පී. සී. ආර්. – ඇන්ටිජන් උපරිම මිල ගැසට් එක අද – පී. සී. ආර්. රු. 6500/- ඇන්ටිජන් රු. 2000/-

143

‘කොවිඞ්’ වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරනු ලබන පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම මිල ගණන් නියාමනය කිරීමට අදාළ ගැසට් පත‍්‍රය අද දින (12) නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ දින (11) ප‍්‍රකාශ කළාය. ඒ සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡුාවකින් අනතුරුව ය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ඇමැතිවරිය – ”මහජන නියෝජිතයින් සහ රජයක් විදිහට අප මේ රටේ මහජනතාවට සාධාරණයක් ඉෂ්ට කළ යුතුයි. ඒ් අනුව පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් සාකච්ඡුා ගණනාවක් පවත්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරනු ලැබුවා පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා පෞද්ගලික අංශයට අය කළ හැකි උපරිම මිල රුපියල් 6,500 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයකට උපරිම මිල රුපියල් 2,000 ක් ලෙස. ඒ් අනුව හෙට දිනයේ දී පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එය ගැසට් පත‍්‍රයකින් ප‍්‍රකාශයට පත්කරනු ලබනවා. එතැන් සිට එම මිල ගණන් මේ රටේ බලපැවැත්වෙනවා. ඒ අනුව පාරිභෝගිකයාට අපට කරන්නට පුළුවන් සාධාරණය අප සිදු කර තිබෙනවා.”

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා මෙහිදී සඳහන් කර සිටියේ මේ දිනවල කොවිඞ් වෛරසය හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණ හා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබන බවත්, පාරිභෝගිකයින් මෙහි මිල සහ ගුණාත්මකභාවය පිළිබඳ පැමිණිලි රාශියක් ඉදිරිපත් කළ බැවින් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පාරිභෝගික අධිකාරිය දිවයින පුරාම විමර්ශන කටයුතු සිදු කළ බවත් ය.

”දිස්ත‍්‍රික්ක 21ක පාරිභෝගික නිලධාරීන් රෝහල් 45ක පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල ගණන් පිළිබඳව විමර්ශනයක් කළා. ඒ අනුව රුපියල් 5,500 – 9,750 දක්වා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා මුදල් අය කර තිබුණා. ඇන්ටිජන් පරීක්ෂණ සඳහා රුපියල් 2,000 සිට 5,550 දක්වා අය කර තිබුණා. මෙය පාරිභෝගික ජනතාවට සිදු කළ අසාධාරණයක්. ඒ් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ පිළිබඳව දීර්ඝ විමර්ශන ගණනයකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් මා වෙත එම මිල ගණන් කොපමණ ද යන්න පිළිබඳව නිර්දේශය ලබාදීමට කටයුතු කළා. ඉතාම කෙටි කාලයකදී මේ වෙනුවෙන් ප‍්‍රමුඛතාවය ලබා දී මිල ගණන් නිර්දේශ කිරීමට කටයුතු කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂ ස්තූතිය පුද කරනවා.”

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment