‘පිට්ටනියේදි බලා ගමු සටන අද’ – දිනුවොත් සුපිරි හතරට  – පැරදුණොත් හෙට ගෙදරට

671

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටය සදහා සුදුසුකම් ලැබීම නිමිත්තෙන් ‘දිනුවොත් ඇතුළට පැරදුණොත් ඉවතට සටනක’ නිරතවීමේ අභියෝගය පෙරදැරිව සත්කාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඩුබායි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (01 වැනිදා) රාත්‍රී 7.30 ට තරග වැදීමට නියමිතය.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ දෙවෙනි ස්ථානයෙන් සුපිරි හතර දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබන අතර එම කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගත් ඇෆ්ගනිස්තානය මේ වනවිටත් සුපිරි හතර වටයේ සිය ආසනය වෙන් කර ගෙන තිබේ.

ඇෆ්ගනිස්තානය හා සංසන්දනය කිරීමේදී බංග්ලාදේශය පරාජය කිරීමට පහසු කණ්ඩායමක් බවට ශ්‍රී ලංකා නායක දසුන් ශානක පසුගිය මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස බංග්ලාදේශ ක්‍රීඩක මෙහෙදි හසන් කර ඇති ප්‍රකාශයත් සමග අද තරගය බෙහෙවින් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අනුමාන කළ හැකිය.

දසුන්ට පිළිතුරු ලෙස ‘අපි පිට්ටනියේ දී බලා ගමු යැයි මෙහෙදි එහිදී පවසා තිබූ අතර ඒ අනුව ‘ පිට්ටනියේදී බලා ගමු’ සටන ලෙස ද මෙම තරගය හැඳින්විය හැකිය.

කෙසේ වෙතත් කවුද දක්ෂයා යැයි පිට්ටනියේදී බලා ගැනීම පිණිස මේ දක්වා දෙරට අතර පැවැති පන්දු වාර 20-20 ක්‍රිකට් සටන්වලදී නම් එහි ඉහළ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වී ඇත.

ඒ අතීත තතු විමසා බැලීමේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මේ දක්වා පන්දු වාර 20-20 තරග 12 කට සහභාගි වී ඇති අතර ඉන් තුනෙන් දෙකක කොටසක් වන වැඩි ජයග්‍රහණ සංඛ්‍යාව ශ්‍රී ලංකාවට හිමි වී ඇත.

ශ්‍රී ලංකාව එහිදී තරග 8ක් ජයග්‍රහණය කර ඇති අතර බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණි.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මධ්‍යස්ථ රටක ක්‍රීඩාංගණයකදී පන්දු වාර 20-20 ක්‍රිකට් තරගයක් සඳහා එකිනෙකා හමුවන තෙවෙනි අවස්ථාව මෙය වන අතර මීට පෙර හමු වූ අවස්ථා දෙකෙහිම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වී ඇත.

එමෙන්ම ඔවුන් අවසන් වරටත්, පළමුවරටත් පන්දු වාර 20-20 තරගයකදී එකිනෙකා මුණ ගැසී තිබෙන්නේ මධ්‍යස්ථ රටවලදී වන අතර ඉන් අවසන් අවස්ථාව පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී සටහන් විය. සාජා ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.

කණ්ඩායම් දෙක එකිනෙකාට එරෙහිව පළමු වරට පන්දු වාර 20-20 තරගයකට සහභාගි වූයේ 2007 ලෝක කුසලාන තරගාවලියේ දී වන අතර දකුණු අප්‍රිකාවේ වොන්ඩරස් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයෙන් ද ශ්‍රී ලංකාවට ලකුණු 64ක ජයග්‍රහණයක් හිමි විය.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන කණ්ඩායම් දෙකම තමන් සහභාගි වූ පළමු තරගයන්හිදී ඇෆ්ගනිස්තානය හමුවේ පිළිවෙලින් කඩුලු 8කින් සහ කඩුලු 5කින් පරාජයට පත් විය.

ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා කළ කණ්ඩායම වෙනුවට ක්‍රීඩකයන් දෙදෙනකුගේ වෙනස්කම් සමග ශ්‍රී ලංකාව අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළ හැකි අතර එම තරගයේදී ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගත් වේග පන්දු යවන්නන් දෙදෙනා වූ මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මධුසංඛ දෙදෙනාගෙන් අයෙක් වෙනුවට අසිත ප්‍රනාන්දු බොහෝ දුරට කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇත.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ද මෙම තරගය සඳහා කැඳවීමට ඉඩ ඇති අතර එසේ වුවහොත් ධනුෂ්ක ගුණතිලකට සිය ස්ථානය අහිමි වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානක විසින් මෙහෙයවනු ලබන අතර බංග්ලාදේශ කණ්ඩායම නායක ශකීබ් අල් හසන් විසින් ද මෙහෙයවනු ලබති.

ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රමෝද මධුශාන්, ප්‍රවීන් ජයවික්‍රම සහ අශේන් බණ්ඩාර

බංග්ලාදේශ සංචිතය

සකීබ් අල් හසන් (නායක), එනමුල් හක්, මුෂ්ෆිකුර් රහීම්, අෆීෆ් හොසේන්, මොසැඩෙක් හොසේන්, මහමදුල්ලා රියාද්, මෙහෙදි හසන්, මොහොමඩ් ශයිෆුඩීන්, මුස්තෆිසුර් රහමන්, නසුම් අහමඩ්, සබීර් රහමන්, මෙහෙද හසන් මිරාස්, ඉබාදත් හොසේන්, පර්වේස් හොසේන්, ටස්කින් අහමඩ් සහ මොහොමඩ් නයීම්

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment