පීනස පාලනයට ගතයුතු පියවර

1931

අප බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් බවට පීනස පත්ව ඇත. සෙම් රෝග ආශ්‍රිතව මතුවන මෙය නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර කළහොත් ඉන් මතුවන අතුරු ආබාධ වලින් ද මිදිය හැකිවේ.

 වෛද්‍යතුමනි, සෘෂිනාඩි වෛද්‍ය ක්‍රමයට අනුව පීනස හඳුන්වා ඇත්තේ කෙසේද?

 මහාසෘෂි නාඩි වෛද්‍යවරුන් අතුරින් ඛාංගී නැමැති සෘෂිනාඩි වෛද්‍යවරයා විසින් පීනස වර්ග 21 පිළිබඳව සඳහන් කර තිබෙනවා. ආයුර්වේදය සහ වෙනත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවල සඳහන් කර ඇත්තේ පීනස වර්ග 18ක් පමණි. නමුත් අපට නොදැනෙන ආකාරයේ පීනස රෝග තුනක්ද ඇතිබව සෘෂිනාඩි වෛද්‍යවරු සඳහන් කර තිබේ.

 පීනස ඇතිවීමට බලපාන හේතු රැසක් ඇත. අප ගනුලබන ආහාරපාන වර්ග, ජීවත්වන පරිසරය, සහ ජීවන රටාව ඉන් ප්‍රධාන ලෙස බලපායි.

 අප සිරුරේ ඉන්ද්‍රියයන්හි තෙත්බව සඳහා සෙම පටල අවශ්‍ය වේ. නමුත් එම සෙම පටල අනවශ්‍ය ලෙස වර්ධනය වුවහොත් එය අහිතකරය. පීනස රෝගයේදී සිදුවන්නේ මෙලෙස අනවශ්‍ය ලෙස සෙම ඇතිවීමය.

 විශේෂයෙන්ම පෙණහලු වල අධික ලෙස සෙම හටගතහොත් ඉන් නියුමෝනියාව වැනි භයානක රෝග ඇතිවීම දක්වා වර්ධනය විය හැකිය.

 පීනස රෝග අතර දිය පීනස, හල් පීනස බහුලව දැකිය හැකිය. දිය පීනසයේ දී සිදුවන්නේ නිතර අපගේ නාසයෙන් දියර ලෙස සෙම ගලායාමය. විශේෂයෙන්ම උදෑසන අවදි වූ පසු කිවිසුම් යෑම සිදුවී මෙය ඇතිවේ. සීතල සුළඟට නිරාවරණය වූ විට, ශීතකළ ආහාරපාන ගත්විට මෙම පීනස තත්ත්වය හටගනී.

 ගල් පීනස යනු සෙම නාසයෙන් පිටතට ගලා නොඒමයි. එහිදී සෙම නාසය සහ නළල ප්‍රදේශයේ රැඳී පවතී. එවිට දැඩි හිසරදයක් මතුවේ. හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ. නළල ප්‍රදේශයේ වේදනාවක් හටගනී.

 පීනස රෝගීන් නිදිවැරීම සුදුසු නැත. රාත්‍රියේ අවදිව සිටින විට ඉතා පහසුවෙන් පීනස රෝගය මතුවිය හැකිය.

 වම්බටු, නිවිති, බණ්ඩක්කා වැනි සීතල ගුණයෙන් යුත් ආහාර ගැනීම අහිතකරය.

 පීනස රෝගය දිගු කාලයක් පැවතීම නිසා හිසකෙස් අකලට සුදුවීම, සමේ පැහැය දුර්වර්ණවීම ආදිය මතුවේ.

 එසේම පීනස ඇති රෝගීන්ට නිතර උගුරට සෙම ගලාඒම සිදුවේ.

 වෛද්‍යතුමනි පීනස රෝගීන්ට ඇති සෘෂිනාඩි වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?

 මේ සඳහා ඖෂධීය තෙල්වර්ග හිස ගැල්වීම සහ ඖෂධ වර්ග පානයට දීම සිදුකරනු ලබයි. නමුත් මෙමගින් සිදුකරන්නේ පවතින පීනස තත්ත්වය පාලනය පමණකි. පීනස සම්පූර්ණයෙන් සුවකළ නොහැකි රෝගයකි.

 මෙය සිරුර තුළින් හටගන්නා ඉතා සංවේදී ප්‍රතික්‍රියාවකි. සීතල සුළඟට, විවිධ ආහර වලට ඉතා සංවේදී නිසා පීනස හටගනී. එබැවින් කළ යුත්තේ තමාට පීනස ඇතිවීමට බලපාන හේතුවලින් මගහැර සිටීමය.

 මේ අතර පීනස නිසා හටගන්නා අධික කිවිසුම් යෑම, උගුර කැසීම, නාසයෙන් සොටු ගලා ඒම, නළල ප්‍රදේශයේ සෙම සිරවීම පාලනය සඳහා රතු ලූනු වැඩිපුර එක්කර සාදාගත් ගොටුකොළ සම්බෝලයක් දිනපතා ආහාරයට ගැනීම ගුණදායකය. ඉරමුසු දළු, අක්කපාන, දෙලුම්කොළ, අරලිය මල් සහ සේපාලිකා මල්, කළුතැම්බේරිය කොළ, නෙලුම් අල ආදිය රතුලූනු මිශ්‍රකර සාදාගත් සම්බෝලයක් ලෙස ආහාරයට ගැනීමද ගුණදායකය.

 සවස්වරුවේ ඇල් ජලයෙන් ඇඟපත සේදීම නොකළ යුතුය. විශේෂයෙන්ම පීනස රෝගයෙන් පෙළෙන මැදිවයසේ පුද්ගලයන් සවස 4.00න් පසු ඇල් ජලයෙන් ඇඟපත සේදීම නොකළ යුතුය. ඒ සඳහා මද රස්නයෙන් යුත් ජලයෙන් ඇඟපත සෝදාගැනීම කළ යුතුය. එසේම පීනස රෝගීන් දහවල් 12.00 ට පෙර ස්නානය කිරීමට පෙළඹිය යුතුය.

 රාත්‍රියට නින්දට යනවිට විදුලි පංකා භාවිතයෙන් ඈත් විය යුතුය. එසේම දුහුවිලි සහිත පරිසරයෙන් ඈත්ව සිටිය යුතුය.

 පීනස රෝගීන්ට ඉතා පහසුවෙන් සෙම්ප්‍රතිශ්‍යා රෝග වැළදිය හැකිය. එවැනි අවස්ථාවලදී වහාම ඒ සඳහා ප්‍රතිකාර ගත යුතුයි. නැතිනම් නියුමෝනියාව වැනි රෝග ඇතිවීමේ ඇති ඉඩකඩ වැඩිවේ.

 පීනස රෝගයෙන් පෙළෙන අය දුම්වැටි, මත්පැන් ආදිය භාවිතයෙන් වැළකිය යුතුය. පීනස ඇති පුද්ගලයන්ගේ නාසයෙන් නිතර දුර්ගන්ධයක් වහනය වේ නම් එවැනි පුද්ගලයන් වහාම පීනස සඳහා ප්‍රතිකාර ලබාගැනීමට වහා යොමුවිය යුතුය. මෙය ගල් පීනස තත්ත්වය නිසා බහුලව ඇතිවන තත්ත්වයකි.

පීනස පාලනයට ගතයුතු පියවර

advertistmentadvertistment
advertistmentadvertistment