පුංචි ඡන්දයට නම්දීම 18දා සිට

122

ඇල්පිටිය ප්‍රා. සභාව හැර මහ නගර සභා 29ක් – නගර සභා 36ක් – ප්‍රා. සභා 275ක්

පළාත් පාලන ආයතන 340ක් සඳහා ඡන්ද විමසීම සිදුකිරීමට අදාළ නාමයෝජනා පත්‍ර භාරගැනීම ලබන 18 වැනිදා සිට 21 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (04දා) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර මහ නගර සභා 29ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය සභා 275ක් සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමට නියමිතය.

නාමයෝජනා පත්‍ර භාර ගැනීම අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම දිනවලදී සිදු කෙරේ.

මේ අතර තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීම අද (05දා) සිට ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. සියලු තැපැල් ඡන්ද අයැදුම්පත් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා වෙත යොමු කළ යුතු වෙයි.

මෙවර ඡන්ද විමසීම 2022 ඡන්ද හිමි නාමලේඛනය යටතේ පැවැත්වෙයි.

නාමයෝජනා පත්‍ර භාර ගැනීම අවසන් වීමෙන් පසුව ඡන්ද විමසීම සිදු කරන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණය පසුගිය මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් විෂය භාර ඇමැතිවරයා විසින් එම ආයතනවල නිල කාලය තවත් වසරකින් දීර්ඝ කරනු ලැබීය. ඒ අනුව මාර්තු මස 20 වැනිදා වන විට පළාත් පාලන ආයතනවලට නව සභිකයන් තෝරා පත්කර අවසන් කළ යුතු වෙයි.

මේ අතර ඡන්ද විමසීම සඳහා තරග කරන ස්වාධීන කණ්ඩායම්වලින් ඇප මුදල් තැන්පතු භාර ගැනීම ඊයේ සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා සිදු කරනු ලබයි.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment