පී. 627 නෞකාව “විජයබාහු” නමින් ජනපති අතින් අධිකාරියට

148

සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් ඡ 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු” නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 22 දා පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදුවිය. නාවික හමුදා විශේෂ රථ පෙළපාලියකින් උත්සව භූමියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නාවික හමුදා උත්තමාචාර මැද පිළිගනු ලැබීය.

පී. 627 නෞකාව “විජයබාහු” නමින් ජනපති අතින් අධිකාරියට

අභිනව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක මහතා වෙත නෞකාව අධිකාරියට පත්කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. අනතුරුව “විජයබාහු” නමින් අධිකාරියට පත්කරන ලද නෞකාවේ නාමපුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර නෞකාවේ සමරු පොතෙහි විශේෂ සමරු සටහනක්ද තැබීය. නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
Hamilton Class High Endurance Cutter යන නෞකා පන්තියට අයත් දෙවැනි නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගන්නා ලද මෙම නෞකාව දිගින් මීටර් 115 කි. උපරිම වේගය පැයට නාවික සැතපුම් 29 කි. එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14,000 ක දුරක් ආවරණය වන පරිදි ආවේක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව්මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නාවික තාක්ෂණ උපාංග හා පහසුකම්වලින්ද මෙම නෞකාව සමන්විතය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග්, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment