පිරිසක් බසයට නැග රියැදුරාට පහර දෙද්දී පාරේ ගිය මවයි පුතයි බසයට යටවෙලා: මව ජීවිතක්ෂයට: පුතාට බරපතළයි

831

මාතර සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයකට බීමත්ව නැගි පුද්ගලයන් පිරිසක් වැලිගම කප්පරතොට ප්‍රදේශයේ දී රියැදුරුට පහර දීමට උත්සාහ කර තිබේ. එහිදී රියැදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව සිදු වූ අනතුරකින් මාර්ගයේ ගමන් ගත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි.

මෙම අනතුර 16 දින රාත්‍රි 9:00ට පමණ සිදුව ඇතැයි පොලිසිය කියයි.

එහිදී දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි පලාතන්ත්‍රිගේ කුසුමලතා (68) නමැති කාන්තාව ජීවිතක්ෂයට පත්ව වයස 47 ක් ඇයගේ පුත්‍රයා බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි.

මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස් රථයට වැලිගම නගරයෙන් බීමත් පුද්ගලයන් හතර දෙනෙකු නැග ඇති බවත් එහිදී එම පිරිස බස් රථයේ රියැදුරු සමග බහින් බස්වීමක් ඇති වී අනතුරුව වැලිගම කප්පරතොට පාලම අසලදී රියැදුරුට පහර දීමට උත්සාහ ගෙන ඇති බවද එහිදී රියැදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව ධාවනය වී ඇති බවද එහිදී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු බස් රථයේ ගැටී බරපතළ තුවාල ලබා තිබේ. ඔවුන් කප්පරතොට ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට සහභාගීවූ දෙදෙනෙකු බව ද ආවරණය වී තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු වන වයස 28 වන රත්ගම ප්‍රදේශයේ පදිංචි අය සහ බීමත්ව පහරදීමට පැමිණි වැලිගම මහවීදිය ප්‍රදේශයේ පුද්ගලයකු

පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. තවද මෙම ගැටුමට සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

වැලිගම පොලිසියේ ස්ථානාධිපති ඩී. එම්. අබේසේකර මහතාගේ මෙහෙයවීම මත රථවාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයලත්, පොලිස් කොස්තාපල් (73052) ගාල්ලේ, (75082) ලක්මාල් යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

වැලිගම එන්. එන්. මුරුතවලගේ

advertistmentadvertistment
advertistmentadvertistment