පියා ළඟට යවනවාට උරණවූ දහතුන් හැවිරිදි දරුවා කනේරු ඇට කා මරුට

645

පියාගෙන් වෙන්ව මව සමග ජීවත් වූ 13 හැවිරිදි දරුවෙකුගේ දඟකාරකම් නිසා පියා ළඟට යවනවා යැයි මව තරවටු කිරීම හේතුවෙන් සිත් තැවුලට පත් එම දරුවා කනේරු ඇට කා මිය යෑමේ ශෝක ජනක පුවතක් කන්තලේ අග්බෝපුරින් වාර්තා වෙයි.

 මෙලෙස දිවි තොර කර ගෙන ඇත්තේ අග්බෝපුර පිබිදුනුගම පී.කේ.එස්.කේ. ලක්මාල් තිලකරත්න නම් 8 වසර ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.

 ‘‘මම පුරුෂයාගෙන් වෙන්වෙලා දැනට වසර තුනක පමණ කාලයක් මේ දරුවන් එක්කයි ඉන්නේ. මට තව විවාහ වුණු ගැහැණු ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මේ පුතා හරිම මුරණ්ඩුයි. කේන්ති ගියාම මටත් ගහනවා. සිද්ධිය වූ 22 උදේ 11ට විතර මගෙත් එක්ක රණ්ඩු වුණා. මම ඒ වෙලාවෙ කිව්වා ‘උඔ මේවගේ මටත් පහර දෙනවා නම් මම උඔව අප්පච්චි ළඟට යවනවා කියලා…’ හවස 5 ට විතර පුතා ඇවිත් කිව්වා ‘මම මල් ඇට කෑවා…’ කියලා. 11 ට විතර තමයි කාල තියෙන්නේ. දැන ගත්ත වෙලේ අපි එයාව කන්තලේ රෝහලට අරගෙන ගියා. එහෙන් මලේට ඇරියා. ඒත් 23 දා ආරංචි වුණා පුතා මියගියා කියලා…’’ යැයි දරුවා ගේ මව පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

 පශ්චාත් මරණ පරීක්ෂණ ත‍්‍රිකුණාමලය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදු කළ අතර ත‍්‍රිකුණාමලය හදිසි මරණ පරීක්ෂක රූම් නුහුරුල්ලා මහතා මෙය විෂ ශරීර ගත්වීමෙන් සිදුවූ මරණයක් බව තීරණය කළේය.

 සිද්ධිය සම්බන්ධයෙන් අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඞී.එම්.ජී.බී. දහම්පත් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක පේ‍්‍රමරත්න මහතා පරීක්ෂණ සිදු කළේය.

කන්තලේ – ඩබ්.එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment