පිට වාහනවලට වනෝද්‍යානවල දොර වැසෙයි

131

යාල, විල්පත්තු, හෝර්ටන්තැන්න ආදී ජාතික වනෝද්‍යාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිදු වාහනයකට ඇතුළු වීම තහනම් කිරීම ආදී පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත නියම කළේය.

එතෙක් මෙම ජාතික වනෝද්‍යානවලට ලියාපදිංචි සෆාරි වාහන හැරෙන්නට වෙනත් කිසිදු වාහනයක් ඇතුළු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග නිකුත් කර තිබේ.

ඊට අමතරව ශ්‍රී පාද අඩවි වනාන්තරය, සිංහරාජය ඇතුළු පාරිසරිකව වැදගත් වන ස්ථාන ආරක්ෂා කිරීමේ වෙනමම නීති කඩිනමින් ඊට ඇතුළත් කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබූවේ පරිසර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී ය.

හෝර්ටන්තැන්නට පිවිසෙන පට්ටිපොල සිට සහ ඔහියේ සිට ගමන් පහසුව සැලසීම සඳහා පරිසර හිතකාමී ඉලෙක්ටි්‍රක් වාහන යොදා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වල සඳහන් වේ. මීට අමතරව කැබලිත්ත පූජාභූමිය ද සුරැකීමට අවශ්‍ය නීති සකසන ලෙස ද මෙහිදී දන්වා තිබේ.

මෙරට වන වැස්ම 35% ක් වැනි අඩු අගයක පැවතීම නිසා ඉදිරියේ දී කරන සියලු සංවර්ධන ව්‍යාපෘතිවලදී මේ ගැන සැලකිලිමත් වන ලෙස වන වැස්මට හානි වන කිසිදු ව්‍යාපෘතියකට අවසර නොදෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය.

යාල විල්පත්තු සහ හෝටන්තැන්න ආදී පරිසර පද්ධති නැරඹීමට යන සංචාරකයන් සඳහා ද විදුලියෙන් ධාවනය වන රථ යෙදවීම කඩිනමින් කළ යුතු යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය. එසේම සොබාව සෞන්දර්ය රැක ගැනීමට අදාළ නව නීති ද මෙම පනතට ඇතුළත් කරන ලෙස ද ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබේ.

යාල විල්පත්තු සහ හෝර්ටන් තැන්න ආදී වනෝද්‍යානවල පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වහාම වැඩි කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වල තවදුරටත් සඳහන් වෙයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment