පීඑච්අයි ට කෙළ ගැසූ අය ඇතුලේ

466


කොවිඩ් ආසාදිත බවට සැක සහිත පුද්ගලයෙකු රාජකාරී කටයුතු සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ගැසීම නිසා පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත.

ගිරිඋල්ල පොලිස් වසමේ පුස්කොලදෙණිය ප්‍රදේශයේ නිවසකදී මෙම සිද්ධිය ඇතිවී ඇති අතර කෙළ පහරට ලක්ව ඇත්තේ නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුය.

කොවිඩ් ආසාදිත බවට සැක සහිත පුද්ගලයා සිටින නිවසට සොයා ගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ පියා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කරමින් පහරදීමට තැත්කර ඇත.

ඉන් අනතුරුව එම පියා විසින් කෙළ ලසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව ගිරිඋල්ල පොලීසිය විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අය 48 හැවිරිදි පුද්ගලයෙකු වන අතර එම අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිටි බවද වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

2020 වසරේ දෙසැම්බර් 02වනදා මේ ආකාරයෙන්ම සිද්ධියක් බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් වාර්තා විණි.

advertistmentadvertistment
advertistmentadvertistment