පිටරට ඉගෙනගන්න ගිහින් නන්නත්තාර වෙන්න එපා…

913

* ඇමරිකාවේ ඩොලර් පහළොස්දහසක් වන වෙන්ටිලේටර් උපකරණය
     ලංකාවේ ඉංජිනේරුවෝ ඩොලර් දහසකින් නිෂ්පාදනය කරලා
  * පිටරටවල ඉගෙන ගන්න එන මෙරට පිරිමි ළමයින්ට ඒ රටවල සිංහල පන්සල්වල හාමුදුරුවෝ හරි උදව් කරනවා,
     සමහර ගැහැනු ළමයි අන්ත අසරණ වෙනවා…



studies2පිටරට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමට ලැබීම සිහිනයක් වැනිය. එම සිහිනය සැබෑ කරගැනීමට නම් ඉගෙනීමට දක්‍ෂ විය යුතුය. දෙමවුපියන්ට යහමින් මුදල්, වත්කම් තිබිය යුතුය. එහෙත් රුපියල් ලක්‍ෂ ගණනින් වියදම් කරමින් පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා මෙරට ළමයින්ගේ ජීවිත මිහිරි නැත. මවුපිය රැකවරණයෙන් මිඳුනුු ළමයි නිදහස උපරිමයෙන් භුක්ති විඳින ආකාරය, දරුවන් පිටරට අධ්‍යාපනයට යොමු කරවීමට පෙළඹවීම ගැන දෙමවුපියන් කියන කතා, අධ්‍යාපනය හැදෑරීමට යන ළමයි සමඟ පිටරටවලට ඇදී යන කෝටි, ප‍්‍රකෝටි රුපියල් කන්දරාව ගැන ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද හාමුදුරුවෝ අප සමඟ කතා කළහ. ඒ කතාව ඔබටත් පැවසීම අපගේ අදහස විය. මේ පෙළගැසෙන්නේ උන්වහන්සේ පැවසූ ඒ කතාවය.

 මම ඇමරිකාවට ඇවිත් දැන් අවුරුදු හතළිස්හතක් වෙනවා. එම කාලය තුළදී ඇමරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයක ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම එරට විශ්වවිද්‍යාල කිහිපයක උගන්වලා තියෙනවා. එම විශ්වවිද්‍යාලවලදී ශ‍්‍රී ලාංකීය ශිෂ්‍ය, ශිෂ්‍යාවන් විශාල පිරිසක් මුණගැහිලා තියෙනවා. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් මධ්‍යම පන්තියේ පවුල්වල ළමයි. ඔවුන් ඇමරිකාවට ඇවිත් තිබුණේ විශාල මුදලක් වියදම් කර, ලොකු කැපකිරීම් කරලා. සමහර දෙමවුපියෝ වතුපිටි විකුණලා, මදි පාඩුවට බැංකු ණයත් අරගෙන තමයි ළමයින්ව ඇමරිකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර තිබුණේ. ඒ දෙමවුපියන් සමඟ කතාබහ කරන විට කියැවුණේ ‘අපේ ළමයි කොච්චර හොඳට විභාග පාස් වුණත් ලංකාවේ විශ්වවිද්‍යාලවලට යන්න ලකුණු මදි වුණා… අපේ රටේ විශ්වවිද්‍යාවලට යවන්න බයයි… නවක වධය දීලා ළමයි මානසික රෝගීන් බවට පත් කරනවා… මෙච්චර උස් මහත් කරලා, උගන්වලා දැන, දැනම ළමයින්ව අසරණ කරන්න බෑ…’ ඒ කතාවේ සත්‍යතාවක් තියෙනවා…’’

 ‘‘ලෝකයේ කොහේවත් රටක විශ්වවිද්‍යාලයක නැති විදිහට අපේ රටේ විශ්වවිද්‍යාලවල නවක වධය කෙරෙනවා. ලිංගික හිංසනයන් පවා සිද්ධ කෙරෙන බවට තොරතුරු අනාවරණය වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන්ගේ අරගලවල කෙළවරක් නෑ. ඒවාට යනවා ඇරෙන්න ළමයින්ට ඉගෙන ගන්න වේලාවක් නෑ. අපේ රටේ ඇතැම් විශ්වවිද්‍යාල ආරම්භ වෙලා අවුරුදු සීයකට වැඩියි. ඒත් නොබෙල් ප‍්‍රයිස් එක ගත්ත එක මහාචාර්යවරයෙක් ඉන්නවද? ඇමරිකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල විවිධ අංශයන් තුළින් නොබෙල් ප‍්‍රයිස් ගත්ත ආචාර්යවරු කොපමණ සිටිනවද? මේ රටවල විශ්වවිද්‍යාලවලින් සෑම වසරකම අලූත් නිර්මාණයක් එළිදකිනවා. අපේ රටේ එහෙම අලූත් නිර්මාණ එළිදකින්නේ නෑ. ඒත් මෙරට කොතලාවල විශ්වවිද්‍යාලය ආරම්භ කර අවුරුදු පහළොවක් නෑ. ඇමරිකාවේ ජීවත්වන ශ‍්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන බන්ධුල විජේරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද සංකල්පයක් අනුව කොතලාවල විද්‍යා පීඨයේ නාවික හමුදාවේ ඉංජිනේරුවෝ කොවිඞ් රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදෙන වෙන්ටලේටර් උපකරණයක් නිෂ්පාදනය කරලා තිබුණා. ඇමරිකාවේ ඩොලර් පහළොස්දහසක් වන එම උපකරණය ලංකාවේ අපේ ඉංජිනේරුවෝ ඩොලර් දහසක් වැනි සාමාන්‍ය මුදලකින් නිෂ්පාදනය කර තිබුණා. මේ වන විට එම උපකරණයෙන් සාර්ථක ප‍්‍රතිඵල පෙන්නුම් කරනවා. තවත් වෙන්ටලේටර් පහළොවක් නිෂ්පාදනය කර රෝහල්වලට බෙදාදීමට අපේ පන්සලේ දායකයො එකතු වෙලා මුදල් පරිත්‍යාගයක් ලබාදීමට තීරණය කර තියෙනවා. එවැනි තාක්‍ෂණික ඉංජිනේරුවෝ නිර්මාණය වුණේ නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබුණු නිසයි…’’

  ‘‘මෙරට රජයේ විශ්වවිද්‍යාල තුළ උගත්, බුද්ධිමත් ආචාර්ය, මහාචාර්යවරු ඉන්නවා. දක්‍ෂ ළමයි ඉන්නවා. සම්පත් තියෙනවා. ඒත් විශ්වවිද්‍යාල ළමයින්ට නිදහසේ අධ්‍යයන කටයුතුවල නිරතවීමට ශිෂ්‍ය සංගම් ඉඩ දෙන්නේ නෑ. පළමු අවුරුද්දෙන් භාගයක් නවක වධයට ගෙවිලා යනවා. ඊළඟට ශිෂ්‍ය සංගම් කරන අරගලවලට සහභාගි වෙන්න ඕනෑ. එවැනි බලපෑම් නිසා නිසි කාලසීමාවට උපාධිය ලබාගෙන රැකියාවක නිරතවීමේ අවශ්‍යතාව විශ්වවිද්‍යාල ළමයින්ට අහිමි වෙලා තියෙනවා. සමාජවාදී ලේබලයට මුවා වී සිටින දේශපාලන කණ්ඩායම් තමයි මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපන ක‍්‍රමය නැතිභංගස්ථාන කරන්නේ. එවැනි පසුබිමක මුළු සේසතම වියදම් කර දරුවන් පිටරට විශ්වවිද්‍යාලවලට යැවීමේ වරදක් දකින්න බෑ. ඒ වගේම අපේ රටේ දරුවෝ බහුතරයක් අතිදක්‍ෂයි. ඒත් සියයට විස්සකටවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප‍්‍රවේශ වෙන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ මෙරට විශ්වවිද්‍යාලවල පහසුකම් අවම නිසයි. ඒ වගේම මේ වන විට මෙරට නිදහස් අධ්‍යාපන ක‍්‍රමය නිවැරදිව ක‍්‍රියාත්මක වෙනවාද යන්න ගැටලූ සහිතයි. පෙර පාසලට දරුවව යවන්නෙත් මුදල් ගෙවලා. රජයේ පාසල්වලට යන ළමයි බහුතරයක් එක විෂයකට ‘ටියුෂන්’ පන්ති දෙකකටවත් යනවා. හතු පිපෙන ගාණට රට පුරා ජාත්‍යන්තර පාසල් විවෘතව තිබෙනවා. ඒ පාසල්වල ඉගෙන ගන්න ළමයින්ගෙන් අය කරන මුදල් ප‍්‍රමාණය අති විශාලයි. මේ අධ්‍යාපන කඩ අය කරන අසාධාරණ මුදල් ගැන කිසිම දේශපාලන පක්‍ෂයක් කතා කරන්නේ නෑ. ඒ වගේම ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න බහුතරයක් ළමයින්ට ‘සිංහල’ කතා කරන්න පුළුවන් වුණාට ලිවීමට, කියැවීමට බෑ. සමහර ළමයින්ට සිංහල කතා කරන්නවත් බෑ. ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න බොහෝ ළමයින්ට ඉතිහාසය, බෞද්ධ ආගම ගැන කිසිම දැනුමක් නෑ. එම පාසල්වලින් ඒ ළමයින්ව පුරුදු පුහුණු කරන්නේ පිටරටවල විශ්වවිද්‍යාල අධ්‍යාපන ක‍්‍රමයට සුදුසු විදිහටයි. මෙරට ජාත්‍යන්තර පාසලෙන් විභාග සමත් වන දරුවා අනිවාර්යෙන්ම උසස් අධ්‍යාපනය හැදෑරීමට පිටරට විශ්වවිද්‍යාලයකට ඇතුළත් විය යුතුමයි…’’

 ‘‘ජාත්‍යන්තර පාසලක උගන්වලා පිටරට විශ්වවිද්‍යාලයකට ළමයින් යවනකොට මධ්‍යම පාන්තික දෙමවුපියෝ ආර්ථික වශයෙන් අතිශය දුර්වල වෙනවා. මෙරට මධ්‍යම පන්තියේ පවුල්වල ඇමරිකාවේ ඉගෙන ගන්න දරුවන්ට වියදම් මුදල් ලබාදීමට නොහැකිව මවුපියන් අපේ පිහිට ප‍්‍රාර්ථනා කරන අවස්ථා එමටයි. ඒත් ලබාදෙන මුදල් නැවත අපිට ලැබෙන්නේ නෑ. විශ්වවිද්‍යාල ගාස්තු ගෙවාගන්න නොහැකිව අන්ත අසරණ වී සිටින ශ‍්‍රී ලාංකීය ළමයි ඕනෑතරම් අපිට මුණගැහිලා තියෙනවා. ඇමරිකාවේ තියෙන ශ‍්‍රී ලාංකීය විහාරස්ථාවලින් ඒ ළමයින්ට නවාතැන් පහසුකම් දීලා පුළුවන් උපකාර කරනවා. මීට ටික කාලයකට පෙර අපේ පන්සලේ නතර වෙලා ඉඳගෙන ශ‍්‍රී ලාංකිකයෙක් ඉගෙන ගත්තා. ඒ ළමයට ටියුෂන්වලට ගෙවන්න සල්ලි නැතිව අපේ පොඩි හාමුදුරුනමක් මටත් හොරෙන් එයාගේ ක්‍රෙඩිට් කාඞ් එකෙන් විටින්, විට ඩොලර් විසිහතරදහසක් අරගෙන දීලා. අන්තිමේ පොලියත් එකතු වෙලා ලොකු මුදලක් ගෙවන්න වෙලා. ‘ක්‍රෙඩිට් කාඞ් එකේ සල්ලි ගෙවාගන්න විදිහක් නෑ. රක්‍ෂාවක් කරලා මම මේ ණය ගෙවනවා’ කියලා ලිපියක් ලියලා මටත් නොකියා පොඩිනම සිවුර ඇරලා ගිහින් තිබුණා. එවැනි ගැටලූ මැද හෝ පිරිමි ළමයින්ට පිහිට වෙන්න පුළුවන්. ඒත් ශ‍්‍රී ලාංකීය ගැහැනු ළමයින්ට සරණක් වෙන්න ක‍්‍රමයක් නෑ. අධ්‍යාපනය හැදෑරීමට මේ රටවලට පැමිණෙන ශ‍්‍රී ලාංකීය ගැහැනු ළමයි විවිධාකාරයෙන් අන්ත අසරණ තත්ත්වයට පත්වන අවස්ථා එමටයි…’’

 ‘‘අපි ජීවත්වන ඇමරිකාවේ විතරක් නෙමෙයි, ලෝකයේ කොහේ රටකට ගියත් මෙරට ළමයින්ට මුදල් අගහිඟකම් එනවා. එංගලන්තය, ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, කොරියාව, ජපානය, චීනය, මැලේසියාව, පිලිපීනය, තායිලන්තය, පාකිස්ථානය, නේපාලය, ඉන්දියාව, බංගලාදේශය ආදී ලෝකයේ විවිධ රටවල විශ්වවිද්‍යාවලට මෙරට ළමයි ඉගෙන ගන්න යනවා. ඇමෙරිකවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට හොඳ පිළිගැනීමක් තියෙනවා. එම විශ්වවිද්‍යාලවලින් ලබාගන්නා උපාධිවලටත් ඒ පිළිගැනීම තියෙනවා. ඒ වගේම ලෝකයේ වෙනත් රටවල විශ්වවිද්‍යාලවලට සාපේක්‍ෂව ඇමරිකානු පෞද්ගලික විශ්වවිද්‍යාලවල අය කිරීම ඉතා වැඩියි. එම විශ්වවිද්‍යාලවලින් ඇමරිකානු රජයට, ප‍්‍රාන්ත රජයන්වලට විශාල ලෙස ආර්ථික ප‍්‍රතිලාභ ලබාදෙනවා. ලොස්ඇන්ජලීස් නුවර ‘යුනිවර්සිටි ඔෆ් සදර්න් කැලිෆෝනියා’ ටියුෂන් ගාස්තු සහ නවාතැන් පහසුකම් සඳහා පමණක් වසරකට ඇමරිකානු ඩොලර් හතළිස්පන්දහස් පන්සීය හැටඑකක් ගෙවන්න ඕනෑ. කෑම, බීමවලට වෙනම වියදම් කරන්න ඕනෑ. මම අධ්‍යාපනය ලැබූ නෝර්ත් වෙස්ටන් විශ්වවිද්‍යාලයේ පන්ති ගාස්තුවලට පමණක් වසරකට ඇමරිකන් ඩොලර් දහඅටදහස් නවසිය දහඅටක් ගෙවන්න ඕනෑ. ඒ වගේම ඇමරිකාවේ මැසිටියුට් ප‍්‍රාන්තයේ ලෝක ප‍්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාල රාශියක් පිහිටා තියෙනවා. ඒ ප‍්‍රාන්තයේ ප‍්‍රධාන ආදායම වෙලා තියෙන්නේ විදේශීය රටවලින් පැමිණෙන සිසුන්ගෙන් ලැබෙන විශ්වවිද්‍යාල ගාස්තු. ඒ වගේම දක්‍ෂ ළමයින්ට ඇමරිකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව ලබාදෙනවා. මනා කළමනාකාරිත්වයක් තුළින් ශිෂ්‍ය, ශිෂ්‍යාවන් විධිමත් ලෙස පරීක්‍ෂා කොට ධනවත් පවුල්වල ළමයින්ගෙන් අය කරගෙන, දුප්පත් පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව සහන ලබාදෙනවා. ඇමෙරිකාවේ ළමයින්ට පමණක් නෙමෙයි පිටරටවල ළමයින්ටත් ශිෂ්‍යත්ව ලබාදෙනවා. නොර්ත් වෙස්ටන් විශ්වවිද්‍යාලයේ මට ඉගෙන ගන්න පුළුවන් වුණේ ශිෂ්‍යත්වයක් ලැබුණු නිසයි. එහෙම නොවෙන්න එම විශ්වවිද්‍යාලයේ මට අධ්‍යාපනය ලබාගන්න බැරි වෙනවා. ඒ වගේ ශිෂ්‍යත්ව ලැබිලා ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ශ‍්‍රී ලාංකික ළමයි විශාල පිරිසක් ඇමරිකාවේ ජීවත් වෙනවා…’’

 යුරෝපීය රටවල ඉගෙන ගන්න අපේ ළමයි ලංකාවට නොඑන්නේ උපාධියට නිසි ගෞරවය නොලැබෙන නිසයි…

 ‘‘ඇමරිකාව, කැඩනවා ආදී යුරෝපීය රටවල විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන මෙරට ළමයි මොන දුක විඳගෙන හරි උපාධිය ලබාගෙන ඒ රටවලම රැකියා කරගෙන ජීවත්වනවා විනා ඔවුන් නැවත ලංකාවට එන්නේ නෑ. එහෙම වෙලා තියෙන්නේ පිටරට උපාධිවලට අපේ රටේදී නිසි ගෞරවය නොලැබෙන නිසයි. යුරෝපීය රටවලදී උපාධියට නිසි ගෞරවයක් සමඟ හොඳ රැකියාවක නිරතවීමට අවස්ථාව ලැබෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නගරයේ පමණක් ශ‍්‍රී ලාංකික පවුල් ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක් ජීවත් වන බව වාර්තා වෙනවා. ඒ බොහෝමයක් පවුල් මෙරට මධ්‍යම පන්තියේ මිනිසුන්. ඇමරිකාවේ විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගෙන, රැකියා කරගෙන තම මවුපියන්වත් එරට පදිංචියට අරගෙන තියෙන ශ‍්‍රී ලාංකිකයන් ඇමරිකාවෙත් විවිධ ප‍්‍රාන්තවල ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් මෙරට ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගෙන පිටරට අධ්‍යාපනයට යොමු වන ළමයි නැවත ලංකාවට එන්නේ නෑ. ඔවුන් ලංකාවේ ඉපදුනාට මෙරට සංස්කෘතිය, සිංහල භාෂාව දන්නේ නෑ. ඒ නිසා මොන උපාධිය තිබුණත් ලංකාවේ වැඩ කරගෙන යන්න ඔවුන්ට අපහසු වෙනවා. ඒ නිසා ඔවුන් බලහත්කාරයෙන් හෝ මවුපියන්වත් ඒ රටවලට රැගෙන යනවා. ඇමෙරිකවේ ජීවත්වන මම දන්න පවුල්වල මවුපියන් එරට ජීවත් වෙන්නේ කැමැත්තෙන් නෙමෙයි. දරුවන්ගේ බලකිරීමට. දරුවන්ව තනි කර මෙරට ජීවත්වීමට ඇති අකැමැත්ත නිසයි. ඒ වගේම ඔවුන් ඇමරිකාවට ගිහින් තියෙන්නේ මෙරට තිබුණු සියලූ දේපළ විකුණලා. ඔවුන්ගේ ඉඩකඩම් වැඩි මිලට විකුණලා තියෙන්නෙත් අබෞද්ධයන්ට. විශේෂයෙන්ම මැදපෙරදිගින්, සෞදි අරාබියට සම්බන්ධකම් තියෙන අන්‍යා ආගමිකයන්ට. ඒක වෙනම කතා කළ යුතු ඛේදවාචකයක්…’’

 යුරෝපීය රටවලට යන ළමයි ඒ රටවල පදිංචි වුණාට චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්ථානය, නේපාලනය, බංගලාදේශය, ඉන්දියාව වෛද්‍ය පීඨවලින් උපාධි ලබාගන්නා ළමයි එම රටවල රැකියාවල නිරත වෙන්නේ කලාතුරකින්. නැවත ලංකාවට පැමිණෙන උපාධිධාරීන්ට මෙරට වෛද්‍ය සංගම්වලින් නිසි ගෞරවයක් ලබාදෙන්නේ නෑ. ඔවුන්ගේ උපාධියට නිසි වටිනාකම ලබා දෙන්නේ නෑ. ඒ වෛද්‍ය උපාධිවල යම් ගැටලූ තියෙන්න පුළුවන්. විවිධ රටවල වෛද්‍ය පීඨයන්වල විෂය නිර්දේශයන් එකිනෙකට වෙනස්. ඒ ඒ රටවල වෛද්‍ය පීඨයන්වල විෂය නිර්දේශයන් අපේ රටට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එම ගැටලූව නිරාකරණය කිරීමට හොඳම විසඳුම මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමයි. රජයේ විශ්වවිද්‍යාලවල උගන්වන විෂය නිර්දේශයන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල තුළත් ක‍්‍රියාත්මක කරවීමයි…’’

 ‘‘ඒ වගේම ඇමරිකාවේ වෛද්‍ය පීඨයකින් උපාධිය ලබාගැනීමට විශාල මුදලක් වියදම් කරන්න ඕන නිසා එරට ළමයිත් වෙනත් රටවල විශ්වවිද්‍යාලවල ඉගෙන ගෙන ඇමරිකාවට ඇවිත් විභාග කරලා උපාධිය ලබාගෙන වෛද්‍යවරු බවට පත් වෙනවා. ජේ. ආර්. ජයවර්ධන රජය කාලයේ රාගම වෛද්‍ය පීඨයක් ආරම්භ වුණා. එම වෛද්‍ය පීඨයේ ඇමරිකානු ළමයිත් ඉගෙන ගත්තා. කාගේ වුවමනාවකට හෝ රටේ අවාසනාවට එම වෛද්‍ය පීඨයට පිටරට ළමයි ඇතුළත් කරගැනීම නතර කළා. නැවත මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ වී පිටරටවල ජීවත්වන ශ‍්‍රී ලාංකික පවුල්වල ළමයි, විවිධ රටවල විදේශීය ළමයි මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමත් සමඟ රට තුළට විදේශ විනිමය ගලා එනවා. යුරෝපයේ ජීවත්වන ශ‍්‍රී ලාංකීක පවුල්වල දෙවැනි පරම්පරාවේ දරුවෝ මෙරට අධ්‍යාපනය ලැබීමට කැමැත්තක් දක්වනවා. සිංහල භාෂාව, බෞද්ධ ආගම අධ්‍යයනය කිරීමට ඔවුන්ගේ දැඩි කැමැත්තක් තියෙනවා. ඒත් එම අධ්‍යයන කටයුතුවලට මෙරට පහසුකම් නෑ. මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කෙරෙනවා නම් ඒ ළමයින්ටත් පැමිණ නිදහසේ අධ්‍යයන කටයුතුවල නියැළෙන්න අවස්ථාව ලැබෙනවා. ඔවුන්ගේ පැමිණීම තුළින් රටේ සංචාරක කර්මාන්තය දියුණු වෙනවා. මෙරට ළමයි සමඟ පිටරටවලට ඇදී යන කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් කන්දරාව නතර වෙනවා. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම තුළින් බුද්ධිමත් පරපුරක් නිර්මාණය කරගන්න පුළුවන්. එසේ නොවෙන්න තව අවුරුදු පනහක් විතර යනකොට මෙරට සිංහල බෞද්ධ නාමයත් නැති වෙලා යනවා. ජාතිය, ආගම, රට රැකගැනීමට නම් මෙරට අනාගත පරපුර පිටරටවලට පදිංචියට යෑම නතර කළ යුතුයි. අපේ සංස්කෘතියට ගැලපෙන අනාගත පරපුරක් ජාතියට නිර්මාණය කරදීමේ අරමුණු පෙරදැරි කරගෙන පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ වරදක් නෑ. එකක් නොව කිහිපයක් ආරම්භ වුණත් ගැටලූවක් නෑ. ඒත් මෙරට පවතින ‘නිදහස් අධ්‍යාපන ක‍්‍රමයට’ වරදක් වෙන්න බෑ. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට දරන වෑයමට වැඩි අවධානයකින් පවතින නිදහස් අධ්‍යාපන ක‍්‍රමය දියුණු කිරීමටත් මේ රජය කටයුතු කළ යුතුයි. ඒ වගේම ආරම්භ කෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාල තුළින් මෙරට දුප්පත් දරුවන් සියයට තිහකටත්, විදේශීය ළමයි සියයට දහයකටවත් ශිෂ්‍යත්ව පහසුකම් ලබාදිය යුතුයි. ඒ තුළින් ජාත්‍යන්තර සබඳතා වර්ධනය වී අපේ රටටත් ඉහළ පිළිගැනීමක් ලැබෙන බව ඒකාන්තයි…’’ වල්පොළ පියනන්ද හාමුදුරුවන්ගේ බරසාර දේශනාව අවසානය.

 උන්වහන්සේ මෙන්ම අප ද ඉගෙන ගත්තේ මෙරට පවතින නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නටය. තම දරුවන් අමතර පන්තියකට යැවීමට වත්කමක් නැති දෙමවුපියෝ අදට ද මෙරට බොහෝය. පවතින වංසගත තත්ත්වය තුළ ‘ඔන්ලයින්’ අධ්‍යාපන ක‍්‍රමයේදී ජංගම දුරකථනයට ‘ඬේටා’ ඇතුළත් කරගැනීමට රුපියල් සීයක වත්කමක් නැති පවුල්වල දරුවන් අන්ත අසරණ වී සිටින බව නිරන්තරයෙන් වාර්තා විය. එවැනි පවුල්වල දරුවන් නැණපහන් ආලෝකවත් කරගන්නේ නිදහස් අධ්‍යාපනය නැමැති මිණි පහණිනි. එහෙයින් පවතින නිදහස් අධ්‍යාපන ක‍්‍රමය තවත් ‘ක‍්‍රමවත්ව’ දියුණු කරමින් ඇති හැකි පවුල්වල දරුවන්ට ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කරවීමේ ගැටලූවක් නැත. එමෙන්ම කාලකණ්ණි දේශපාලන න්‍යායයන් මත ක‍්‍රියාත්මක වන ‘නවකවධ’ වධකාගාර ක‍්‍රමය රජයේ විශ්වවිද්‍යාල තුළින් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට ද බලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතුය.

 තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment