හෝටලයකදී මරා වැසිකිළි වළට දැමූ තරුණ කතගේ මළ සිරුර ගොඩගනී

1478

දින කීපයකට පෙර කළමනාකරු එක්ක
කොළඹ සිට ආ කාන්තාවක් – පදිංචිය කඩවත

හෝටලයේ කළමනාකරු පලා ගිහින්

පානදුර, පින්වත්ත ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී තරුණ කාන්තාවක ඝාතනය කර වැසිකිළි වළක් තුළ දමා ඇති බවට ලද පැමිණිල්ලක් මත ඊයේ (29 දා) පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි.

එහි හෝටල් හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.

පානදුර , පින්වත්ත කීල්ස් නිවාස සංකීර්ණ පාරේ පිහිටා ඇති සංචාරක හෝටලයක වැසිකිළි වළක් තුළ කාන්තා මළසිරුරක් ඇති බවට ලද පැමිණිල්ල මත පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහු ද ඊයේ පස්වරුවේ පරීක්ෂණ සිදු කළහ.

අදාළ තරුණිය කඩවත ප‍්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි අයකු බවට හෙළිව ඇත.

හෝටල් කළමනාකරු විසින් දින කිහිපයකට පෙර කොළඹ ප‍්‍රදේශයේ සිට පානදුර පින්වත්ත හෝටලයට අදාළ තරුණිය කැටුව විත් ඇති බවටත්, එහි තවත් සේවකයින් දෙදෙනකු සමග අවස්ථා කිහිපයකදී ඇය සමීප හිතවත්කම් පවත්වා ඇති බවටත් ලැබී ඇති තොරතුරු මත පරීක්ෂණ පවත්වන බව පොලිස් නිලධාරියෙක් කීය. වීරකැටියේ පදිංචිකරුවකු වන අදාළ හෝටලයේ කළමනාකරු පලාගොස් ඇති බව පොලිසිය කියයි. ඔහු සොයා පරීක්‍ෂණ කි‍්‍රයාත්මකය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ සේවකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කීය.

මළ සිරුර පානදුර මහෙස්ත‍්‍රාත් ලහිරු එම්. සිල්වා මහතා ඉදිරියේ ඊයේ (29 වැනිදා) සවස ගොඩගනු ලැබීය. අඩි 5 ක් පමණ උසැති මෙම කාන්තාවගේ වම් අතේ මැණික් කටුව අසල පච්චයක් කොටා තිබූ බවත් කළු පැහැති ඩෙනිම් කලිසමක් හා කළු පැහැති ටීෂර්ටයක් ඇය ඇද සිටි බව පොලිසිය කියයි.

මියගිය කාන්තාව කවුරුන්ද යන්න ඊයේ සවස් වනතුරුත් හෙළිවී නොතිබිණි.

කළුතර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිරෝෂ් ධර්මසේන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේරත්, උප පොලිස් පරීක්ෂක පෙරේරා, මහ සැරයන් ජයසිංහ, කොස්තාපල්වරුන් වන ජේ.ජී.එස්.කේ. ජයසිංහ (95643) සහ එම්.කේ.ඞී.ඞී. දිසානායක (97896) පරීක්ෂණ සිදු කරති.

ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම, කැස්බෑව ජයසිංහ, පානදුර දීපිකා කාරියවසම්, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment