පිරවුම් හලක් ළඟ කලබල කළ සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට

168

ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම් හලක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයකුට පහරදීම සම්බන්ධව හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා ඇතුළු තිදෙනකු ඊයේ (20දා) උදෑසන ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා හා තවත් සැකකරුවන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුවයි.

ඉකුත් 17වැනිදා ආරච්චිකට්ටුව ජයසූරිය ඉන්ධනහලට ඉන්ධන ලබා ගැනීමට පැමිණ නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ අයකුට මෙසේ හිටපු සභාපතිවරයා (වත්මන් පොදුජන පෙරමුණ සභා මන්ත්‍රී) ඇතුළු තිදෙනකු විසින් පහරදී ඇති බවත්, එම අවස්ථාවේ එහි රාජකාරි කළ පොලිස් සැරයන්වරයකුගේ නිල ඇඳුමෙන් අල්ලා ඔහුට ද තර්ජනය කර රාජකාරියට බාධා කර ඇති බවත් පැවසේ.

හිටපු සභාපතිවරයාගේ නිවස පසුගිය මැයි 9 දින ගිනි තබා විනාශ කිරීමෙන් පසු මෙම සිද්ධිය වන විට ඔහු ඥාතියකුගේ නිවසක රැඳී සිට ඇති බවත් පසුව ඉන් පළා ගොස් සිටි බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

හිටපු සභාපතිවරයා මාස දෙකකට පෙර ආරච්චිකට්ටුව ජනතා විමුක්ති පෙරමුණ හලාවත සංවිධායකවරයාගේ නිවසට පහරදීම ඇතුළු චෝදනා

රැසකට බන්ධනාගාරගතව පසුගිය දා ඇප මත නිදහස් වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව
 

advertistmentadvertistment
advertistmentadvertistment