පිරිත් පැන් වෙනුවට ගිනි පැන් මතුවුණු පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිගණ්ඨ දහම

3123

අති පූජ්‍ය මහානායක නාහිමිවරුන් ඇතුළු මේ රටේ ධර්මධර, විනයධර සුපේෂල, ශික්‍ෂාකාමී සියලු නාහිමිවරුන්ගෙන් පළමුව අපි සමාව අයදින්නෙමු. ඒ මෙවැනි සටහනක් තබන්නට සිදුව තිබීම හමුවේය. කිසිසේත්ම මෙය මඟහැර යා නොහැකි කටයුත්තකි. උතුම් බුදු දහමේ චිරස්ථිතිය උදෙසා මෙය සිදු කළ යුතුවම තිබෙන්නකි. එනිසා අපි ඒ යුතුකම ඉටු කරන්නෙමු.

හෝමාගම පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමන්නට ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලය තීන්දු කරනු ලැබීය. 1981 අංක 74 දරන පනත ප්‍රකාරව ආරම්භ කෙරුණු එම විශ්වවිද්‍යාලය මේ අන්දමට වසා දැමුණු ප්‍රථම අවස්ථාවද මෙය වේ.

කැබිනට් මණ්ඩලය එම තීන්දුව ගනු ලැබුවේද බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ නාහිමියන් විශ්විද්‍යාලය මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇතැයි ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියට පැමිණි පවසමින් උසස් අධ්‍යාපන ඇමැතිවරයාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුවය. විශ්වවිද්‍යාලය තුළ කලක සිට ක්‍රියාත්මක ම්ලේච්ඡ සහ ගෝත්‍රික මට්ටමක තිබූ නවක වධය හේතුවෙන් මෙවර අධ්‍යාපනය සඳහා එහි පැමිණි සිසුන් 34 දෙනකු පමණ විශ්වවිද්‍යාලය හැර යන තත්ත්වයක් නිර්මාණය වීම උපකුලපති නාහිමියන් එම ඉල්ලීම සිදුකිරීමට හේතුවක් වී තිබිණි.

බෞද්ධ හා පාලි විශ්විද්‍යාලය තුළ ක්‍රියාත්මක නවක වධය මේ අන්දමට ම්ලේච්ඡත්වයට පත්වූයේ අද ඊයේද? නැත. එය ඉකුත් 2017 වසරේ පමණ සිට සිදුවන්නකි. එය සිදුවූයේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන අතකොළු බවට සිසුන් පත්වූ දා සිට බව අද එහි ආචාර්යවරුම සඳහන් කරති. එසේ ම්ලේච්ඡ ගෝත්‍රික මට්ටමකට ළඟා වීමෙන් පසුව විශ්වවිද්‍යාලය තුළ මේ නවක වධ ක්‍රියාවලිය සෑම වසරකම ඇරඹී ඇත්තේ කෙසේද? එය සිදුව තිබෙන්නේ නවක සිසුන් කණ්ඩායමක් විශ්වවිද්‍යාලයට පැමිණීමට මාස දෙක තුනක් පමණ තිබියදීය.

එහිදී මුලින්ම කරනුයේ අධ්‍යාපනය හදාරමින් සිටින ගිහි පැවිදි සිසුන් හෙවත් උතමයන් යැයි ඔවුන්ම කියා ගන්නා පිරිස අතරින් විසිපස් දෙනකු පමණ කණ්ඩායමක් තමන් හඳුනාගත නොහැකි වන පරිදි කොණ්ඩා සහ රැවුල් වැවීම ආරම්භ කිරීමය. නවක සිසුන් විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් පසු ඔවුන්ව වධයට ලක්කරන වධකයන් ලෙස කටයුතු කරනුයේ මෙසේ ගෝත්‍රික යක්‍ෂයන්සේ වෙස් ගෙන සිටින ඊනියා උත්තමයන් පිරිසය. එහිදී එය ඇරඹෙන්නේ කෙසේද?

පිරිත් පැන් වෙනුවට ගිනි පැන් මතුවුණු පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිගණ්ඨ දහම

එය පළමු දිනයේම සිදුවන්නකි. නවක සිසුන් විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් පසු නේවාසිකාගාර පරිශ්‍රයට ඇතුළත් වන පොඩි ගේට්ටුව අසළදී ඒ ආරම්භය සිදුවේ. අලුතින් පැමිණි සිසුන් එකී පොඩි ගේට්ටුව අසළ සිට තමන් රැගෙන ආ සියලු බඩුබාහිරාදිය හිසමත තබාගෙන නේවාසිකාගාරය දක්වා ගමන් කළ යුතුව ඇත. එසේ නේවාසිකාගාරයට පැමිණීමෙන් පසු නවක සිසුනට ලැබෙනුයේ පාලනාධිකාරිය විසින් වෙන් කරන ලද කාමර නොව ශිෂ්‍ය සංගමය හෙවත් පෙරටුගාමී මතවාදයන් උණ්ඩුකපුච්චයටම කාවද්දාගෙන කටයුතු කරන ගිහි පැවිදි මැරයන්ගේ නියෝග මත වෙන් කෙරෙන කාමරය.

මෙසේ කාමරවලට ඇතුළත් කිරීමෙන් පසු නවක සිසුන් පිරිස යළි පිටතට ගන්නා එකී මැරයෝ නවකයන් අරඹයා පළමු දේශනය පැවත්වීම ආරම්භ කරති. එහිදී සිදුවන්නේ කුමක්ද? ඔවුන් සඳහන් කරන ආකාරයට උපකුලපති හිමියන් ඇතුළු විශ්වවිද්‍යාලය පාලනාධිකාරියට අයත් ආචාර්ය මහාචාර්යවරු සියලු දෙනා ආණ්ඩුවේ කටුකන නූගත් සුනඛයෝය. මැරයෝ එසේ නවකයන්ට සඳහන් කරන්නාහ. එතැන් සිට තමන්ට ඇතිවන සියලුම ගැටලු නවකයන් විසඳාගත යුත්තේ උත්තමයන් යැයි කියා ගන්නා ගිහි පැවිදි මැරයන් මගින් බවද ඔවහු දැනුම් දෙන්නාහ.

මෙකී නරුම දේශනයෙන් පසු යළි නවක සිසුන් කාමරවලට ඇතුළු කිරීමට ගිහි පැවිදි උත්තම මැරයෝ කටයුතු කරන්නාහ. එතැන් සිට සතියක් හෝ දෙකක් යනතුරු ඔවුනට කාමරවලින් පිටතට ඒම තහනම්ය. ආහාර ගැනීමේ සිට වැසිකිළි කැසිකිළි යෑම ආදී වශයෙන් සියල්ල කළ යුතු වන්නේ උත්තම මැරයන්ට ඕනෑ ආකාරයටය. රැඳී සිටින කාමරවල දොර ජනෙල් විවර කිරීමද නවකයන්ට තහනම්ය. නවකයන් එකී නියෝග කඩකරන්නේ දැයි දැනගැනීම පිණිස වසා දමා ඇති ජනෙල් උළුවහු මත වීදුරු බෝතල් රඳවා තබන්නට උත්තම මැරයෝ කටයුතු කරන්නාහ.

දින ගණනාවක් සුළං පොදක් හෝ හිරු එළිය නොදැක සිටීම හේතුවෙන් ඇතිවන මානසික පීඩනය හමුවේ කිසියම් නවක සිසුවකු ජනේලයක් විවර කිරීමට යෑමේදී මෙකී වීදුරු බෝතල් බිමට වැටී කැඩී බිඳී යන්නේය. එසේ වුවහොත් අදාළ කාමරයේ රැඳී සිටින සිසුන්ට සිදුවන්නේ උත්තම මැරයන්ගේ ගුටි පූජාවකට මුහුණ දෙන්නටය. මේක නවක වධයක්ද? නැත. එය ම්ලේච්ඡත්වය මුදාහැරීමකි. තථාගත බුදුහිමියන් එදා ගිහි ගෙය හැරදා නේරංජනා ගඟෙන් එතෙරව ඇරඹූ ගමනේදී දුකට හේතුව හා එය නැතිකරන මඟ සොයා ආලාර කාලාම, උද්දකරාමපුත්‍ර හා අස්සජී යන ගුරුවරුන් වෙත ගිය බවක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව තිබේ.

එකල්හි එම ගුරු උතුමන්ගේ ආශ්‍රමවල අද බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිටින උත්තම මැරයෝ සිටියේ නම් මහ බෝසතාණන්ට කුමක් සිදු කරනු ඇතිද? අපට එවැනි ගැටලුවක් මේ මොහොතේ මතුවන්නේ ජනාධිපතිවරයා කී ලෙසම කිවහොත් පාලි විශ්වවිද්‍යාලයේ සිටින සිවුරුදාගත් බට්ටෝ සහ උත්තම මැරයෝ විශ්වවිද්‍යාලය විහාරස්ථානයක් නොවන බව පවසා එහි රෝපණය කර තිබූ බෝගස පවා කපා උගුල්ලා දැමීමට තරම් මානසික රෝගීන් බවට පත්ව තිබූ නිසා වන්නාහ.

අපට මෙසේ සඳහන් කිරීමට සිදුවීමම වේදනාකාරී බවද විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. මේ අන්දමට සිදු කෙරෙන නවක සිසුන් කාමරවල සිරකිරීමේ කටයුත්තෙන් පසුව ඊළඟ අදියර ලෙස කෙරෙන්නේ කුමක්ද? නවකයන් අයිස්ලන්තයේ යැවීම ඇරඹෙන්නේ ඉන් පසුවය. ගිහි පැවිදි උත්තම මැරයන් විසින් නේවාසිකාගාර තුළ විශේෂයෙන් සකස් කර ඇති කාමරවලට ජලය පුරවා නවකයන් නිරුවත් කර කණ්ඩායම් වශයෙන් ඒවා තුළට ඇතුළත් කරමින් මේ අයිස්ලන්තයේ යැවීම ආරම්භ කෙරේ. එහිදී ජලය පිරී ඇති කාමර තුළ නවකයන් ගතට දහදිය දමනතුරු නිරුවතින් වැතිර සිටිය යුතුය. මේ ම්ලේච්ඡ කටයුත්තේදී සිදුවන තවත් විශේෂිත දෙයක් වන්නේ ඇදුම වැනි විවිධ රෝගාබාධයන්ට ලක්ව සිටින සිසුවකුට වුවද මෙහිදී සහනයක් හිමි නොවීමය.

ජලය පුරාවා ඇති කාමරයක වැතිරී සිටියදී දහදිය දැමීම යනු එක්වරම සිදු නොවන දෙයකි. එහෙයින් මෙහිදී අයිස්ලන්තයේ යන නවක සිසුන්ට සිදුවන්නේ පැය ගණනාවක් ජලයේ නිරුවතින් වැතිර සිටින්නටය. මෙසේ අයිස්ලන්තයේ යැවීමේදී ද නවක සිසුන්ට ගිහි පැවිදි කියා වෙනසක් නැත. පැවිදි සිසුන්ද නිරුවතින් එය සිදුකළ යුතුව ඇත. වැඩිහිටි භික්‍ෂූන්ට ගරුසරු දැක්වීම මෙරට සෑම නිකායකටම අයත් සංඝ සමාජයේ සිදුවන්නක් වුවද මෙහිදී සාමනේර භික්‍ෂුව බලහත්කාරයෙන් උපසම්පදා ලද භික්‍ෂුවගේ සිවුර ගලවා නිරුවත් කරන අවස්ථාද ඇත.

එය මොනතරම් කාලකණ්ණිද? අනේ මහානායක නාහිමිවරුනි මෙවැනි භික්‍ෂූන් සිවුරු ගලවා බුද්ධ ශාසනයෙන් නෙරපා දැමිය යුතු නොවේද? සිදුවිය යුත්තේ මෙවැනි මානසික රෝගීන්ට සිවුරු දැරීමට ඉඩක් නොදී සිවුර ගලවා දමා ඔවුන් නිඝණ්ටයන් බවට පත් කිරීමය. මෙසේ අයිස්ලන්තයේ යැවීමේදී එය ක්‍රියාත්මක කරන තවත් ක්‍රමයක් වන්නේ වැසිකිළි තුළට ජලය පුරවා නවක සිසුන්ට ඒවායේ නිරුවතින් වැතිරෙන්නට යැයි උත්තම මැරයන් නියෝග කිරීමය. එහිදීත් ගතට දහදිය දමන තුරු පැය ගණනාවක් වැසිකිළි තුළ වැතිර සිටිය යුතුව ඇත. එසේ සිටියදී වැසිකිළිය තුළ සිටින සියලු දෙනාට එකවර ස්වයං වින්දනයේ යෙදෙන ලෙසද උත්තම මැරයෝ නියෝග දෙන්නාහ. එසේ සිදු නොකළහොත් වෙන්නේ අමානුෂික ප්‍රහාරයකට ගොදුරු වීමටය.

මෙසේ අයිස්ලන්තයේ යවන කාලයට සියලුම නවකයන්ට රාත්‍රී 1.00 ට පමණ නිදා ගැනීමට අවසර ලැබුණද ඔවුන් යළි අලුයම 3.00 වන විට අවදිවී නිරුවතින් වැසිකිළිය තුළ වැතිරීම අනිවාර්යයෙන් කළ යුතුය. එසේ වැතිර සිටියදී දහදිය දැමුවහොත් එකිනෙකා වැළඳගත යුතුව ඇත. උත්තම මැරයන් එසේ වැළඳගන්නට යැයි නවකයන්ට නියෝග කරන්නේ තොපේ ගඳ සුවඳ හඳුනා ගනියව් කියාය. සිවුරු දරා විශ්වවිද්‍යාලයට පැමිණි භික්‍ෂූන්ටද නිරුවතින් එසේ වැළඳ ගැනීමට සිදුව ඇත.

අලුයම් කාලයේ නිදා සිටින නවකයන් ඇහැරවීම සඳහා බෙලෙක් පිඟානක් යොදාගෙන සකස් කරන ලද සීණුවක් උත්තම මැරයෝ නේවාසිකාගාර කාමර අසළට පැමිණ නාද කරන්නාහ. එකී නාදයට අවදි නොවන නවකයනට සිදුවන්නේ තමන් විශ්වවිද්‍යාලයට පැමිණෙන විට රැගෙන ආ සියලු බඩුබාහිරාදිය හිස මත තබාගෙන තට්ටු කිහිපයක් ඇති නේවාසිකාගාරයේ පඩිපෙළ දිගේ ඉහළ පහළ යෑමටය.

උත්තම මැරයන්ගෙන් සමාවක් ලැබෙන තුරුම නවක සිසුවාට එසේ පඩි පෙළ දිගේ ඉහළ පහළ යෑම නවතාලිය නොහැක. ඒ අන්දමට උත්තම මැරයන්ගේ වධ බන්ධනයට ලක්වී පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පැය දොළහක කාලයක් අඛණ්ඩව නේවාසිකාගාර පඩිපෙළ දිගේ ඉහළ පහළ ගිය සිසුවකුද මෙම විශ්වවිද්‍යාලය පිළිබඳව කළ සොයා බැලීමේදී අපට හමුවිය.

මෙකී උත්තම මැරයන්ගේ වධ බන්ධන ලැයිස්තුවට අනුව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අලුතන් පැමිණෙන සියලුම සිසුවෝ මත්පැන් පානය කිරීම අනිවාර්ය වන්නකි. එසේම අහස් කූරු යැවීම සහ බුල්ටෝ ගැසීමද අනිවාර්යය. එහි උප සංස්කෘතියට අනුව අහස් කූරු යැවීම ලෙසින් කියැවෙන්නේ ගංජා පානය කිරීමය. දුම් පානය හෙවත් සිගරට් බීම බුල්ටෝ ගැසීම බවට පත්ව ඇත. ඒ අන්දමට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇති උප සංස්කෘතියට අනුව භාවිත කෙරෙන තවත් වදන් රැසක්ම ඇත.

එහි සිටින පැවිදි උත්තම මැරයෝ සිය ගුරු හිමියන් හඳුන්වන්නේ කපුවා ලෙසිනි. ඔවුන්ට අනුව සිවුර යනු පැනලයකි. අඳනකඩය හැට්ටය වී ඇත. භික්‍ෂූන් රැගෙන යන උරමල්ලට ඔවුන් කියනුයේ සාගත මල්ල කියාය. එහි භික්‍ෂූන් දානය වළඳන්නට නොහැකිය. එය හැඳින්වෙන්නේ බත්ගහනවා හෝ සයිමා ගහනවා ලෙසිනි. මෙහි පැවිදි උත්තම මැරයන්ට අනුව බණ දේශනා කිරීම පොරටෝක් දීමක් බවට පත්ව ඇත. බණ දේශනා කරන භික්‍ෂුව බණකාරයා හෙවත් කථිකාචාර්යය. ඉතිං තවත් කුමන කතාද?

මාස තුනක් හෝ හයක් ආදී ලෙසින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක මෙම නවක වධය අවසානයේ සිදුවන සිදුවීම් පෙළක්ද ඇත. එහිදී මුලින්ම සිදු වන්නේ නවකයන් වධ බන්ධනයට ලක් කළ උත්තම මැරයන් විසින් නවකයන්ට ආහාර වේලකින් සංග්‍රහ කිරීම වේ. එහිදී නවකයන්ට වධ දීමට ඍජුවම කටයුතු කළ කොණ්ඩා රැවුල් වවාගත් උත්තම මැරයෝ නවකයන්ට බත් කටක් කැවීමද සිදු කරති. ඉන් පසුව එළැඹෙන්නේ නවකයන් විසින් උත්තම මැරයන්ට සාදයක් පැවත්වීමේ අවස්ථාවය. මත් පැන්, බියර් ගංජා ආදී වශයෙන් බොහෝ මතින් පිරී ගිය එකී සාදය සඳහා සියලු වියදම් දැරිය යුතු වන්නේ නවකයන්ය. ඉකුත් වසරේ පමණක් එසේ උත්තම මැරයන්ට සාදය දීම සඳහා එක් නවක සිසුවකුගෙන් රුපියල් 12,500ක මුදලක් උත්තම මැරයෝ ලබාගෙන ඇත.

මෙහිදී මත්පැන් විශ්වවිද්‍යාලය තුළට ළඟා වන්නේ ඇසුරුම්ද සහිතව බෝතල් 500-600 වශයෙනි. බියර් වර්ගද එසේමය. ගංජාද අඩු නැත. මේවා පිළිබඳ සොයා බලන්නට විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නේවාසිකාගාර වෙත පැමිණිය නොහැකිය. මෙසේ තොග වශයෙන් ගෙනෙන මත් පැන් ආදිය ඒ සඳහාම වෙනනම නේවාසිකාගාර තුළ සකස් කර ගත් කාමර තුළට වී නවක සාදය උත්තම මැරයෝ බුක්ති විඳන්නාහ.

නේවාසිකාගාර තුළ ගංජා පානයට සුදුසු ලෙස පරිසරය සකස් කළ කාමර ඒවාට ඇත. මත්පැන් පානය සඳහාම සකස් කළ කාමර තවත් තැනක ඇත. මේ සියල්ල පාලනය කරනුයේ ශිෂ්‍ය සංගමයේ උත්තම මැරයෝය. නේවාසිකාගාර පාලකට එහි යා හැකි වන්නේ කැඩුණු බිඳුණු පයිප්පයක්, විදුලි බල්බයක් ආදිය සකස් කිරීමට පමණි. ඉන් එහා කිසිවක් කිරීමට අවසර නැත. නවකයන් විසින් ලබා දෙන එකී සාදයේදී අනිවාර්යෙන්ම සියලු දෙනා මත්පැන්, ගංජා ආදිය පානය කළ යුතුය. කිසි දිනෙක මත් පැන් හෝ අන් යමක් පානය කර නොමැති සිසුවකුට වුවද එහිදී ගැළවීමක් ලැබෙන්නේම නැත. එහි ගිහි පැවිදි කියා වෙනසක් ඇත්තේද නැත. පසුගිය දා පාලි විශ්වවිද්‍යාලයේ වළක් තුළින් මතුවූ දහස් ගණනින් වන හිස් මත්පැන්, බියර් බෝතල්වලට අදාළ වන නිධාන කතාව ඇත්තේ එතැනය.

කිසියම් නවක සිසුවකු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක සමඟ කතාබහ කළහොත් එම ආචාර්යවරිය ඔහුට පාවා දෙමින් සිදුකරන පීඩාවන්හි කෙළවරක් නැත. නවකයන්ට පාලනාධිකාරිය සමඟ ඍජුව සබඳතා පැවත්වීම තහනම්ය. සියල්ල සිදු කළ යුතුව තිබෙන්නේ ශිෂ්‍ය සංගමය මගිනි. එකී පීල්ලෙන් පිටතට කිසිවකු හෝ ගමන් කළහොත් ඔහුට කිසිදු සමාවක් අත්වන්නේ ද නැත. මේ අන්දමට තවදුරටත් කටයුතු සිදුවුවහොත් මේ රටට කුමක් සිදුවනු ඇතිද? මෙහි සිටින භික්‍ෂූන් අධ්‍යාපනය නිමවා ගුරු හිමිවරුන්ගෙන් පසු රටේ විහාරස්ථාන භාරගතහොත් දානයකට ආරාධනා කරන්නට පන්සලට යන අපේ දරුවන්ට සිදුවන්නේ පන්සලේ හාමුදුරුවන් කියන පරිදි දානයට පෙර මත්පැන් බෝතල් කිහිපයකුත් සාංඝික කරන්නටය. පිරිකරට විස්කි බ්‍රැන්ඩි දීමට සිදුවනු ඇත. දානයට පෙර කටගැස්මට බයිට් ටිකකුත් හදන්නට සිදුවනු ඇත. වැදගත් යමක් කතා කරන්නට ගමේ පන්සලට යන කල්හි හාමුදුරුවන් සමඟ අඩියක් ගසා ආ කටයුත්ත පිළිබඳ සාකච්ඡා කරන්නට දායකයන්ට සිදු නොවෙතිද?

වචන දෙකක් නැත. මෙවැනි භික්‍ෂූන් දිනෙක ශාසනය භාරගනිද්දී ඒකාන්තයෙන්ම ඒ විකෘතිය සිදුවනු නියතය. බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අද මේ රටට වුවමනා කර තිබෙන්නේ විශ්වවිද්‍යාලවලට පැමිණ මේ අන්දමින් කටයුතු කර අධ්‍යාපනය හදාරණ උපාධිධාරී භික්‍ෂූන්ද නැතහොත් බුදු මඟ අනුව යමින් සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් ආදී ලෙසින් මඟඵල සොයා යන ධර්මධර, විනයධර, සුපේශල, ශික්‍ෂාකාමී උත්තම භික්‍ෂූන් වහන්සේලාද?

මේ වනවිට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කතාව හමුවේ එය රට ඉදිරියේ තිබෙන බරපතළම ගැටලුවක් බවට පත්ව ඇත. මේ පහර වදිමින් තිබෙන්නේ උතුම් බුදු දහමටය. ගමයි පන්සලයි, වැවයි දාගැබයි ලෙසින් වූ අපේ උරුමයටය. මේ සියල්ලට මුල්වී තිබෙන්නේ දේශපාලන විකෘතියක් බව පැහැදිලි කරුණකි. එසේ නම් එකී දේශපාලනයට අදාළ පිරිස මේ ඉටුකරමින් සිටින්නේ කුමන විජාතික කොන්ත්‍රාත්තුවක්ද?

සියලු මහනායක හිමිවරුනි. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය තුළින් මේ කියැවෙමින් තිබෙන්නේ අප බුදු දහමේ හා ශාසනයේ උන්නතිය උදෙසා ධර්ම සංඝායනාවකට යායුතු කාලය උදාවී තිබෙන බව නොවේද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment