිත් තියෙනවා.

ප්‍රකාශන ඔප්පු හදන්න නියම වටිනාකමට මුද්දර

ගහන්නේ නැහැ. ප්‍රකාශන ඔප්පුවට වටිනාකමක් දී නියමිත මුද්දර ගාස්තුවක් අය කරන්න.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න (සජබ)

වංචා වැළැක්වීමට නීති සංශෝධන කිරීම වැදගත්. හරියටම වංචා සොයා බලා ඒවාට වැට බැඳෙනවා නම් හොඳයි මූල්‍ය වංචාවලින් නිදොස් කොට නිදහස් වූ යුගයක් අපි දැක්කා.

ලංකාව පුරා තරුණ පරම්පරාව දැවැන්ත ලෙස මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙමින් පවතිනවා. පාසල් මට්ටමින් ක්‍රියාත්මකයි. ඒවා වළක්වා දරුවන් දැනුවත් කිරීම කඩිනමින් අවශ්‍යයි. ජාවාරම්කරුවන් විවිධ බලවේගවල සහාය ඇතිව නිදහස් වී යනවා. අල්ලගත්ත අය නිදහස් වෙනවා. ඒවා නිවැරදි විය යුතුයි.

සිරගත වන සාමාන්‍ය සිරකරුවන් එළියට එන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෝලයන් වෙලා. ඒවා වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගත යුතුයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න (ශ්‍රීලපොපෙ)

මත්ද්‍රව්‍යවලට අදාළ නීති වෙනස් කිරිමට හැකියාව ලැබී තිබෙනවා. විශේෂයෙන්ම අයිස් මත්ද්‍රව්‍යවලට නීති අවශ්‍යමයි. ගමත් ආක්‍රමණය කර තිබෙනවා.

අක්කර 48 ක බන්ධනාගාරය පරිස්සම් කරගන්න බැරි අපට රටක මත්ද්‍රව්‍ය තුරන් කරන්නෙ කොහොමද? විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මිනිස්සුන්ගෙන් බදු ගහලා වැටුප් පවා ගෙවනවා. ඒත් අපට නීතිය ක්‍රියාත්මක කරගන්න බැරිවෙලා.

මත්ද්‍රව්‍යලෝලියාව අත්අඩංගුවට ගන්නවාට වඩා එහා

ගිය මහා පරිමාණ ජාවාරම්කරුවන් ගන්න බැරි ඇයි. මත්ද්‍රව්‍ය වැටලීම්වල ගැටලු පවතිනවා. දුරකතන දත්ත විශ්ලේෂණය කිරීමෙන් තොරතුරු රැසක් ලබාගත හැකි වුවත් පරීක්‍ෂණ කොතනින් නතර වනවාද කියා ප්‍රශ්නයක්.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් (සජබ)

මත්කුඩු ගහන කෙනා හිරේට ගියාම එළියට එන්නේ කුඩු ව්‍යාපාරිකයෙක් වෙලා. මේවා ගැන වහා සොයා බැලීමක් අවශ්‍යයි.

22 වන සංශෝධනය පාර්ලිමේන්තුව විවාද කරනවාද නැත්ද යන්න කියන්න. තවම ස්ථිර තීරණයක් නැහැ. කරුණු දෙකක් නිසා ප්‍රශ්න ඇතිවෙලා. ද්විත්ව පුරවැසිභාවය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය පිළිබඳව. මේ ප්‍රශ්න ඇති කරන්නේ කවුද? කපුටෙක් ද වෙනත් සතෙක් ද කියා දැනගන්න කැමැතියි.

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා

මත්ද්‍රව්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර සිරගත වී එළියට ආවාට පස්සේ නිදහසේ යළිත් ඒ ව්‍යාපාරය කරනවා. එනිසා එවැනි අය ගැන පසුවිපරමක් කරන්න.

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන මාධ්‍ය සංදර්ශනයක් පවත්වන්නේ නැතිව ඒ ගන්න ඒවා ගැන

පසුවිපරමක් කිරීමත් අත්‍යවශ්‍යයි. අද ඉතා භයානක තත්ත්වයකට පාසල් දරුවන් ලක්වෙලා. නගරයට වඩා ගම්බද දරුවන් ද මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙලා. අයිස් මත්ද්‍රව්‍යයට ගොදුරුවීමේ භයානක තත්ත්වයක් තිබෙනවා. පාසල් දරුවන් ගැන වැඩි අවධානයක් අවශ්‍යයි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි (සජබ)

නීතිය ක්‍රියාත්මක වීමේදී පිරිසිදුභාවයක් තිබිය යුතුයි. වංචා, දූෂණවලට හවුල් පිරිස් එළියට එනවා. අරගලයට එක්වූ ශිෂ්‍ය නායකයන් ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන. රටේ ජනතාවට තමන්ගේ ප්‍රශ්න ගැන කියන්න විදිහක් නැහැ. නීතිය හරස් වෙලා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත (ශ්‍රීලපොපෙ)

මත්ද්‍රව්‍ය සඳහා නීති පැනවීමේදී නීතියේ සිදුරු ඇතිනොවන ලෙස ඉදිරියේදී අලුතෙන් එන ඕනෑම මත්ද්‍රව්‍යයක් සඳහාම ගැසට් නිවේදනයක් මගින් නීති පැනවීමට හැකිවන පරිදි පනත සංශෝධනය කරන්න ඇමැතිට යෝජනා කළා.

ඇටෝර්නි බලපත්‍ර, අන්තිම කැමැති පත්‍ර, ඔප්පු ආදිය මගින් වංචා සිදුවීම වැළැක්වීමට නව නීති ප්‍රයෝජනවත් වෙනවා.

පත්කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ)

අපි රටක් ලෙස ඉතා කනගාටුදායක තත්ත්වයක ඉන්නේ. අපේ උරුමය මත සංස්කෘතිය මත ගොඩනැඟුන සමාජය නැතිවෙමින් පවතිනවා. ආණ්ඩුවෙන් ආණ්ඩුවට තීරණ වෙනස් වෙනවා.

මේ රටේ ජනතාව පාගා දැමීමට සුද්දා ඇතිකළ අධිකරණ පද්ධතිය වෙනුවට රටට හිතකර, රටට අවශ්‍ය අධිකරණ පද්ධතියක් ඇති කරන්න.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සරත් කුමාරසිරි (ශ්‍රීලපොපෙ)

අද අසරණ මිනිස්සුන්ගේ මුදල් වංචා කරන විශාල පිරිසක් රටේ ඉන්නවා. ඔවුන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

අද මත්ද්‍රව්‍ය හැමතැනම පැතිරිලා. විලච්චිය, අනුරාධපුරය වැනි ප්‍රදේශවලත් පවතිනවා. පනත් සංශෝධනය වගේම නීතිය ක්‍රියාත්මක වීමත් අත්‍යවශ්‍යයි. හදන පනත්වල වටිනාකමක් ලැබෙන්නේ එම නීතිය ක්‍රියාත්මක වීම තුළයි. ඒ නිසා වහාම ඒ ගැන අවධානය යොමු විය යුතුයි.

රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි

අද සම්මත කරන සංශෝධනවල මුල් පනත් වසර සිය ගණන් පරණයි. ඒවා යාවත්කාලීන විය යුතුයි. ඒ වගේම පනත් නීතිවලින් රිංගා යෑමට සිදුරු ඇතිවෙලා. ඒවා වසා දමා කිසිදු වැරදිකරුවකුට රිංගා යෑමට නොහැකි වන පරිදි නීති සැකසිය යුතුයි.

පනත්කෙටුම්පත සම්මත විය. පාර්ලිමේන්තුව අද (20 දා) පෙරවරු 9.30 ට යළි රැස්වෙයි.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

නීති විද්‍යාලයීය විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කළ යුතු බවට ගෙන ඇති තීරණය – තීන්දුවක් ගන්න කෙටි කාලයක් දෙන්න

  • අධිකරණ ඇමැති කියයි

ඉංග්‍රීසි අධ්‍යාපනය පෙර පාසලේ සිටම හැදිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

නීති විද්‍යාලයේ විභාග පැවැත්වීම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කළ යුතු බවට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නැවත නීති අධ්‍යයන කවුන්සලය සමග සාකච්ඡා කොට යම් තීන්දුවක් ගැනීමට කෙටි කලක් දෙන්නැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) සඳහන් කළේය.

එම විද්‍යාලයේ භාෂාව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වූ අවස්ථාවේදී එහිදී ඇතිවූ සංවාදය මෙසේය.

හේෂා විතානගේ මහතා – නීති විද්‍යාලයේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන්ම අධ්‍යාපනය හැදෑරිය යුතුයි කියලා ගැසට්ටුවක් නිකුත් කෙරුණා. නමුත් දරුවන් විශාල පිරිසක් මේ වනවිට ඉල්ලීම් කරනවා තමන්ගේ මව් භාෂාවෙන් පෙනී සිටින්න අවස්ථාව දෙන්න කියලා. ඒ තීන්දුවේ වරදක් නෑ. ඒත් තවත් වසර පහක්වත් ඒ සඳහා කාලය ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. ග්‍රාමීය දරුවන්ට මව් භාෂාවෙන් පෙනී සිටින්න අවස්ථාව දෙන්න.

ඇමැති විජයදාස රාජපක්ෂ මහතා –

නීති විද්‍යාලයට ඇතුළත් වන දරුවන් සම්බන්ධයෙන් භාෂා ප්‍රශ්නයක් තිබෙනවා. මම ඉගෙන ගත්තෙත් සිංහල භාෂාවෙන්. මේ පිළිබඳව නීති අධ්‍යයන ආයතනය සමග සාකච්ඡා කරනු ලැබුවා. අගවිනිසුරුතුමාත් අධ්‍යයන කවුන්සිලය වෙත යොමු කරලා මට මතය එවා තිබෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් අධ්‍යයන කටයුතු කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් මම නැවතත් සාකච්ඡා කරලා ඒ තීරණය දැනුම් දෙන්න කටයුතු කරනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – ඒ කාලයේ අපි ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන්. පසුව ඒක මව් භාෂාවෙන් කියලා කළා. ඉංග්‍රීසියෙන් පමණයි කියලා මේ ගැසට් එක ගැහුවේ කොවිඩ් අර්බුදයේ උච්ඡ අවස්ථාවේදියි. අද අපිට දුරකථන ඇමතුම් රාශියක් ආවා. ඉංග්‍රීසි භාෂාව විනාශ කළේ කවුද 56 දී. ගමෙන් ආපු අයත් කියනවා ඉංග්‍රීසියෙන් පමණක් කළ යුතුයි කියලා. මේක බලවත් අසාධාරණයක්.

ඇමැති අලි සබ්රි මහතා – අපි මෙහි පදනම තේරුම්ගත යුතුයි. තරඟයට ගැළපෙන සේ කටයුතු කළ යුතුයි. අපි මව් භාෂාවෙන් පමණයි කියලා ඇතුළට අරගෙන එළියට දැම්මම ස්ථර දෙකක නීතීඥයෝ බිහි වෙනවා. ඉංග්‍රීසියෙන් කතා කරන නීතිඥවරුයි, කතා කරන්න බැරි නීතිඥයෝ විදිහට. ගම්වලින් එන දරුවන්ටත් ඉංග්‍රීසියෙන් වැඩකළ හැකි නීතිඥවරු බවට පත් කරන්න. බමුණු කුලයට විතරද ඉංග්‍රීසි තියෙන්නේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – ඉංග්‍රීසි අධ්‍යාපනය අවශ්‍යයි. ඒත් ඒක විනාශ කරපු අයනේ මේ කතා කරන්නේ. මේ කොවිඩ් කාලයේ ගහපු ගැසට් එක අපි දන්නෙත් නෑ. දරුවෝ දන්නෙත් නෑ.

රාවුෆ් හකීම් මහතා – මමත් ගම්බද පාසලකින් ආවේ. මම ද්‍රවිඩ භාෂාවෙන් තමයි උත්තර පත්තර ලිව්වේ. පස්සේ හෙමින් හෙමින් තමයි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ.

චන්දිම වීරක්කොඩි මහතා – නීති ක්ෂේත්‍රයේ සියල්ල තිබෙන්නේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි දන්න නීතිඥයෝ කතා කරලා නඩු දිනනවා. ඉංග්‍රීසි දන්නේ නැති අය නඩු පරදිනවා. මේක අමාරු වුණත් ඉංග්‍රීසියෙන් නීති විද්‍යාලයේ අධ්‍යාපනය කරන්න ඉඩ දෙන්න.

ඇමැති රමේෂ් පතිරණ මහතා – 56 දී වරදක් වුණානම් ඒක හදන්න අවස්ථාව දෙන්න. මේකට බාධා කරන්න එපා. ඉංග්‍රීසි අධ්‍යාපනයට ඉඩ දෙන්න.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – මේක බරපතළ ප්‍රශ්නයක්. නීති විද්‍යාලයේ සිට නොවෙයි අපි ඉංග්‍රීසි අධ්‍යාපනය පෙර පාසලේ සිට හැදිය යුතුයි. යල් පැනගිය අධ්‍යාපනයක් අපට තිබෙන්නේ. අපි මේ රටේ අධ්‍යාපන ක්‍රමය ඉංග්‍රීසි භාෂා ප්‍රවේශයට වහාම ඉඩ දිය යුතුයි. ගෝඨාභය හිටපු ජනාධිපති මේකට ආරම්භයක් දුන්නා. නමුත් එතුමාගේ කැබිනට් එකේ අය ඒකට විරුද්ධව ඉන්ටර්වීව් දුන්නා. 56 ශාපයට අද හරි නැවතීමේ ලකුණ තියන්න.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා – මේ ප්‍රශ්නය දශකයක පමණ සිට තිබෙනවා. මේක අමාරුයි. නමුත් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න දෙන්න. රුසියාවේ ගිහින් මාස 06 න් භාෂාව ඉගෙන ගන්න පුළුවන්නම් ඇයි මේක බැරි.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment