පියාගේ කොසුමිටි පහරට ජීවිතයෙන් වන්දි ගෙවූ ගිම්හාන් පුතුගේ දේහය මිහිදන් කරයි – මේක හිතාමතා කරපු දෙයක් නෙමෙයි තාත්තා හරිම අහිංසකයි….. ඥාතියෙක් කියයි

1782

* පුතාගේ අනාගතය ගැන දහසක් බලපොරොත්තු පොදි  බැදගෙන සිටි තාත්තා රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට සුසම් හෙළද්දී……

ඔන්ලයින් පාඩම්වලට සම්බන්ධ නොවීම නිසා පියා කළ තරවටුවක් නිසා මෙලොව හැරගිය 16 හැවිරිදි ගිම්හාන් විමුක්ති සිසුවාගේ අවසන් කටයුතු ඊයේ 02දා සිදුවිය.

මේ ගිම්හාන් ගැන ඒ අනුවේදනීය කතාවයි.

කොවිඞ් ව්‍යාප්තිය හමුවේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සිදුව ඇත්තේ ඔන්ලයින් ක‍්‍රමයටයි. එනමුත් ඇතැම් දරුවන් විවිධ හේතු මත ඒවාට උනන්දුවක් දක්වන්නේ නැත. මේ එලෙස පාඩම් වැඩවලට උනන්දුවක් නොදැක්වූ දරුවෙකුට පියකු දුන් දඬුවමක් හේතුවෙන් සිදු වූ ඛේදවාචකයකි.

පියාගේ කොසුමිටි පහරට ජීවිතයෙන් වන්දි ගෙවූ ගිම්හාන් පුතුගේ දේහය මිහිදන් කරයි - මේක හිතාමතා කරපු දෙයක් නෙමෙයි තාත්තා හරිම අහිංසකයි..... ඥාතියෙක් කියයි

ඔන්ලයින් පාඩම්වලට සම්බන්ධ නොවීම නිසා පියා කළ තරවටු කිරීමකින් තම පුතා මියගිය පුවතක් නිසා ගාල්ල දඩල්ල සියඹලාගහවත්ත ප‍්‍රදේශය පමණක් නොව මුළු රටම දැඩි ශෝකයෙන් ඇළලී ගියේ ඉකුත් 30දාය.

මේ ගැන සොයා බලන්නට අප සියඹලාගහවත්තට යනවිට ප‍්‍රදේශවාසීන් එහි රැස්ව සිටියේ, ප‍්‍රදේශයේ කවුරුත් හඳුනන අහිංසක තාත්තා කෙනෙක් අතින් මෙහෙම දෙයක් වුණේ කෙසේදැයි යන්න මුමුනමිණි.

පසුගිය 29 දා තම පියාගේ කොසු මිටක තරවටුවකින් හිසේ හිරිවැටීමක් නිසා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවා කවුරුත් නොසිතූ ලෙස 30දා අළුයම මෙලොව හැර

ගියේය.

මෙසේ මියගොස් ඇත්තේ ප‍්‍රදේශයේ උසස් විද්‍යාලයක සාමාන්‍ය පෙළ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහු නමින් එස් .ඒ.ගිම්හාන් විමුක්ති යි. තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවෙනියා වූ විමුක්තිට අයියා කෙනෙක් සහ නංගී කෙනෙක් සිටී.

විමුක්තිගේ පියා 49 වියේ පසුවෙයි. ඔහු මේ තරවටුව කළේ තම පුතාගේ අනාගතය ගැන ඇති බලවත්වූ බලාපොරොත්තු නිසාමය. ඥාතියෙකු වන වීරක්කොඩි ලසන්ත මහතා ඒ පිළිබඳව මෙසේ කීවේය.

”මේ මියගිහිල්ලා තියෙන්නේ මගේ අක්කගේ දුගේ පුතා. පුතා ඔන්ලයින් ගියපු නැති නිසා තාත්තා සැර කරලා, පොඞ්ඩක් තරවටු කරලා තියෙනවා. හෙමින් පිටට ගහලා තියෙන්නෙ, එතකොට ඉතිං අනේ…ඔළුවට වැදිලා තියෙනවා. මේක හිතාමතා කරපු දෙයක් නෙමෙයි. තාත්තා හරිම අහිංසකයි. මේ කතාකරන වෙලාවෙත් තාත්තා පොලීසියේ ඉන්නේ…පුතා මියගියා කියලා එයා දන්නේ නැහැ.” ඔහු හැඬූ කඳුළින් කියා සිටියේය.

ගිම්හාන් විමුක්ති සිසුවා තම මවට පවසා තිබුණේ තාත්තාගේ තරවටුවෙන් පසුව තම හිස හිරිවැටී ඇති බවය. ඒ අනුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

සිය පියා නිතර ගිම්හාන්ට පවසා ඇත්තේ ඔන්ලයින් ක‍්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙසයි. එහෙත් ගිම්හාන් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වා නැහැ. ඒ අනුව පියා විසින් කොසු මිටකින් තරවටු කර තිබුණි. නමුත් අවාසනාවන්ත ලෙස සිදු වුයේ සිදුවුයේ කිසිවකු නොසිතූ දෙයක්.

සැකකාර 49 වැරදි පියා ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔක්තෝබර් 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවීමට ද මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය සභාපති ආචාර්ය මුදිත විදානපතිරණ මහතා මාධ්‍ය හමුවකදී මෙසේ කියා සිටියේය. ”මොන ආකාරයේ දඬුවමක් වුණත් තමා කරේ එය හොඳ චේතනාවෙන් වුණත් එහි ඇතිවන ප‍්‍රතිඵලය ඉතා ම නරකයි. ළමයින්ට දඬුවම් කිරීම සීයයට දෙසීයක් වැරදියි. ඒ වෙනුවට කළ යුත්තේ ශික්ෂණයම පමණයි.”

මේ පිළිබඳව සමාජ මාධ්‍යයේ විවිධ කතා අසන්නට දකින්නට ලැබේ. පියා පිළිබඳව ඇතැමෙක් සානුකම්පිකව කතා කරන අතර තවත් පිරිසක් පියා වැරදි යයි කියයි. මේ ගැන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා අප කළ විමසුමකදී මෙසේ කීවේය. ”සමාජ මාධ්‍ය කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ දෙයක්. අද මේ සමාජ මාධ්‍ය තමයි මිනිසුන්ගේ ජීවිත තීරණය කරන්නේ. ඒවගේම නඩු අහන්නේ. තීන්දු තීරණ දෙන්නේ. අහිංසක මිනිසුන් අපරාධකරුවන් කරන්නේ. අපරාධකරුවන් අහිංසක මිනිස්සු කරන්නේ. හොඳට හොයල බලනකොට මතුපිට තියෙන දේ නෙමෙයි තියෙන්නේ, වෙනත් දෙයක්. ඒක නිසා මිනිස්සුන්ට අවබෝධයක් ලැබෙන පරිදි නිවැරදි පණිවිඩයක් තමයි සමාජ මාධ්‍යයේ ඉදිරිපත් කරන්න ඕන. ඒ තත්ත්වය ඉතාම වැදගත් මිනිස්සුන්ගේ ආරක්ෂාව සඳහා.”

මේ වනවිට සියල්ල සිදුවී හමාරය. මෙම සිද්ධිය මුළුමහත් සමාජයටම යමක් කියාදෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.

හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්, ගාල්ල ලලිත් චාමින්ද, එස්.කේ.කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment