පිටරට බැංකුවල හොරෙන් තැන්පත් කළ මුදල් සොයන්න විශේෂ මූල්‍ය ඒකකයක් පිහිටුවන්න: මාසයක් ඩොලරයට රු.245ක් ගෙවන්න…

994

සුපිරි වාහන ලක්ෂයක් ප‍්‍රති අපනයනය කරන්න

විදෙස් ණය අර්බුදයෙන් ගොඩඑන්න රැඩිකල් තීරණ ගත යුතුයි:

ඩොලර් සංචිත හිඟ වීමේ හා විදෙස් ණය අර්බුදයෙන් යම් තරමකට හෝ ගොඩ ඒමට නම් රැඩිකල් තීරණ ගත යුතුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසීය.

එහිදී නාගමුව මහතා මෙසේ ද සඳහන් කළේය.

විපක්ෂයේම සමහරු කියනවා ණය අර්බුදයට විසඳුමක් ලෙස අයි.එම්.එෆ්. යන්න කියලා. ඇත්තටම ශ‍්‍රී ලංකාව ණය අර්බුදයට පැටලෙන්න එක හේතුවක් වුණේ අයි.එම්.එෆ්. එකට යෑමයි. එතනින් ප‍්‍රශ්නවලට විසඳුම් එන්නේ නෑ.

අපි යෝනනා කරන්නේ රැඩිකල් තීරණ කීපයක් ගන්න කියලායි.

පළමු වැන්න නම් මාසයක් වැනි කාලයකදී ඩොලරයට රුපියල් 245 බැගින් ගෙවන බවට රජය ප‍්‍රකාශ කළ යුතුයි. එවිට විදෙස්ගතව සේවය කරන මෙරට වැසියන් ඩොලර් එවාවි. ඒ හරහා ඩොලර් මිලියන හාරසියයක් පන්සියයක් එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා.

දෙවැන්න ලෙස අප යෝජනා කරන්නේ දැනට ශ‍්‍රී ලංකාවේ භාවිතා කරන අති සුඛෝපභෝගී මෝටර් රථ ලකෂයක් ප‍්‍රති අපනයනය කරන්නයි. ඒවා පාවිච්චි කරන්නේ මැති ඇමැතිවරුන් හා ඉහළ ධනපතියන්. සාමාන්‍යයෙන් දැනට රටේ කාර් ලක්ෂ එකොළහක් පමණ තියනවා. ඉන් අති සුඛෝපභෝගී මෝටර් රථ ලක්ෂයක් ප‍්‍රති අපනයනය හරහා ඩොලර් බිලියන පහක් පමණ උපයාගත හැකියි.

සාමාන්‍ය ජනතාව ඇති තරම් කැපකිරීම් කරලා තියෙන්නෙ. ඒ නිසා ඇති හැකි අය මේ වෙලාවේ කැපකිරීම් කළ යුතුයි. තුන්වෙනුව අප යෝජනා කරන්නේ නීති විරෝධී ආකාරයට විදෙස් බැංකුවල තැන්පත් කර ඇති මෙරට පුද්ගලයන්ගේ මුදල් සොයා අත්පත් කර ගැනීම සඳහා විශේෂ මූල්‍ය ඒකකයක් පිහිටුවන ලෙසයි. පැන්ඩෝරා පත‍්‍රිකා වැනි සිද්ධීන් ඒ හරහා සොයාගත හැකියි. හැබැයි ඒ ඒකකය අවංක භාවයෙන් පිහිටුවන ඒකකයක් විය යුතුයි. මේවා සමාජවාදී යෝජනා නෙවෙයි. සරල ධනේශ්වර ප‍්‍රතිසංස්කරණය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment