පිටරටවල වැඩසිටින හාමුදුරුවරුන්ගෙන් අපේ රටට විශාල සේවාවක් සිදුවෙනවා

191

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අතපත්තුකන්දේ ආනන්ද නාහිමි

විදේශ රටවල වැඩසිටින අපේ හාමුදුරුවරු ඒ රටවල ඉඳගෙන මේ රටට අප්‍රමාණ සේවයක් කරනවා යැයි කොළඹ හැව්ලොක් සිටි සාම විහාරාධිපති, ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතපත්තුකන්දේ ආනන්ද හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ කියා සිටියේ කොලොන්න, කෑල්ල ප්‍රදේශයේ දිළිඳු පවුලකට සිංගප්පූරුවේ ඉමාායසිඑපසිසදබ ආයතනාධිපති කෝංගල ධම්මික නායක හිමියන් විසින් රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකර තිබූ නව නිවස පරිත්‍යාග කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට සිංගප්පූරු නියෝජිත පිරිසක් ද සහභාගි වී සිටි අතර කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමියන් ඇතුළු නාහිමිවරුන් මෙන්ම විහාරාධිපතීන් වහන්සේලා ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරුවේ ඉමාායසිඑපසිසදබ ආයතනාධිපති විශ්‍රාමලත් පරිවේණාධිපති, කෝංගල ධම්මික නාහිමි

‘මම සිංගප්පූරුවේ වසර 30 ක පමණ කාලයක සිට ඉන්නේ. සිහිනයක් තිබුණා මගේ රටේ අප්‍රමාණ දුක් විඳින හිසට වහලක්, කුසට අහරක් නොමැතිව කල්ගත කරන උදවියට උදව් කරන්න. ඒ අනුව තමයි මේ නිවස හදල පරිත්‍යාග කරන්නේ. මේ මුදල් මගේ නොවෙයි, මා වෙනුවෙන් වියදම් කරන්නෙ සිංගප්පූරු මා හිතවත් දායක පිරිස. නීතියට ගරු කරන, ආගමට අනුව ජීවත්වන අනුන්ට උපකාර කරන, දැහැමි පිරිසක්. ඒ නිසා තමයි සිංගප්පූරුවේ නියෝජිත පිරිසක් අද මේ නිවස පරිත්‍යාග කරන්න සහභාගි වෙලා ඉන්නේ. මගේ ඒකායන බලාපොරොත්තුව අපට උදව් කරන ඒ රටට, රටවැසියාට, රජයට ආශිර්වාද කිරීම. මේ නිවස ලබන තරුණ යුවළ දූදරුවන් සමග යහතින්, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරගෙන ඉදිරියට හොඳ ජීවිතයක් ගතකරයි කියා මා විශ්වාස කරනවා. මේ විතරක් නෙවෙයි මගේ මව් රටට හැකි අයුරින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සහයෝගය දි ඇපකැප වුණ ආනන්ද නායක හාමුදුරුවෝ, චන්දාලෝක ලොකු හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය හා ගිහි පැවිදි පින්වතුන්ට ද ආශිර්වාද කරනවා.’

කොලොන්න, අඹගහයාය ග්‍රාම නිලධාරි වසමේ අසරණභාවයට පත්ව සිටි ඉන්දික ජයරත්න, නිරෝශා මල්කාන්ති යන දෙපළ හා දූදරුවන් වෙනුවෙන් ඉදිකළ නිවස ඉකුත් දින පරිත්‍යාග කළ අතර එයට සමගාමීව කතරගම, කෑල්ල, හක්මණ ඇතුළු ප්‍රදේශ කීපයක අඩු ආදායම්ලාභී පවුල් 2000කට ආසන්න පිරිසක් සඳහා රු.3000කට ආසන්න ප්‍රමාණයකින් යුත් වියළි ආහාර මලු සිංගප්පූරුවේ සිට පැමිණි නියෝජිත පිරිස විසින් පිරිනමන ලදි. නිවස ඉදිකිරීමේ සිට පරිත්‍යාග කිරීම දක්වා සියලු කටයුතු ධම්මික නායක හිමියන් වෙනුවෙන් සිදුකරනු ලැබූවේ බැංකු කළමනාකාර රංගන අබේවර්ධන කුලතුංග මහතා විසිනි.
ඇඹිලිපිටිය – සේන වී. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment