පිළිකා රෝහලට ඉංජිනේරුවා කෝටියක් දෙයි

480

මහරගම අපේක්‍ෂා රෝහල තුළින් ලබාදෙන පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ වෛද්‍ය උපකරණ ලබාගැනීමට විශ්‍රාමික ඉංජිනේරුවරයකු විසින් රුපියල් කෝටියක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළ බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ‘දිවයින’ට පැවසීය.

ඔහු එම මූල්‍ය පරිත්‍යාගය චෙක්පතක් මගින් පසුගිය 01 වැනිදා සිදුකළ බව ද ඒ මහතා කීය.

මෙම මූල්‍ය පරිත්‍යාගය සිදුකර ඇත්තේ විශ්‍රාමික ඉංජිනේරු පී. එච්. ඩී වෛද්‍යතිලක මහතාය.

ඔහු විසින් අවස්ථා කීපයකදී කොළඹ කාසල් රෝහලට, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට, කොළඹ ජාතික රෝහලට වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා මූල්‍ය පරිත්‍යාග සිදුකර තිබේ.

විශ්‍රාමික ඉංජිනේරු වෛද්‍යතිලක මහතා විසින් අපේක්‍ෂා රෝහලට ලබාදුන් පෞද්ගලික මුදල් පරිත්‍යාගය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා දැනුවත් කිරීමට පියවර ගැනිණි.

ඒ අනුව මෙම මූල්‍ය පරිත්‍යාගය සිදුකරන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ලේඛකාධිකාරි, ගණකාධිකාරි සුමුදු රාජකරුණා යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment