පින්තාරුකරුවා කුලියට විදුලි භාණ්ඩ ගෙන අපූරු ගේමක් ගහලා… භාණ්ඩවල වටිනාකම ලක්ෂ 40 ක්

501

කුලී පදනම මත දෙන යාන්ත්‍රික විදුලි භාණ්ඩ අලෙවි වෙළෙඳ සල්වලට ව්‍යාජ හැඳුනුම්පත්වල පිටපත් ලබා දී විදුලි භාණ්ඩ ගෙන අලෙවි කර ලක්ෂ ගණන් මුදල් උපයා ගනිමින් හා තවත් භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ගලිගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සමත්වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල තලේවල ප්‍රදේශයේ පදිංචිව සිටින 41 හැවිරිදි පින්තාරුකරුවකු බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගෙන ඇති පින්තාරුකරු කාලයක සිට විවිධ ප්‍රදේශවලට ගොස් වාහන අලුත් වැඩියා කර තීන්ත ආලේප කිරීම රැකියාව වශයෙන් සිදු කර ඇති බවත්, රැකියාවට අවශ්‍ය අමතර භාණ්ඩ ගලිගමුව, පොල්ගහවෙල, දංඕවිට, පරගම්මන, බටලීය හා ජාඇල ප්‍රදේශවල පිහිටි කුලියට භාණ්ඩ දෙන ස්ථානවලට ගොස් ව්‍යාජ හැඳුනුම්පත්වල පිටපත් දී ලක්ෂ ගණන් වටිනා විවිධ යාන්ත්‍රික විදුලි උපකර රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පැමිණිලි ලැබී තිබුණු බව වාර්තා වේ. කුලියට භාණ්ඩ ලබාගත් පින්තාරුකරු පොරොන්දු ආකාරයට නියමිත කාලයේදී වෙළෙඳ සල්හිමියන්ට යළි භාණ්ඩ ආපසු භාර නොදුන් බවත් ඔවුනට දී තිබුණු හැඳුනුම්පත් කොපිය ව්‍යාජ බවත් කෑගල්ල පොලිසියට ලැබුණු පැමිණිලි විස්තර කර තිබුණි.

පැමිණිලිවලට අනුව සැකකරු ගලිගමුව නගරයේ දී අත්අඩංගුවට ගෙන කරන ලද විමර්ශන කටයුතු වලදී අනාවරණය වී ඇත්තේ කුලී පදනම මත ගත් භාණ්ඩ වලින් කොටසක් අලෙවි කර මුදල් ලබා ගෙන ඇති බවත් තවත් කොටසක් සැකකරුගේ නිවෙසේ තබා තිබියදී හා සේවය කරන ලද ස්ථානවල තිබියදී අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගෙන ඇති යාන්ත්‍රික විදුලි භාණ්ඩවල මුළු වටිනාකම ලක්ෂ 40 ක් බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු හා යාන්ත්‍රික විදුලි භාණ්ඩ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පැවසීය. කෑගල්ල කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත සහ සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන නිලධාරීන්ගේ මෙහෙය වීම මත කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක විජේරත්න, පොලිස් සැරයන්වරුන් වන මාරසිංහ (36045), ලාල් (53766), සේනාරත්න (50060), පොලිස් කොස්තාපල්වරුන් වන සේනාධීර (85332) සහ දර්ශන (84893) යන නිලධාරීන් සැකකරු සමග භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබුණි.

කොටියාකුඹුර – රම්‍යපාල

advertistmentadvertistment
advertistmentadvertistment