පිලිප්ස් ශ්‍රී ලංකාව දෙලොවක් අතර අතරමං කරයි

374

ග්ලේන් පිලිප්ස් හුදෙකලා සටනක නිරත වෙමින් රැස් කරන ලද ශතකය සහ පන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතා මත ශ්‍රී ලංකාවට එරෙහිව පෙරේදා (29 වෙනිදා) පැවැති තරගයෙන් ලකුණු 65ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

එම පරාජයත් සමග සුපිරි 12 වටය යටතේ පළමු කාණ්ඩයේ කණ්ඩායම් හය අතරින් 5 වෙනි ස්ථානය දක්වා පහළට වැටීමට ශ්‍රී ලංකාවට සිදු විය.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරග වරම් හිමිකර ගැනීමේ අවස්ථාවන් ද එම පරාජය සමග ඉතා අල්ප මට්ටමට පැමිණි අතර එළඹෙන ඇෆ්ගනිස්ථාන සහ එංගලන්තයට එරෙහිව තරගයන්ද ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ජය ගත්තද අනෙක් කණ්ඩායම්වල ඉදිරි ජය පරාජයන් මෙන්ම වර්ෂාවෙන් තරගාවලියට එල්ල විය හැකි බලපෑම් ද ශ්‍රී ලංකාවට එහිදී අදාළ වනු ඇත.

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති තරගයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 167ක් රැස් කර ගන්නා ලදි. එම ලකුණු 167න් ලකුණු 104ක්ම වාර්තා වූයේ මැදපෙළ පිතිකරු ග්ලේන් පිලිප්ස් ගේ පිත්තෙනි.

පන්දු 65 ක් තුළ ලකුණු 104ක් ලබාගත් ග්ලේන් පිලිප්ස් ගේ ඉනිම හේතුවෙන් තරගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට නවසීලන්තය සමත් වූ අතර ඊට ඉතා දුර්වල ප්‍රතිචාරයක් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලු දෙනා ලකුණු 102කට දැවී ගියහ.

නායක දසුන් ශානක ලකුණු 35ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 34ක් ලබාගත් අතර සෙසු කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවකු ලකුණු 10 සීමාවට පැමිණීමට අපොහොසත් වූහ.

ඉතා දුර්වල සහ දියාරු පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලාංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 5ක් වනවිට බිඳ දැමීමට ට්‍රන්ට් බෝල්ට් සහ ටිම් සවුති දෙදෙනා සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ නියමිත පන්දු වාර සංඛ්‍යාවෙන් අඩක් නිමා වනවිට ලකුණු 58ට කඩුලු 6ක් බිඳ වැටී තිබුණු අතර නායක දසුන් ශානක පමණක් නම් දැරූ පිතිකරුවකු ලෙස කඩුල්ලේ රැඳී සිටියේය.

ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කර දැමූ ට්‍රන්ට් බෝල්ට් ලකුණු 13කට කඩුලු 4ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් ලබා දුන් දඟ පන්දු යවන්නන් දෙදෙනා වන මිචෙල් සැන්ට්නර් සහ ඉෂ් සෝදි කඩුලු දෙක බැගින් දවා ගත්හ.

නවසීලන්ත ඉනිමේ ආරම්භය ද එතරම් යහපත් එකක් නොවූ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා මත නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 15කට දැවීගියේය. අතර පළමු පන්දු වාර 6 තුළදී ඔවුන් රැස් කර ගෙන තිබුණේ ලකුණු 25ක් පමණි. නවසීලන්ත ඉනිමේ 7 වෙනි පන්දු වාරය ක්‍රියාත්මක කළ වනිඳු හසරංගගේ පන්දුවකට ග්ලේන් පිලිප්ස් ලබා දුන් පහසු උඩ පන්දුව පැතුම් නිශ්ශංක අතින් ගිලිහී යෑම ශ්‍රී ලංකාවට බරපතළ පාඩුවක් විය. අනතුරුව පිලිප්ස් තනිව රැස් කරන ලද ලකුණු ප්‍රමාණයවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා එකතුවෙන්වත් ලබා ගැනීමට නොහැකි වූ අතර සමස්තයක් ලෙස මේ තරගය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඉතා දුර්වල මට්ටමක පැවතිණි.

ශ්‍රී ලංකාව සහභාගිවන මීළඟ තරගය ඇෆ්ගනිස්ථානය සමග හෙට (01 වෙනිදා) පැවැත්වීමට නියමිතය.

ලකුණු සාරාංශය

නවසීලන්තය පන්දු වාර 20 කදී කඩුලු 7 ට ලකුණු 167 යි – (ග්ලේන් පිලිප්ස් 104, ඩැරල් මිචෙල් 22, මිචෙල් සැන්ට්නර් (නොදැවී) 11, කසුන් රාජිත 23/2)

ශ්‍රී ලංකාව පන්දු වාර 19.2 කදී ලකුණු 102 යි – (දසුන් ශානක 35, භානුක රාජපක්ෂ 34, ට්‍රනේට් බෝල්ට් 14/4, ඉෂ් සෝදි 21/2, මිචෙල් සැන්ට්නර් 21/2)

කසුන් රණවීර ඔස්ටේ්‍රලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment