පියවරුන්ගේ දිනයදා කුඩුලෝලී පියාගේ කඩු පහරින් අටමස් බිලිඳිය මරුට

313

* බේරාගන්න හැදූ ආච්චිගේ කපා වෙන්වූ අත බද්ධ කිරීමට බැරිවෙයි

* සීයාගේ අතේ ඇගිලි තුනකුත් කපලා

* බේරාගන්න හැදූ ආච්චිගේ කපා වෙන්වූ අත  බද්ධ කිරීමට බැරිවෙයි


ත‍්‍රිකුණාමලය, කප්පල්තුරේ ප‍්‍රදේශයේදී පියකු විසින් සිය මාස 5ක් වයසැති බිලිඳියට කඩුවෙන් කොටා අමානුෂික අන්දමින් ඝාතනය කර ඇතැයි ත‍්‍රිකුණාමලය චීනවරාය පොලිසිය පවසයි.

මෙම ඝාතනය පෙරේදා (19 වැනිදා) රාත‍්‍රී සිදුවී තිබේ.

එම අපරාධය වැළැක්වීමට මැදිහත්වූ බිළිඳියගේ මිත්තනියට හා සීයාටද සැකකරු විසින් කඩුවෙන් කොටා ඇති අතර ඔවුන්ද බරපතළ කැපුම් තුවාල ලබා ත‍්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ත‍්‍රිකුණාමලය, කප්පල්තුරේ පදිංචිව සිටි තක්ෂාන් නමැති පස් මස් බිලිදියකි.

ඝාතනයෙන් පසු 23 හැවිරිදි පියා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. සැකකාර පුද්ගලයා මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිවූ අයකු බවද හෙලිවී තිබේ.

15 හැවිරිදි බිරිය සිය දරුවාට කිරිදෙමින් සිටින අවස්ථාවේ සැකකරු පැමිණ ඇය සමග ආරවුලක් ඇතිකරගෙන තිබේ. ඒ අවස්ථාවේ මාමණ්ඩිය (බිරියගේ පියා) පැමිණ බිලිඳිය රැගෙන යන අතර සැකකරු සමග බහින් බස්වී තිබේ. ඒ අවස්ථාවේ සැකකරු කඩුවක් රැගෙන විත් මාමණ්ඩියට කෙටීමට උත්සාහ කිරීමේදී වඩාගෙන සිටි බිලිඳියගේ හිසට කඩුපහර එල්ලවී තිබේ. තමන් එල්ල කළ කඩු පහරින් මාමණ්ඩියගේ අතේ ඇගිලි 3ක් වෙන්වී තිබේ. එම අවස්ථාවේ එය බේරීමට මැදිහත්වූ වූ නැන්දනියට ද සැකකරු කඩුවෙන් කෙටීම නිසා ඇගේ එක් අතක් වෙන් වී තිබේ.

වෙන්වී බිම වැටී තිබු අත එම කාන්තාවට බද්ධ කිරීමට ත‍්‍රිකුණාමලය රෝහලට රැුගෙන ගිය ද එය බද්ධ කිරීමට නොහැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘‘දිවයින’’ට පැවැසීය.

ඝාතනයට ලක්වූ බිලිඳියගේ මව, සැකකරු විසින් විවාහ කරගෙන සිටියද 15 හැවිරිදි බාලවයස්කාර දැරියක විවාහ කරගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක්ද විභාග වෙමින් පවතින බවද පොලිසිය කියයි.

ත‍්‍රිකුණාමලය වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා විසින් බිලිඳියගේ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීය.

සැකකරු කැළැබද ප‍්‍රදේශයක සැ`ගවී සිටින බව තොරතුරු ලැබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත් කර යැව් බවද එම නිලධාරියා කීය.

ලෝක පියවරුන්ගේ දිනය ඊයේ දිනයට යෙදී තිබු පසුබිමක පියවරුන්ට නිගා දෙන මෙම සිද්ධිය ගැන සමාජය තුළ කතාබහක්ද ඇතිවී තිබේ.

මේ පිළිබඳව ත‍්‍රිකුණාමලය චීනවරාය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. ඒ. පී. රණවීර මහතාගේ උපදෙස් මත උපපොලිස් පරීක්‍ෂක හේරත් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ සමන් මල්ලවආරච්චි ත‍්‍රිකුණාමලය

advertistmentadvertistment
advertistmentadvertistment