පිටාර ගලන දේශගුණික විපර්යාසය – ශ‍්‍රී ලංකාව තරම් දේශගුණික අනාථයින් පිරිසක් බිහිවේ

286

අශෝක අභයගුණවර්ධන මහතා පුනර්ජනනීය බලශක්තිය හා දේශගුණික විපර්යාස ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රාමාණිකය විද්වතෙකු හා නිදහස් චින්තකයෙකි. බල ශක්ති සංසදයේ කැදවුම්කරු ලෙසද කලක් කටයුතු කළ ඒ මහතා, ජනධිපති කාර්යාලය යටතේ පැවැති උපායමාර්ග ව්‍යවසාය කළමනාකරණය ආයතනයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරි ලෙසද කටයුතු කළේය. ඒ මහතා විසින් මේ දිනවල යුරෝපය ඇතුලූ රටවල් රැුසකට බලපා ඇති අයහපත් කාලගුණය පිළිබඳව දිවයින සමග සිදුකළ කරුණු විග‍්‍රහයකි…..
 
 යළිත් වතාවක් දේශගුණික විපර්යාසය නම්වූ මාතෘකාව උතුරු ඇමරිකාවේ, යුරෝපයේ හා චීනයේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. උතුරු අර්ධගෝලයේ ග‍්‍රීෂ්ම සෘතුව පැමිණීමත් සමඟ සුපුරුදු පරිදි ඇති වෙන ස්වාභාවික ව්‍යසන රැුල්ලත් සමඟ මේ තත්ත්වය උදාවී ඇත.
 
 * ඇමරිකාවේ සහ කැනඩාවේ තාප රැල්ල
 
 මේ දිනවල උතුරු ඇමරිකාවේ සහ කැනඩාවේ වෙනදාට වඩා උෂ්ණත්වය ඉහළයෑමක් වාර්තා වී ඇත. කැනඩාවේ උෂ්ණත්වය කවරදාවත් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 45 ඉක්මවා ගොස් නැත. පසුගිය අඟහරුවාදා කැනඩාවේ බි‍්‍රටිෂ්කොලාම්බියාවේ ඇතැම් ප‍්‍රදේශවල උෂ්ණත්වය ප‍්‍රථම වතාවට එක දිගට තුන්වන දිනයටත් 49.6 ක් වාර්තා වී ඇත. මෙය එහි දැනට වාර්තාවී ඇති උණුසුම වැඩිම සතිය වේ. ඇමරිකාවේ ද පැසිෆික් නෝර්ත්වෙස්ට් ප‍්‍රදේශයේ වාර්තාගත වැඩිම උෂ්ණත්වයන් වාර්තා වී ඇත. මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ කැලිෆෝනියාවේ සිට කැනඩාව හරහා ආක්ටික් කලාපය දක්වා තාප රැුලි ලෙස හමා යන උණුසුම් වායු දහරාවන්ය. මෙම නිසා ඇමරිකාවේ හා කැනඩාවේ ඇතැම් ප‍්‍රදේශවල මිනිසුන් සිය ගණනක් මේ වනවිටත් මිය ගොස් ඇත. සියැටල් රෝහලේ වෛද්‍යවරයෙක් පවසා ඇත්තේ කොවිඩි -19 රෝගීන් වාර්තා වන පරිද්දෙන්ම තාප රැුලිවලින් ලෙඩ වූ  රෝගීන් වාර්තා වන බවයි. තාප රැුලි හඳුන්වාදෙනු ලබන්නේ සෘජුව ඇස්වලට නොපෙනෙන නමුත් රහසේ ජනතාව මරණය කරා රැුගෙන යන විනාශකාරී රැල්ලක් ලෙසයි.
 
 * යුරෝපයේ ගංවතුර
 
 දේශගුණික විපර්යාසය මේ ග‍්‍රීෂ්ම සෘතුවේ දී යුරෝපයට ඇති කළ බලපෑම සෘජුව ඇසට පෙනෙන, හිතට දැනෙන ව්‍යසනයක් බවට දැනටමත් වී හමාරය. මේ ජුලි මස 13 වන දින පටන්ගත් තදබල කුණාටුව නිසා පැය 24ක් ඇතුළත ඇති වූ මිලිමීටර් 150 වර්ෂාපතනය නිසා ගංගා පිටාර ගලා ගොස් මහා නායයෑම් ඇති වී නිවාස, වාහන ගසාගෙන යන ඡුායාරූප හා වීඩියෝ දර්ශන මේ දිනවල බටහිර රටවල ප‍්‍රවෘත්තිවල සුලභව දක්නට ලැබේ. මේ නිසා මේ වනවිට අඩුම ගණනේ 196 දෙනෙක් එනම් ජර්මනියේ 165 ක් සහ බෙල්ජියමේ 31 මියගොස් ඇත. නෙදර්ලන්තයේ හා ස්විස්ටර්ලන්තයේ ද විශාල දේපල හානි සිදුවී ඇත. මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී. තවත් විශාල පිරිසක් අතුරුදන් වී ඇත.
 
 මීට පෙර 2002 දීත් 2013 දීත් මෙවැනි ඔරොත්තු නොදෙන කාලගුණික ව්‍යසනයන් යුරෝපයේ වාර්තා වී ඇති අතර ඒවා පසුගිය වසර 60 ක කාලය තුළ ඇති වූ දරුණුම ව්‍යසනයන්ය. දේශගුණික විපර්යාසය පිළිබඳ විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික විපර්යාසය නිසා අනාගතයේ දී මීට වඩා දරුණු තාප රැුලි හා ගංවතුර ව්‍යසනයන් ඇතිවීමට නියමිත බවය. යුරෝපා කොමිසමේ ඒකාබද්ධ පර්යේෂණ ආයතනයට අනුව දැනට ගංවතුර නිසා සිදුවන හානිය වසරකට යුරෝ බිලියන 7.8ක් ලෙස සලකන නමුත් වසර 2100 වනවිට මෙය යුරෝ බිලියන 48ක් දක්වා ඉහළ යනු ඇත; විපතට පත්වන මිනිසුන් සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යනු ඇත. කෙසේ වුවද සිදුවිය හැකි ව්‍යසනයන් ගැන විද්‍යාඥයින් අනාවැකි කියනවාට වඩා අතිශය බරපතල තත්ත්වයක් දැනටමත් උදාවී ඇත. ඒ පිළිබඳව ඔවුහු විශ්මයට පත්වී සිටිති.
 
 * චීනයේ ගංවතුර
 
 මේ සතිය වනවිට චීනයේ ද දැවැන්ත දේශගුණික විපර්යාස ප‍්‍රතිවිපාක වාර්තා වී ඇත. චීනයේ හෙබී පළාතේ හෙනාන් ප‍්‍රදේශයේ ඒනියැන් නගරයේ 73,000 ක පිරිසක් දරුණු කුණාටුවක් නිසා ආරක්ෂක ස්ථාන කරා රැුගෙන යෑමට සිදුවී ඇති බව වාර්තා වේ. චීනයේ සෙන්සොව් ප‍්‍රදේශයට අවුරුද්දකට වැටෙන මුළු වැසි ප‍්‍රමාණය වූ මිමි 600 ක ජල ප‍්‍රමාණය එක දිගට දිනක් තුනක් තුළ ඇදහැලීම නිසා මහා ගංවතුරක් හට ගෙන ඇත. මේ වනවිටත් ඉන් 25 දෙනෙක් පමණ මියගොස් ඇති අතර මෙම ඛේදවාචකය පිළිබඳව සමාජ මාධ්‍යවල විවිධ ඉතාම ඛේදනීය වීඩියෝ දර්ශන හුවමාරු වෙමින් තිබේ. සුනාමිය අවස්ථාවේ හික්කඩුවේ පෑරලිය සිදු වූ දුම්රිය ඛේදවාචකයට සමාන තත්ත්වයක් චීනයේ දුම්රියක් තුළ සිදුවී තිබේ. දුම්රිය පෙට්ටියට වඩා උස ජලකඳක් ගංවතුර නිසා එළියේ පැවතුන අතර ජලය දුම්රිය පෙට්ටිය තුළට කාන්දුවීම නිසා මිනිසුන් ජලයේ ගිලී හුස්ම ගැනීමට නොහැකිව මිය යන තත්ත්වයක් උදාවී ඇත. ත‍්‍රාසජනක චිත‍්‍රපටයක මෙන් එහි හිරවී සිටි සියගණනක් මගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා දුම්රිය පෙට්ටියේ වහල කපා දැවැන්ත මෙහෙයුමක් කිරීමට මුදවාගැනීමේ නිලධාරීන්ට සිදුවී තිබේ.
 
 * දේශගුණික අනාථයෝ
 
 දැනට ලෝකයේ විවිධාකාර ලෙස අනාථවූවෝ සිටිති. විශේෂයෙන්ම මිනිසුන් අතර ගැටුම් හා යුද්ධ නිසා අනාථ වූවෝ සිටිති. නමුත් අනාගත ලෝකයේ වැඩිම පිරිසක් අනාථවන්නේ දේශගුණික විපර්යාස නිසාය. අද ලෝකයේ එම අසරණ වන ජනතාව හඳුන්වන්නේ දේශගුණික අනාථයන් (Climate Refugees)  ලෙසයි.
 
 පසුගිය අපේ‍්‍රල් මාසයේ දී එක්සත් ජාතීන්ගේ අනාථයන් පිළිබඳ මහ කොමසාරිස් ප‍්‍රකාශ කළේ 2010 න් පසු කාලයේ මිලියන 21.5 ක පමණ පිරිසක් එනම් ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහනයට සමාන ප‍්‍රමාණයක් දේශගුණික අනාථයන් බවට පත්වී ඇති බවයි. එම පිරිස අනාථ වී ඇත්තේ දේශගුණික විපර්යාසය නිසා සිදුවූ නියඟය දුර්භික්ෂය, ගංවතුර, නායයෑම්, මුහුදු ගොඩ ගැලීම ආදිය නිසාය.
 
 පසුගිය වසර 30 තුළ දී සිදුවූ දේශගුණික විපර්යාසය නිසා සිදුවූ මුහුදේ ජලමට්ටම ඉහළ නැගීමෙන් අනාරක්ෂිත වන ජනතාව සංඛ්‍යාව දැනටමත් මිලියන 160 සිට මිලියන 260 දක්වා ඉහළ ගොස් ඇත. නිදසුනක් ලෙස බංගලිදේශයේ භූමියෙන් 17% ක් පමණ ජලයෙන් යටවන අතර ඉන් මිලියන 20ක ජනතාවක් 2050 වන විට අනාථයන් බවට පත්වේ. ශ‍්‍රී ලංකාවේ ද වැඩි ජනතාවක් ජීවත් වන්නේ වෙරළබඩ කලාපයේ හා පාරිසරික වශයෙන් අවදානම් කලාපවල බැවින් අපේ රටේ ජනතාව ද විශාල වශයෙන් දේශගුණික අනාථයන් බවට පත්වීමට නියමිතය. එපමණක් නොව අපේ අසල්වැසි රට වන මාලදිවයින මුහුදු මට්ටමේ සිට මීටර් 3කට වඩා උස නැති රටක් නිසා එම ¥පත් මුහුදට යටවන විට එහි වාසය කරන ලක්ෂ 5.4 ක ජනතාව දේශගුණික අනාථයින් බවට පත්වේ. එමනිසා මාලදිවයින්වාසීන් දැනටමත් ශ‍්‍රී ලංකාවට සංක‍්‍රමණය වෙමින් තිබේ. එය අවසානයේදී භූමිය වෙනුවෙන් වූ පොරයක් බවට පත්වනු ඇත. ඔස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් අනාවැකි කියන්නේ 2050 වනවිට සමස්තයන් ලෙස ලෝකයේ ජීවත්වන ජනතාවගෙන් බිලියන 1.5ක් පමණ දේශගුණික අනාථයන් බවට පත්වන බවයි.
 
 * දේශගුණික විපර්යාසය – මහපොළවේ යථාර්ථයයි.
 
 මේ සියල්ල සිදුවෙමින් පවතින්නේ මේ වසරේ නොවැම්බර් මස මහා බි‍්‍රතාන්‍යයේ ගැස්ටොව් නුවර මහා බි‍්‍රතාන්‍ය හා ඉතාලිය එක්ව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාසය පිළිබඳ 26 වන මහා සමුළුවක් පවත්වන්නට නියමිතව තිබෙන පසුබිමකයි. එමෙන්ම යුරෝපීය ප‍්‍රජාව 2030 වනවිට සිය කාබන් ඩයොක්සයිඞ් වායුව මුදා හැරීම 55%කින් අඩු කිරීම ප‍්‍රකාශයට පත් කරන සතියක් තුළය. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාසය පිළිබඳ පැරිස් සමුළුවේ දී රාජ්‍ය නායකයින් මේ ශතවර්ෂය අවසන් වන විට ලෝකයේ උෂ්ණත්වය මීට අවුරුදු 150 කට පෙර තිබූ මට්ටමට වඩා සෙන්ටිගේ‍්‍රඞ් අංශක 3-4 කටත් වඩා ඉහළ යන බව පිළිගත්හ. එසේ වුවහොත් දේශගුණය වෙනස් වන බවත් එමගින් වගාබිම් විනාශ වී, ලොවට මහා දුර්භික්ෂයකට මුහුණ දෙන්න සිදුවන බවත් එම නිසා ලෝකයේ වාසය කරන බහුතරයක් දුප්පත් ජනතාවට ජලය නොමැතිව, කෑම බීම නොමැතිව මියයෑමට සිදුවේ.
 
 දේශගුණික විපර්යාසය නිසා ලෝකයේ වැසි වසින රටා සියල්ල වෙනස් වී ඇත. කලට වැසි නොලැබේ. අකලට වැසි වසී. වහින විට තදින් වසී. ගංවතුර හා නායයෑම් නිසා ජීවිත නැතිවේ. ජනතාවට උන්හිටි තැන් නැතිවේ. දේපල විනාශ වේ. ගංවතුර නිසා ගොවිතැන් විනාශ වේ. මැසි මදුරු උවදුරු වැඩිවේ. ඩෙංගු වැනි කෘමි උවදුරු නිසා ඇති වන වසංගත රෝග සීඝ‍්‍රයෙන් පැතිරේ. පායන විට තදින් පායයි. වතුර හිඟවේ. නියඟය නිසා ගොවිතැන් විනාශ වේ. වනාන්තර ගිනිගෙන දැවී අළුවී යයි. සුළි සුළං භූමිකම්පා සුනාමි පෙර නොවූ විරූ පරිමාණයෙන් සිදු වෙමින් තිබේ. මුහුදේ ජල මට්ටම ඉහළ යෑම නිසා මුහුදු වෙරළ ඛාදනය සිදුවේ. ගංගා දිගේ රටවල් තුළට කරදිය ගලා ඒම නිසා මුහුදුබඩ ප‍්‍රදේශ විනාශවෙමින් තිබේ. වසරින් වසර මේ විනාශයන් සිදුවන වාර ගණන වැඩිවෙයි. ඒවායින් විපතට පත්වන සංඛ්‍යාව ඉහළ යයි. සිදුවන අලාභය වැඩිවේ. මේ සියලූ වෙනස්කම් පිළිබඳ සැබෑ හේතුව දේශගුණික විපර්යාසය බව ඒ පිළිබඳ ජගත් විද්වත් එකමුතුව සිය පස්වන ඇගයීම් වාර්තාව මඟින් ලොවට දැනුම් දුන්නේය.
 
 මේ ලෝකයේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය 1850 ට වඩා 50% පමණ හා වායුගෝලයේ උෂ්ණත්වය මේ වනවිට සෙන්ටිග්‍රෙඞ් අංශක 1 කින් දැනටමත් ඉහළ ගොස් ඇත. දැනටමත් අහසට මුදා හැර ඇති කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය නිසා තවත් අංශක එකකින් පමණ වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම නැවැත්වීමටත් නොහැකියි. මේ යන අයුරින් ඉදිරියේදීත් ක‍්‍රියා කළහොත් මේ ශතවර්ෂය අවසන් වන විට ලෝකයේ උෂ්ණත්වය තවත් සෙන්ටිග්‍රෙඞ් අංශක 3 කටත් වඩා ඉහළ යා හැකියි. එමෙන්ම වසර 2300 වන විට මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 12 කින් වුව ද ඉහළ යා හැකිය. මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 2 වඩා වැඩි වුවහොත් වගාබිම් විනාශ වී මහා දුර්භික්ෂයකට මුහුණදීමට සිදුවන බවත් ඒ නිසා ලෝකයේ වාසය කරන බහුතරයක් දුප්පත් ජනතාවට වතුර නැතිව, කෑම බීම නැතිව මියයෑමට සිදුවෙන බවත් විද්‍යාඥයන් මේ වාර්තාවෙන් අනතුරු අඟවා ඇත. දේශගුණික විපර්යාසයට හේතුව පොසිල ඉන්ධන එනම් ගල්අඟුරු, ඛනිජතෙල් හා ස්වාභාවික වායු පුච්චා ශක්තිය
 
 ලබාගැනීමයි. දැනට තිබෙන මේ මිනිස් ශිෂ්ටාචාරය බිහිවී මේ වනතෙක් පවතින්නේ මේ පොසිල ඉන්ධන දහනයට පිංසිදුවන්නටයි. එම පොසිල ඉන්ධන දහනයෙන් අපි ශක්තිය ලබාගන්නා නමුත් ඉන් පිටවන කාබන් ඩයොක්සයිඞ් නිසා මිහිතලය උණුසුම් වී දේශගුණික විපර්යාසය ඇති වේ.
 
 එක්සත් ජාතීන් දේශගුණික විපර්යාසය පිළිබඳව පළමුව කථා කළේ 1992 දී පැවති මිහිතල සමුළුවේ දීය. පළමුව ලෝක නායකයෝ ‘අඩුවෙන් කාබන් පිටකිරීම අඩු කිරීම’ (Mitigation) ගැන කථා කළහ. එහෙත් ඒ අතර තුර මිහිතලයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගියේය. ඊට පසු ලෝක නායකයෝ ‘දේශගුණික විපර්යාසයට හැඩ ගැහීම’ (Adaptation) ගැන කථා කළහ. එහෙත් ඊට හැඩගැහීමට ලෝකයේ ජීවත් වන බහුතරයක් ජනතාවට නොහැකි විය. එමනිසා අනිවාර්යයෙන්ම ඔවුනට විපත්වලට මුහුණ දීමට සිදුවිය. එබැවින් ඉන්පසු අවදානම අඩු කිරීම ගැන කථා කළහ. එබැවින් ‘අපිට’ අවදානමට ලක් වූ ජනතාව බේරා ගැනීම (Disaster Risk Reduction- DRR) ගැන කථා කරන්න සිදුව ඇත. තවද එලෙස අවදානම්වලින් ජනතාව බේරා ගැනීමට නොහැකි නිසා, සිදුවන විපත්වලින් පසු වන්දි ගෙවීම උදෙසා ‘අහිමිවීම් හා හානි’ (lose & Damage)  ලෙස නව මාතෘකාවක් ඉදිරිපත් විය. මිනිසුන් හට තමන් ජීවත් වූ පරිසරය තවදුරටත් තමන්ට ජීවත්වීමට නොහැකි මට්ටමට විනාශ වූ පසු එම ජනතාවට වෙනත් ප‍්‍රදේශවලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සංක‍්‍රමණය වෙන්න සිදුවේ. ඒ නිසා ලෝක නායකයින්ට ‘සංක‍්‍රමණය’  (Migration) නම් වූ නව මාතෘකාවක් ගැන අලූතින් කථා කිරීමට සිදුවී ඇත. එය මිනිසුන් එකිනෙකා මරාගන්නා තත්ත්වයක් (Riots) දක්වා වර්ධනය වීමට හේතුවනු ඇත. දේශගුණික අනාථයින් බිහිවෙමින් සිටින්නේ ඒ අනුවය.
 
Asoka
සකස් කළේ – ජගත්
 
 අශෝක අභයගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment